තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 16, සඳුදා 12:44

අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතමු

Written by 
අගයන්න
(0 මනාප)
සිංහල අලුත් අවුරුද්ද සමරලා අහවර වුණත් තවම එහි සිරියාව නම් සම්පූර්ණයෙන්ම හිත්වලින් ඈත් වෙලා නැහැ. නැකැත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් පවුලේ හැමෝම එකට එක්වී ඒ ගත කළ දින කිහිපය සැබැවින්ම ආස්වාදජනක නොවේ ද?

 

මුළු රටටම කිරි උතුරන ඒ මංගල්‍යය නිම වීමත් එක්කම අප දැන් සුපුරුදු අපගේ ජන ජීවිතයට නැවතත් පිවිසිය යුතුයි නේද? පසුගිය දින කිහිපය තුළ ලැබූ සතුට සොම්නස තුරුලු කර ගනිමින් අපගේ දෛනික කටයුතු සුබ සිතින් අරඹන්නත් හොඳම කාලයයි; මේ.

නිවෙස් .. වටපිටාව කලඑළි වූ සිරියාව සමඟ ඔබේ සිතට එක් වූ සැහැල්ලුව ඔබේ ගෘහ ජීවිතයට සැබෑම වෙනසක් එක්කළ බව ඇත්තකි.

ඒ නැවුම් වෙනසත් සමඟ අරඹන රාජකාරි කටයුතු ගැනත් වෙනදාට වඩා සුපසන් හැඟීමෙන් සිතන්නට ඔබට පුළුවන් නම් ඔබ මේ අලුත් අවුරුද්දේ නොඅනුමානයෙන්ම ජය ගනු කිසිවෙකුට වළක්වනු බැරිය. ඔබ ජිවත්වන වටපිටාවට අලුත්බවක් ලබා දුන්නා සේම ඔබගේ සිතිවිලිවලටත් ඒ නැවුම්බව මුසු කළහොත් සැබැවින්ම ඔබේ හෙට දවස වාසනාවන්ත වනු නියතයි.

ඒ වෙනස ළඟා කරගත හැක්කේ ද ඔබට ම පමණය. යහපත් ලෙස ජීවිතය ඉදිරියට ගෙන යාමට අප ගත කළ ජීවිතය දෙස පසු විපරමක් කොට ඒ අත්දැකීම් සමඟ ඉදිරි පියවර තබන්නට ඔබ පළමුවෙන්ම සිතට ගන්න.

පසුගිය කාලයේ ඔබ දිගින් දිගටම කළ වැරැදි නැවතත් එලෙසම කරන්නට අදහස් කරන්නේ නම් ඔබ කොයිතරම් කලඑළි කළ නිවෙසක ජිවත් වුවත් සියලු නැකැත් චාරිත්‍ර අකුරටම ඉටුකළත් ඔබට ඉන් අත්වන සෙතක් නැත. බාහිර ඔපයෙහි නැවුම් වෙනසක් ඇති කරගත්තත් වසර පුරාවට අලුත් ඇඳුම් ඇන්ඳත්, හිතන, පතන, කරන දෙයෙහි... අඹමල් රේණුවක් තරම්වත් වෙනසක් සිදු වී නොමැතිනම් ඔබ අලුත් වන්නේ කෙසේ ද? බොහෝ පිරිස් වෙනස් වන්නේ මෙලෙස බාහිර ස්වරූපයෙන් මිස ඇතුළතින් නොවීම ජාතියේම අවාසනාවකි. අපි තරම් බණ අහන, ඇසෙන රටක් ලොව තවත් තිබේද? එහෙත් මේ රටේ තරම් වැරැදි වැඩ සිද්ධ කරන රටක් තවත් තිබේද? සිදු නොවිය යුතු නරක සිදුවන රටවල් අතර ප්‍රමුඛ තැනක සිටින්නට තරම් අප ජාතිය පිරිහී ඇත. සිය දිවි නසා ගැනීම්. අසභ්‍ය වීඩියෝ පට නරඹන, ළමා හා ස්ත්‍රී අපචාර, දූෂණ, මිනීමැරුම් නිරන්තරයෙන් සිදු වන රටවල් අතර ඉහළින්ම ලැයිස්තුගත වන්නට මේ ධර්මද්වීපය සමත් වීම සංවේගයට කරුණක් නොවේ ද? අපේ මිනිසුන්ට මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම වුණේ ඇයි?

එකිනෙකාට ගෞරව නොකිරීම, අවංක නොවීම ප්‍රේම නොකිරීම, කරුණාවන්ත නොවීම, අනුකම්පා නොකිරීම, වටිනාකම් හඳුනා නොගැනීම වැනි දෑ පසෙකලා වෛර කිරීම, අගෞරව කිරීම, ආර්මාර්ථකාමී බව, වංකබව අකාරුණික බව බල්ලෝ මරලා හරි සල්ලි ලැබෙනවා නම් යන සිතිවිලි ඉස්මතු වීම අද සමාජය උද්ගත වී ඇති මේ අභාග්‍යසම්පන්න තත්ත්වයට ප්‍රධාන කාරණය විය හැකියි.

