තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 08, අඟහරුවාදා 11:04

රසට උයන්න හිතන ළඳුන්ට මෙන්න සාස්තරේ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
    සෙව්වන්දි, මහේෂ් එක්ක විවාහ වෙලා මාස කිහිපයක් ගතවුණත් තවමත් ඔහුගේ රුචිකත්වයට ගැළපෙන්න උයා පිහා දෙන්න ඇයට බැරිවුණා.

 

සූපශාස්ත්‍ර පොත් බලාගෙන දන්න ශිල්ප දාලා කොයිතරම් හොඳට කෑම ටික හැදුවත් ඔහුගේ සිතට නම් ඇල්ලුවේ නැතිබව ඇයට වැටහුණා. හැබැයි ආඩපාලි නොකියාම ආහාර වේල භුක්ති විඳින මහේෂ් ගැන සෙව්වන්දිට දුකයි.

දවස් කිහිපයක නිවාඩුවක් ලැබුණු වෙලාවේ දෙන්නත් එක්ක නුවර ගියේ දළදාහෙම වැඳලා ලොකු අයියලාගේ ගෙදරත් ගිහින් එන්නයි. මහේෂ්ගෙ ලොකු අයියගේ නෝනට රසට උයන්න පුළුවනි. දවල්ට කාලා නිදහසේ කතාවක් දාගෙන ඉන්න වෙලාවේ සෙව්වන්දි තමන්ගෙ ගැටලුව ලොකු නෑනට කිව්වෙ නම් හරිම ලැජ්ජාවෙන්.

ලොකු නෑනා ගමක හැදුණු වැඩුණු ගෙදර දොරේ වැඩට දක්ෂ හරිම බුද්ධිමත් කාන්තාවක්. ඇය හරිම පහසුවෙන් සෙව්වන්දිගෙ ගැටලුව හඳුනාගත්තා.

“නංගි ඔයා උයන පිහින විදිහේ නම් වැරැද්දක් නැතිව ඇති. හැබැයි ඒකට පාවිච්චි කරන උපකරණවලයි, අමුද්‍රව්‍යවලයි තමයි වැරැද්ද ඇත්තෙ.”

“ඒ කිව්වෙ අක්කෙ. මට තේරෙන්නෙ නෑ.”

“මෙහෙමනේ නංගි දැන් නගරයේ, ගමේ කියලා වෙනසක් නෑ. හුඟදෙනෙක් නවීන උපකරණවලට පුරුදු වෙලානේ. උයන්නෙ පිහන්නෙ ගෑස් ළිප්වල, ඇලුමිනියම්... නන්ස්ටික් භාජනවල. ඒවාගෙම තමයි තුනපහ, මිරිස්කුඩු, කහ වාගේ පහේ ටිකත් කඩෙන් ගත්තු පැකැට්වලින් තමයි දාන්නෙ. ඉතින් කොයිතරම් රසට හැදුවත් කිසි රසයක් නෑ. ඇති ගුණයකුත් නෑ. මොකද ඉතින් කඩෙන් ගන්න පහේ ටිකේ ප්‍රමිතිය ගැන ඔයා දන්නවා ඇතිනේ.”

“ඒ කතාව නම් ඇත්තක් වෙන්නැති. අක්කා ඉතින් දර ළිපේ, මැටි වළං මුට්ටිවල උයන නිසා වෙන්නැති මේ තරම් රසට, සුවඳට කෑම ටික තියෙන්නෙ. ඒත් අක්කෙ අපිට දරළිප්, මැටි භාජන නෑනේ.”

“දර ළිපක් නම් නංගිගේ ලස්සන මුළුතැන්ගෙයි පැන්ට්‍රියට ගැළපෙන්නෙ නෑ තමයි. හැබැයි ගෑස් ළිපේ තියන්න පුළුවන් විදිහට හදන මැටි භාජන දැන් ඕනෑතරම් කඩවල්වල තියෙන්නෙ. ඔයා ඒවා ටිකක් අරගෙන පදම් කරලා හදාගන්න. එතකොට අපූරුවට රසට උයන්න ඔයාටත් පුළුවන් වෙයි.”

“පදම් කරනවා කියන්නෙ මොකක්ද අක්කෙ.”

