තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 08, අඟහරුවාදා 11:26

ශ්‍රවණය ට වඩා වැදගත් දහම පිළිපැදීමයි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
    උතුම් වූ සම්මා සම්බුදු තෙමඟුල සිහිගන්වමින් ලොව පුරා බෞද්ධ බැතිමතුන් පසුගියදා වෙසක් උත්සවය මහත් භක්ත්‍යාදරයෙන් සැමරීය. මේ අතර ඔබටත් ආමිස, ප්‍රතිපත්ති පූජා කෙරෙහි නැඹුරු වන්නට වාසනා ගුණය ලැබුණා නේද? ඒ සියල්ලෙන් ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම තමයි අගනාම දේ.

 

බුදුහිමි දෙසූ ධර්මය අවබෝධකර ගනිමින්, උන්වහන්සේ පෙන්වා දුන් විමුක්ති මාර්ගය වෙත ගමන් කිරීමට අදිටන් කර ගැනීමට ඔබට පෙරමං කියාදීමට අද සදහම් සෙවණින් සූදානම් වන්නෙමු.

නිවැරැදි හැසිරීම

සෙසු කිසිම සමයක ධර්මයක නො උගන්වන ලද විමුක්ති මාර්ගයක හිමිකම බුදු සමය සතු වේ. ඒ විමුක්ති දර්ශනය නිවැරැදි ගිහි මඟ ද, එසේ ම නිවැරැදි පැවිදි මඟ ද හෙළි කර ඇත. ගිහියා විසින් තමන් ජීවත් වන කාලය තුළදී අනුගමනය කළ යුතු නිවැරැදි හැසිරීම් රටාව සහ එය අනුගමනය කිරීමෙන් ඇතිවන පුද්ගල පාරිශුද්ධිය මෙන්ම පුද්ගලයා ගේ දියුණුව ද එසේම සමාජයේ දියුණුව ද එයින් ප්‍රතිබිම්බ කර ඇත.

ගිහි පැවිදි දෙපාර්ශවයෙන් සමාජය නම් ලද සංස්ථාව බිහි වී ඇත. ඒ සමාජ සංස්ථාවේ ඉදිරි ගමන පාරිශුද්ධිය, ප්‍රගතිය සහ ප්‍රගමනය තහවුරු කර ඇත්තේ ගිහි අභිසමාචාරය සහ පැවිදි අභිසමාචාරයට අනුවයි. ඒ දෙපාර්ශවයේම චර්යා රටාව සංවරශීලි සමාජයක ස්ථාවරත්වය තහවුරු කරන්නේය.

මනුෂ්‍ය සමාජයෙහි ‘සභ්‍යත්වය’ ඉතා වැදගත් තැනක් ගනී. සභ්‍යත්වය විවිධ වූ සමාජමය අංගෝපාංගයන් ගේ සංකලනයකි. ඒ සංකලනයන්ගේ අභිවර්ධනය සභ්‍යත්වය වෙයි. සිතේ වූ සභ්‍යත්වයේ පැවැත්ම උදෙසා සාරධර්ම අවශ්‍ය වන්නේය. අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නොව සියලුම සාන්තුවරයන් තම දහමින් ඉදිරිපත් කළේ සමාජය ද යහමඟ යවන සාරධර්මය. එහෙත් බුදුසමයෙන් තරම් වූ විස්මිත වූ ද හරවත් වූ ද සාරධර්ම වෙනත් සමය ධර්මයක විද්‍යාමාන වේ යැයි සිතීම පවා අපහසුය.

මිත්‍යා මත කැඩීම

නානාවිධ මතිමතාන්තර මුල් බැසගත් සමාජයක බුදුන් වහන්සේ තම ඉගැන්වීම ඉදිරිපත් කළේ සමකාලීන සාරධර්ම නොව සමාජගත මිථ්‍යා මත ඛණ්ඩනය කිරීම උදෙසායි. මිනිසා යම්තාක් කල් ජීවත් වේ ද ඒතාක් කල් ඔහු ගේ මෙන්ම සමාජයේ ද වැඩීම සහ ප්‍රගතිය සඳහාත් සදාචාර වර්ධනය සඳහාත් ඔහු විසින් ඉටු කළ යුතු වගකීම් ජාලයක් වෙයි. එය හුදෙක් සමාජාභිවෘද්ධිය සඳහා පවතින්නකි.

සාරධර්ම

බුදුරජාණන් වහන්සේ තම දර්ශනයෙන් ඉදිරිපත් කළ සමාජ සාරධර්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

ඒ පොදු සාරධර්ම සහ නිත්‍ය සාරධර්මයි. පොදු සාරධර්ම හුදෙක් සමාජයේ පොදු උන්නතිය සඳහා හේතු වේ.

නියත සාරධර්ම පුද්ගලයාගේ මෙලොව මෙන්ම පරලොව ජීවිතය ද තහවුරු කරයි. මිනිසා මෙලොව ජීවිතය නිවැරැදි මඟකට යොමුකර ජීවත් වන්නේද නැවත ඉපදීම එම සාරධර්ම හේතුකොටගෙන යහපත්ව පිහිටයි.