එබැවින් නැවුම් සිතකින් වැඩ කටයුතු අරඹන්නට ඔබ සූදානම් වන මේ මොහොතේ ගෙවුුණු වසරෙහි සිදු වූ වැරැදි අතපසු වීම් දුර්වලතා මෙනෙහි කොට, ඒවා කිසිවිටෙක නැවැත සිදු නොවීමට ඔබට වග බලා ගන්නට පුළුවන් නම් ඔබ දිනුම්.

ගෙවුණු වැරැදි සහගත ජීවිතයෙන් පාඩම් ඉගෙනගෙන ජීවිතය සාර්ථක කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරගන්න. ඒ සකස් කරගත් ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක වී තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නවා සේම අනුන්ට කරදරයක් නොවී ජීවත් වීමට උත්සාහ ගන්න. මේ සඳහා තවත් කල් යල් බලා සිටින්නට එපා. තමා වෙනස් වී සාර්ථකත්වය නොපමාව ළඟා කරගන්නට උත්සාහ කරන්න. ඔබ හොඳ දෙයක නිරතවන විට ඔබෙන් යැපෙන සහ ඔබගේ සමීපතමයන්ට වුව ද නිදහසේ හුස්ම ගැනීමට හැකි වනු ඇත.

තමාගේ දුර්වලතා හඳුනාගෙන ඒවා නැවත නොවන්නටත් ඔබගේ වටිනාකම් තව තවත් වැඩි දියුණු කරගන්නටත් මේ ලැබූ මොහොත අවස්ථාවක් කරගත්තොත් නරක ද?

සිතිවිලිවලින් අලුත් වූ පමණින්ම අපට සෑහීමකට පත්විය හැකි ද? ඇත්තටම එය ප්‍රමාණවත් නොවේ. නවතාවයක් ගත් සිතුම් පැතුම් අපගේ එදිනෙදා රාජකාරි කටයුතු සඳහා ගළපා ගත යුතුය.

ඔබ නිවෙසේ සිටින ගෘහණියක් නම්, රාජකාරි ස්ථානයකට යන අයෙකු නම්, ඔබ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නෙකු නම් ඔබටත් සාර්ථකත්වය සඳහා කළ හැකි දේ බොහෝමයි. අපගේ ඉලක්කය හරි හැටි හඳුනාගෙන උනන්දුවෙන් ඒ කටයුතුවල නිරත වන්න. එවිට ඔබට දියුණුවේ මාවත විවර කරගන්නට අපහසු වන්නේ නැහැ.

විශේෂයෙන් තමා යම් ආයතනයක සේවය කරන්නේ නම් එහි සාර්ථකත්වය උදෙසා තමාගේ දායකත්වය නොපිරිහෙළා පුද කරන්න. තමා වැටුපක් ලබන, තමන්ගේ යැපෙන්නන් ජීවත්වන සේවා ස්ථානය දිවි දෙවැනි කොට සුරැකීම දියුණු කිරීම පහළ මට්ටමේ සිට ඉහළ නිලධාරියා දක්වා සෑම සේවකයකුගේම පරම යුතුකමකි. තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට නම් සේවා ආයතනය දියුණු විය යුතුමය. එසේ නොමැතිව එැතන "යකාට ගියා දෙන් අපි අපේ වැඩක් බලාගමු" යැයි සිතීම ඔබේ විනාශයේ දොරටුව ඔබම විවර කරගැනීමක් බඳුය.

සමහර උදවිය කාර්යාලයට එන්නේ විවේක ගැනීමට ය. ගෙදර දොරේ සියලු වැඩ අකුරටම ඉටු කොට රාජකාරී ස්ථානයට පැමිණ විවේක සුවයෙන් කල් මරති.

ගෙදර දොරේ කතා ඕපාදූප ඉවරයක් නැත. බොහෝ කාර්යාලවල සඳුදා දිනය වෙන්වන්නේ සති අන්තය ගත කළ හා සිදු වූ සිදුවීම් බෙදාහදා ගැනීමටය.

සිකුරාදා දිනයේ දී කතා බහ කරනුයේ නිවාඩු දින දෙක ගත කරන හැටි ගැනය. මේ බොහෝ කාර්යාලවල බහුතර පිරිසකගේ හැසිරීම් ය. බොහෝ සේවක ආයතන පාඩු ලබන ආයතන බවට පත්කර තිබෙන්නේ ම සේවකයන්ගේ මේ හැසිරීම් රටාව ම නොවෙද?

එනිසා හැම විටම අනුන්ගේ වැරැදිම සොයමින් තමන්ගේ වැඩ අතපසු කරන උදවිය නැකැතට රාජකාරියට පැමිණ තමන් කළ පෙර වැරැදි නැවත නොවන අයුරින් රාජකාරියේ නියැළෙන්නට හිතට ගන්න.

