තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 09, සඳුදා 13:01

අවුරුද්දට තෑගි දෙන්න ලබන අයත් සතුටු වෙන්න

Written by 
අගයන්න
(0 මනාප)
බක්මහේ මංගල්‍යයත් දන්නෙම නැතුව කිට්ුටවටම ඇවිත්. මේ බක් මහේ නම් කොහාගේ සද්දේ ඇහුණේම නැති තරම්. කොහාට සිංහල අවුරුදු අමතක වෙලාද මන්ද? අපට නම් එහෙම වුණේ නැහැ.

 

එහෙම වෙන්නත් බැහැනේ නේද? කොහොම වුණත් මෙවර සිංහල - හින්දු අලුත් අවුරුද්දේ නමේ නම් පුංචි වෙනසක් වෙලා කියලා රූපවාහිනී නාලිකා බලද්දී මට හිතුණා. අපි දන්න කාලේ ඉඳලම සිංහල - හින්දු කියලා හඳුන්වපු බක්මහ උළෙල මේ අවුරුද්දේ අපි දැක්කේ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද කියලයි. ඒ වෙනස් වීම කාලීන වශයෙන් යම් වැදගත්කමක් ඇති බැවින් අපි ඒ වෙනස සුබවාදීව දකිමු.

කොහා පැත්ත පළාතකවත් නාවත් මේ වෙන කොට සිංහල බෞද්ධ ජනතාවත්, දෙමළ අපේම සහෝදර ජනතාවත් බක්මහ සමරන්නට සියල්ල සූදානම් කරමින් සිටින බව නම් හොඳටම පේනවා. අලුත් අවුරුද්ද කිව්ව ගමන් අපේ ඔළුවට කිඳා බැහැලා තියෙන ලොකුම සලකුණ තමයි ඇඳුම් පැලඳුම්. කන්න බොන්න නැතත්, අනෙක් චාරිත්‍ර ගැන කෙසේ වෙතත් අලුත් ඇඳුමක් අඳින එක ගැනනම් තක්කෙටම හැමෝම හිතනවා. මුදල් යහමින් ඇත්තෝ වගේම එදාවේල යාන්තමින් පිරිමහ ගන්න ඇත්තොත් මේ දවස්වල රෙදි සාප්පුවල මිරිකිලා, තෙරපිලා ඉන්නවා. ඒ වගේම මහමඟ එහා මෙහා යන අයත් අසීමිත මාර්ග තදබදය නිසා වරුවක් එකම තැනකට වී ඉන්නට වන අසහනකාරී හැඟීම උපේක්ෂාවෙන් දරාගැනීම ශරීර සෞඛ්‍යයට නම් හිතකර වේවි.

අම්මලා, අප්පච්චිලාට, සහෝදර සහෝදරියන්ට, ඥාති හිතවතුන්ට වසරකට වරක්වත් තෑගි බෝග දීලා සුවදුක් බලන්නට යන එක ඉතාම හොඳ පුරුද්දක්. හැබැයි මේ අයට තෑගි දෙන්න සළුපිලි මිලදී ගැනීමේ දී නම් බොහෝම සැලකිල්ලෙන් සිදු කළොත් හොඳයි. සමහර කපටි, කෛරාටික වෙළෙඳුන් වසර පුරා විකුණා ගන්නට නොහැකි වූ රෙදි ලාභ කළ මුවාවෙන් මහමඟ ගොඩගසා විකුණන්නේ කාන්තා ඔබ ඉතා ඉක්මනින් මුලා කිරීමේ ඉව ඔවුන් සතු වන බැවිනි. ඔබ බොහොම දුක් මහන්සියෙන් හරිහම්බ කරගෙන අරපිරිමැස්මෙන් රැකගත් මුදල් ඩැහැගන්නට අර අඳින එවැනි වෙළෙඳුන් වීදි පුරාවටම දත් විරිත්තා ගෙන සිටී. මේ දිනවල විශාල වශයෙන් සෙනඟ ගැවසෙන පදික වේදිකාවේ ගැට කපන්නන් බහුල බැවින් මුදල් පසුම්බිය සුරක්ෂිත කරගැනීමත් ඔබේ වගකීමක්. මක්නිසාද ඔබේ කලබලකාරී බව හෝ ඉවක් බවක් නැතිව රෙදි තෝරන්නට යෑමෙන් ඇතිවන නොඉවසිලිමත් බව දකින ගැට කපන්නන් අසුරු සැනින් ක්‍රියාත්මක වන නිසා ය.

“ලාභයි” ,“සේල්” කියු සැනින් ගොඩම බදාගන්නේ නැතිව දෙවරක් සිතන්න. මේ ලාභ තොග රෙදි අතර පළුදු වුණු, මැහුම් ගැළවුණු, බොත්තම් ගැළවුණු රෙදි බහුලව තිබෙන්නට පුළුවන්. එනිසා මේ දිනවල සාප්පු සවාරි යෑමේදී, තෑගි බෝග තේරීමේ දී බොහෝම කල්පනාකාරී වීම කාන්තා ඔබට වගේම පිරිමින්ටත් වැදගත් මතක් කිරීමකි.