මිනිස් සමාජයේ ඉදිරි ගමන සඳහා බුදුන් වහන්සේ ඉගැන්වූ සාරධර්ම සූත්‍ර පිටකය පුරා පැතිර ගොස් ඇත. අවිහිංසාව, ප්‍රේමය, කරුණාව, මෛත්‍රිය, කාමපරාධ නොකිරීම, බොරු නොකීම, සොරකම් නොකිරීම, ද්වේෂය පිටුදැකීම, මාපිය - ගුරුවරු - වැඩිහිටියන්ට සැලකීම, ඥාති මිත්‍රාදීන්ට සැලකීම, අඹුදරුවන් පෝෂණය, ආගන්තුක සත්කාර, නිහතමානීත්වය, ඉවසීම, අධිෂ්ඨානය ආදී කොට ඇති සාමාන්‍ය ජීවිතය හා සම්බන්ධ යම් සුබවාදී ආකල්ප හා මතභේද මේ සියල්ල පොදු බෞද්ධ සාරධර්ම ගණයට වැටේ. මේ පොදු පුද්ගල සාරධර්ම යමෙක් අනුගමනය කරයිද ඒ පුද්ගලයාගේ සද්භාවය එයින් තහවුරු කෙරේ. එසේම නිවැරැදි නිගමන තීරණය කිරීම සමාජ සුබ සිද්ධියට හේතු වෙයි. නිවැරැදි චර්යාව ද එසේමයි. ඒ මාර්ගය තෝරා ගැනීමට බුදුරජාණන් වහන්සේ කේසපුත්ත නියම්, ගමේදී කලාමයන්ට දේශනා කළ ‘කාලාම සූත්‍රය’ අනභිබවනීය.

පිළිගැනීම

එදා බුදුරජාණන් වහන්සේ කාලාමයන් අමතා “කාලාමයනි, යමක් අසා තිබූ පමණින් හෝ මෙය මෙසේ වී යයි කී පමණින් හෝ පිටක ග්‍රන්ථයන්හි ඇතුළත් වී යයි කීමෙන් හෝ මුඛ පරම්පරාවෙන් පැවත ආවේ යැයි කියා හෝ තර්කය හේතු කොට ගෙන හෝ න්‍යාය හේතු කොට ගෙන යමක් පිළිනොගත යුතුය. එය ස්වකීය විමසන බුද්ධියෙන් ස්වයං විනිශ්චයකට යොමුකර පරීක්ෂණයෙන් නිරීක්ෂණයෙන් සත්‍ය තත්ත්වය වටහා ගෙන නිගමනයට එළඹිය යුතුය.” යනුවෙන් කාලමයන්ට ස්වයං විමංසනය පැහැදිලි කළහ.

ඔබට ද පෞද්ගලික ජීවිතයේ දී මෙන්ම සමාජ ජීවිතයේ දී ද නිවැරැදි තීරණ ගැනීමට අවකාශ තිබිය යුතුය.

කීම සහ කිරීම

කියන දේ යම් සේ ද ක්‍රියාවත් එසේ විය යුතුය. ක්‍රියාව යම් සේ ද කීමත් එසේම විය යුතුය. එකක් කියා වෙනත් දෙයක් ක්‍රියාත්මක කරන්නේ නම් එහි නිවැරැදි ගමන් මඟක් නැත.

ගැටලු සහිතය. විෂමචාරය. සරුඵල ලබා ගැනීම අපහසුය. එය සමාජය සහ පුද්ගලයාගේ ඉදිරි ගමනට බාධාවකි.

මැදුම් පිළිවෙත

මැදුම් පිළිවෙත අනුගමනය කරගත් ආර්ය

අෂ්ටාංගික මාර්ගය පුද්ගලයාගේ මෙලොව ජීවන මාර්ගය සාර්ථක කර ගැනීමට හේතුවේ.

සම්මා දිට්ඨිය - නිවැරැදි දැකීම

සම්මා සංකප්ප - නිවැරැදි කල්පනාව

සම්මා වාචා - සත්‍ය වචනය

සම්මා කම්මන්ත - නිවැරැදි කර්මාන්තය

සම්මා ආජීවය - මනා දිවි පැවැත්ම

සම්මා වායාම - නිවැරදි උත්සාහය

සම්මා සති - මනා සිහිය

සම්මා සමාධි - සිතේ එකඟතාව

මේ කාරණා අට යම් කිසිවකු අනුගමනය කරන්නේ නම් ඔහු පෘථග්ජන මිනිසකු ලෙස මෙලොව වශයෙන් ලැබිය යුතු දියුණුව ලබන්නේය.

ඒ දියුණුව තුළින් ඔහුට සමාජයේ ප්‍රියමනාප පුද්ගලයකු ලෙස ජීවත් විය හැකියි.

ගැටලු විසදීම්

පුද්ගලයාට සමාජ ජීවිතයේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේ. ඔහුට යහපත, අයහපත යන දෙක එක සේ පිළිගැනීමට සිදු වේ. එසේම ජීවත් වීමේ දී ලාභ, අලාභ, අයස, යසස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන මේ සියල්ලට කවර අවස්ථාවක හෝ ළගාවිය හැකියි.

එය අෂ්ට ලෝක ධර්මයයි.

මෙයින් කම්පා නොවී සිය ජීවිතයේ කටයුතු විධිමත් ලෙස කරගෙන යාමට උත්සාහයයි ඔබ ඇතිකර ගත යුත්තේ.

 

 

අනුශාසනාව පූජ්‍ය

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

 

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

991 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 08, අඟහරුවාදා 11:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න