සමහරු රාජකාරි ස්ථානයට එන්නේ නිවෙසේ ඇති වූ තරහා අමනාපකම් හිතේ පුරෝගෙනය. ඒ පැමිණ ප්‍රධානියා හෝ අනෙකුත් කාර්යාල සාමාජිකයන් සමඟ නිතර නොහොඳ නෝක්කාඩු ගති පෙන්වති. මෙය ඔබගේ රැකියාවේ දියුණුවට හිතකර තත්ත්වයක් නොවේ.

එබැවින් කාර්යාලය තුළ වැඩ කරන සියලු දෙනා සමඟ සුහද සිතින් කාර්යක්ෂමව වැඩපලවල නිරතවන්න. එය ඔබට ආශිර්වාදයක් වනවා සේම අනෙකුන්ට පහසුවක් වේවි.

වංචනික ලෙස හැසිරීම, වැඩ කල් දැමීම, කෝප ගැනීම, කලකිරුණු ස්වභාවයෙන් සිටීම, තමා ගැන අධිතක්සේරුවෙන් සිටීම වගේම තමා ගැන හීනමානයෙන් සිතීමත් රාජකාරි කටයුතුවලට පමණක් නොව ගෘහ ජීවිතයටත් අසුබ ඵලම ඇති කරවන්නකි. හැම විටම තමාගෙන් සිදු වන ප්‍රමාදය, නොසැලකිල්ල තවෙකුගේ වැඩකටයුතුවලට බාධාවක් විය හැකිය.

සාමූහිකව වැඩ කටයුතු කිරීමේ දී මේ කාරණය ගැන සැලකිලිමත් වීම ඔබේ වගකීමක්. මක් නිසාද ඔබගේ සේවයට ඔබට වැටුප් ගෙවන බැවිනි. නිරවුල් වූ පිළිවෙළට, කලට වේලාවට වැඩ කිරීම ඔබේ වටිනාකම ඉහළ දමන්නට හේතුවක් වන බව අමතක කරන්න එපා. ඔබ නිසි ලෙස කලට වේලාවට රාජකාරිය කැපවීමෙන් කටයුතු කරන්නෙකු නම් ඔබ පසුපස පැසසුම් ඇගයීම් උසස්වීම් ගලා එනු නොඅනුමානයි. සේවා ස්ථානයට පැමිණ කාලය නිකරුණේ කා දමමින් .. පරිගණකයේ ඇලී ගැලී චිත්‍රපට නරඹන්නෙකු නම්, තැන තැන ගොස් කියවමින් සිටින කතාකාරයෙක් නම් එවැනි පුද්ගලයන් සේවා ස්ථානයට බරකි. ඒ බව තේරුම් ගෙන තවදුරටත් ආයතනයට බරක් නොවන්නට උත්සාහගන්න.

ඒ වගේම ධාර්මික ජීවිතයක වටිනාකම හඳුනාගන්න. තමන්ගේ වාසිය ගැන සිතමින් අනෙකා පහත හෙළීම, අනෙකාගේ වටිනාකම් හෙළා දැකීම ඉතාම නරක පුරුද්දකි. බොහෝ ආයතනවල මෙවැනි තත්ත්වයක් දක්නට ඇත. තමන්ගේ තැන රැක ගන්නට අනුන්ව පාවා දෙති. පෙත්සම් ගසති. මේ පුරුදුවලින් ඈත් වී හොඳ වැඩියෙන් කරන නරක අඩුවෙන් කරන පුද්ගලයෙකු වන්නට ඔබටත් හැකි නම් ජීවිතය ජය ගත්තා වැනි හැඟීමක් ඔබටත් කවදාහෝ දැනෙනු ඇත.

ඔබේ කාරුණික සාමකාමී බව සමාජයට ම යහපතකි.මේ සඳහා භෞතික යහපත පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි හැමෝම ජාති භේද ආගම් දුරලා තම තමන් අදහන ධර්මයෙන් සන්නද්ධ විය යුතුයි.

හැම ආගමකින්ම කියැවෙන්නේ පස්පව්වලින් වැළකී සිටීමේ වැදගත්කම ගැනයි. දරුවන් වගේම මහ මිනිසුනුුත් පාපයන්ගෙන් ඈත්වීම පළමුවෙන්ම කළයුතුයි. මොන දේ තිබුණත් ඵලක් තිබේද? ගුණ යහපත්කම් නොමැති නම්. සහතික පත් මිටි ගණන් තිබුණත් මනුස්සකම නැතිනම් ඔහුගේ කිසිදු වටිනාකමක් නැත. ඒ නිසා වටිනාකම් පෙරදැරි කරගත් ගුණවත් නැණවත් පරපුරක් බිහි කරන්නට අපි දැන් දැන් සිටම වෙහෙසුණොත් අනාගතයේ යහපත් රටට වැඩදායී මිනිස් පරපුරක් බිහිවීම වැළැක්විය නොහැකියි.

හරසුන් දෙයින් ඈත් වී තමන් කරන කියන දේට සියයට සීයක්ම කැප වී සිතට සැනසීමක් ලැබෙන පරිදි සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට සැමටම ලැබේවා. එයයි අපේ සතුට.

1131 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න