එවගේම මේ සිංහල අලුත් අවුරුද්දට ඥාතීන්ට, හිතමිතුරන්ට, අසල්වාසීන්ට තෑගි බෝග දීමේදී ප්‍රයෝජනවත් තෑග්ගක් දෙන්නට නම් අමතක කරන්න එපා. බොහෝ වෙලාවට ප්‍රමාණයෙන් විශාල, නොවටිනා තෑගි අඩුමිලට ලැබෙන විට වගේම කවුරුන් හෝ තමන්ට දී තිබෙන තමන් පාවිච්චි නොකළ තෑගිවලින් නිදහස් වෙන්නටත් මෙය සමහරු අවස්ථාවක් කරගනී. එනිසා දෙන්නන් වාලේ තෑගිි නොදී අඩු මුදලකට වුවත් ප්‍රයෝජනවත්, ලබන්නා සතුටට පත්වන ආකාරයේ තිළිණයක් දී ඔහු හෝ ඇය අත්විඳින සතුට ඔබත් විඳගන්න.

විශාල මුදලකට නොවුණත් කෙනකුට පාවිච්චි කළ හැකි පරිදි පුංචි ‘පර්ස්’ එකක් ‘මග්’ එකක් එහෙමත් නැත්නම් ත්‍යාග වවුචර්පතක් තෑගි කිරීමෙන් ඔබට ඔහු හෝ ඇය වසර පුරාවටම සතුටට පත්කරමින් සතුටු විය හැකිය.

තවත් සමහරු තවකෙකු ලබාදෙන ත්‍යාගයක් පිළිබඳ විවේචනය කිරීමට පෙළඹෙති.

“අනේ මෙයාලට කොච්චර සල්ලි තියෙනවද? ඒත් බලන්නකෝ දීලා තියෙන තෑග්ග“

මෙවැනි කතා ඔබ අපට අනන්තවත් ඇහිලා ඇති. කිසි විටෙකත් මෙවැනි අදහසක් කිසිවකුට නොපවසන්න. වචනයෙන් පමණක් නොව ඉඟිබිඟි ඉරියව්වකින්වත් දැනෙන්නට හරින්න එපා.

කවුරුන් හෝ ඔබ වෙනුවෛන් තිළිණයක් දෙනු ලබන්නේ ඔහු හෝ ඇය ඔහුට විශේෂිත නිසාය. ඒ නිසා ඊට වටිනාකමක් දෙන්න. ඒ ගැන ගෞරවයෙන් හිතන්න. කිසිවෙකු හෝ කිනම් අවස්ථාවකදී හෝ දෙන දේවල්වල විනිවිදභාවය නොසොයන්න. මක් නිසාද “දීම” උසස් ගුණයක් වන බැවිනි. යමක් ලැබුණු විට හදවතින්ම ස්තූති කරන්න, මොහොතකටවත් පැකිළෙන්න එපා. සමහරු අගය කරන්නේ වටිනාකමින් වැඩි තෑගි බෝග දෙන පිරිස පමණකි. හැමෝටම එක හා සමානව තෑගි දීමේ වත්කමක් නැත. එය තේරුම් ගන්න. ලැබුණු දේ ගැන අගය කරන්න. එය මහත්මා ගුණයකි.

දියණියගේ පාසලේ අවුරුදු උත්සවයට ඇය නර්තනයකට පෙනී සිටි බැවින් ඇයට ඇඳුම් ආයිත්තම් ටිකක් ගන්නට සිදුවිය. මේ සාප්පු සවාරි සමයනේ. ඒ යන අතර මඟදී මිතුරියක් හමුවිය. ඇය අත විවිධ සාප්පුවලින් මිලදී ගත් බෑග් තුන හතරක් විය. ඇය තරමක් වත්පොහොසත් කමින් යුත් කෙනෙකි.

“මෙච්චර තෑගි මොකටද? ඈ අත රැඳි මළු දුටු විට ඉබේම මට කියැවිණි.

“දන්නේ නැද්ද අනේ. අයියලා, අක්කලාගේ, පවුල්වල ඔක්කොටම තෑගි ගත්තා. මම ඒ අයට කොච්චර තෑගි දුන්නත් මට සල්ලි තියෙනවා කියලා ඒ කවුරුත් මට තෑගි දෙන්නේ නම් නැහැ. ඒත් මමත් ආසයි පුංචි තෑග්ගක් හරි එයාලගෙන් ලැබෙනවනම්. ඒත් ඉතිං ඒක එයාලට කියන්න බෑනේ.

ඈ සිනාසෙමින් කී ඒ අවසන් වදන් කිහිපය තුළ මහත් අරුතක් ගැබ් වී තිබුණු බව මට වැටහුණි. සැබැවින්ම සිංහල අලුත් අවුරුද්දේ දී අපි “ගනු” පමණක් නොව “දෙනු” ගැනත් මතකේ තබාගත යුතුය. ඔබට දෙන තිළිණයෙන් ඔබ සතුටට පත්වනවා මෙන්ම කොයිතරම් වත් පොහොසත් කමින් යුතු වුවත් කවුරුත් තෑගි ලබන්නට මනාපය. පොහොසත් නෑදෑයන්ට ඒ අහිංසක සතුට විඳින්නට දුප්පත් නෑයන් මේ අවුරුද්දේදීවත් ඉඩහසර ලබාදුන්නොත් නරකද?.