“නංගි අපි කඩවල්වලින් ගෙනියන ඔය අනෙක් භාජන නම් හොඳට හෝදලා උයන්න පිහන්න ගත්තට මැටි භාජන එහෙම බෑ. අලුත් ඇතිලි පදම් කරගත්තෙ නැත්නම් ව්‍යාංජන, හොදි වාගේ දේවල් ඉක්මනට හිඳෙනවා. ඇතිලියට අල්ලගන්නවා කියලා තමයි අපේ අත්තම්මා මට කියලා තියෙන්නෙ. ඉතින් ඒක හින්දා අපි අලුත් මැටි භාජන උයන්න කලින් පොඩ්ඩක් පදම් කරනවා. දැන් මම වැඩියෙන්ම උයන්නේ දර ළිපේ කියලා නංගි දන්නවානේ. මම කරන්නෙ දවල්ට උයන්න පොල්කිරි මිරිකලා ඉවතට දාන පොල්කුඩු ටික මේ ඇතිලියට හරි මුට්ටියට හරි දානවා. ඊට පස්සෙ දවල්ට උයලා ඉවරවෙලා ළිපේ ගින්දර නිවෙනකම් මේ පොල්කුඩු දාපු මැටි භාජනය ළිප උඩින් තියෙනවා. අඩු ගින්දර රස්නෙට මේ පොල් කුඩු ටික රත්වෙලා ඒවායේ තියෙන තෙල් ගතිය මැටි බඳුනට අල්ලගෙන අපූරුවට පදම් වෙනවා. හරියට පොල් කුඩු ටික අඩු ගින්දරේ බදිනවා වාගේ තමයි. ගෑස් ළිපක නම් ගින්දර හොඳටම අඩුකරලා මේ විදිහට රත් කරගන්න පුළුවනි.

මේ විදිහට පදම් කරගත්තු භාජන ඊට පස්සෙ හොඳට සෝදලා ව්‍යාංජන උයන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොල් කිරි පැකැට් පාවිච්චි කරන අයට ඉතින් පොල්කුඩු නෑනේ. එහෙම අයට පුළුවනි මැටි භාජනයේ හොඳට පොල්තෙල් ටිකක් ගාලා ළිපේ තියලා රත් කරගන්න. ඔය වෙළෙඳපොළේ තියෙන ගෑස් වළං කියන්නෙ ගෑස් ළිපේ රස්නෙට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට හදපු මැටි භාජනනේ. ඒවාට පොල්තෙල් ටිකක් ගාලා රත් කරගත්තහම අපුරුවට උයන්න පුළුවනි.”

 

 

“ඇයි අක්කේ මේ අනිත් මැටි භාජන ගෑස් ළිපේ තියන්න බැරිද?”

“බැරිකමක් නම් නෑ නංගි. ඒත් ගෑස් වළං වාගේ නෙමෙයි ඒ වළං ටිකක් ඝනකමින් වැඩියිනේ. ඒ හින්දා රත්වෙන්න ගොඩාක් වෙලාව යනවා. එතකොට ගෑස් වැඩිපුර වැය වෙනවානේ. ඒ වගේම තමයි මේ වළං ටික දවසක් ගෑස් ළිපේ තියනකොට අඩිය පුපුරන්න බලනවා. මොකද ගෑස් උණුසුමට ඔරොත්තු දෙන්නෙ නෑ.

හැබැයි ගෑස් වළං එහෙම නෙමෙයි. තරමක් තුනීවට තමයි හදලා තියෙන්නෙ. පෙනුමටත් ලස්සනයි. හුරුබුහුටියි. ඉක්මනට රත්වෙනවා. දැලි රැඳෙන්නෙත් නෑ. හරියට ඇතුළත මැදලා වාගේ නිසා අඳුරගන්න අමාරු නැහැ. ඇතිලි, කරමූඩි, පොඩි තාච්චි, හට්ටිමුට්ටි විතරක් නෙමෙයි රොටි හෙම හදන තැටි වාගේ ඒවත් දැන් ගන්න පුළුවනි.

ඔයාලා ආපහු කොළඹ යන්නෙ තව දවස් දෙකකින් නේද? අපි හෙට කඩේ පැත්තෙ ගිහින් ඔය වළං මුට්ටි ටිකත් අරන් එමුකෝ. ඒ විතරක් නෙමෙයි හදිස්සියේ පිටුපස්සෙ මිදුලේ තියාගෙන උයන්න හරි මැටිවලින් හදපු දර ළිපකුත් මම ඔයාට අරන් දෙන්නම්කෝ. එතකොට නිවාඩු දවසකට ඔයාට දර ළිපේ රස පොළොස් ව්‍යාංජනයක්, මාළු ඇඹුල් තියලක් එහෙම දන්නත් බැරියෑ.

අපි කඩේ ගිහින් එනගමන් තුනපහේ ටිකක් ගෙනත් ගෙදරදීම හෝදලා වේළලා හදාගම්මු. මම කරන විදිහ නංගිට කියාදෙන්නම්. එතකොට ඔයාට බැරියැ ගෙදරදීම පහේ කළමනා හදාගෙන මැටි වළංවල සුවඳ ගගහ උයලා මල්ලිට රසට කන්න දෙන්න.”

 

සුවඳ හමන රසම රස තුන පහ පිළියෙල කර ගන්න හැටි ලබන සතියේ

 

 

චම්පා වරුසප්පෙරුම

799 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 08, අඟහරුවාදා 11:05
අදහස් එක් කිරීමට ලොග් වෙන්න