ඒ වගේම තෑගි දීම කල් දාන්නත් එපා. සමහර වැඩිහිටි පිරිස් තම බාල සහෝදර සහෝදරියන්ට තෑගි ලබා දීම පසුවට කල් දමති. එවැනි පුරුදු අත් හරින්නට ද මේ ලබන අවුරුද්ද අවස්ථාවක් කරගන්න.

ඒ වගේම ඔබට පුළුවන් නම් මේ ලබන්නා වූ බක්මහේ දී තමන්ගේ පවුලේ ඥාතීන්, හිතමිතුරන්, දරු මල්ලන්ට පමණක් නොව වීදිවල හිඳින පුංචි දරුවන්ට ඒ දෙන්නදෙමහල්ලන්ටත්.. දිළිඳු පවුලකට ඇඳුම් පැලඳූම් අරගෙන දෙන්නටත් වැඩිහිටි නිවාසයකට, ළමා නිවාසයකට බෙදන්නට ඇඳුමක් දෙන්නට තරම් ඔබ මානව හිතවාදී වේ නම් එය මහා පින්කමක් වේවි. බොහෝ විට මේ තැන්වලට ලැබෙන්නේ පාවිච්චි කළ ඇඳුම් පැලඳුම්ය. අලුත් ඇඳුමක් ලැබුණොත් ඒ එහෙමත්ම වෙලාවකය. මේ ලබන්නා වූ වසරේ ඔබේ හිතට එවැනි සිතිවිල්ලක් ඇතිවේවායි යන්න මගේ හෘදයාංගම ප්‍රාර්ථනාවයි.

ඒවගේම දරුවෝ දාලා ගිය මවුවරු, පියවරු අද සමාජයේ බහුලව වෙසෙති. ඔබට බිරිය හැර යන්නට හේතු තිබෙන්නට ඇති. ඔබට සැමියා අමතක කරන්නට හේතු තිබෙන්නට ඇති. එහෙත් ඔබට දරුවන් අමතකකර දමන්නට කිසිදු හේතුවක් තිබිය නොහැකිය. මක් නිසා ද ඔබ ඒ දරුවන් මෙලොවට බිහි කළ මව සහ පියාය. එනිසා මේ ලබන්නට යන අලුත් අවුරුද්දේදිවත් දරුවන් ගැන හිතා හෝ ඔබට නැවතත් එක වහල් යටට එන්නට හැකිනම් ඊට වඩා අවුරුද්දක් මවුපිය සෙනෙහස දුරස් වීමෙන් දුක්විඳි ඒ දරුවන්ට නොමැති වේවි. දරුවන්ගේ පුංචි හිත් තේරුම් ගන්න.

අම්මාත්,තාත්තාත් සිටින්නේ දෙතැනක නම් ඔබ තෑගි බෝග කොතෙක් දුන්නත් දරුවාගේ හිත පිරෙන්නේ නැත. දරුවන්ට අවශ්‍ය සෙනෙහසයි. විදෙස්ගත මවුවරුන්, පියවරුන් මේ ගැන සිතිය යුතුයි. පුළුවන් හැම මොහොතකම දරුවන් අසල රැඳෙන්න. මේ පවතින ආර්ථික, සමාජයීය තත්ත්වය තුළ එය තරමක් අසීරු විය හැකියි. එහෙත් සල්ලි බාගේ කොයිතරම් තිබුණත් දරුවන්ගේ හිත් දුකෙන් පිරිලා නම් ඒ ධනස්කන්ධයෙන් ඵලක් වේද? දරුවන් අනාචාරයට, මත්පැනට ගොදුරු වී නම් සතුටු විය හැකි ද? මේ ලබන්නා වූ අලුත් අවුරුද්දේදීවත් සියලු විරසකකම් දුරු කොට දරුවන්ගේ යහපත ගැන හිතා මවුපියවරු වෙනස් වනු දැකීම අපගේ තවත් ප්‍රාර්ථනයකි.

මේ ලෝකය ලස්සන වන්නේ දරුවන්ගෙනි. දරුවන් කරදරයක් හිංසනයක් නොමැතිව සතුටෙන් සිටිනවා නම් ඒ අවුරුද්දම අපට සතුටක්. ඒ නිසා කාටවත්ම කරදරයක් නැති... කාටවත්ම කරදරයක් නොකර, වටිනාකම් අගනාකම් රැකගෙන ආගම දහමට මුල් තැන දෙමින් අනෙකුත් නැකැත් චාරිත්‍ර නිසි පරිදි ඉටු කරමින් වසර පුරාම සුබ වන්නට හිතාගෙන ලක්වාසී සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! යි ඉකසිතින් මම ප්‍රාර්ථනා කරමි.

2065 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 09, සඳුදා 13:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න