තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 14, සඳුදා 13:38

පින්වත් දරුව කු ලබන්න පන්සිල් පද පහ හරියටම රකින්න

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
විවාහ දිවියට එළැඹි සෑම යුවළකගේම ප්‍රාර්ථනය දරු සුරතල් බැලීමයි. ඒත් සමහරකුට මේ දරු සම්පත ඇතිවන්නට ද, තවත් යුවළකට දරු සම්පත නැති වන්නට ද හැකියි. මෙය මෙසේ සිදු වන්නට හේතු කාරණා බොහොමයි. එසේ වී නම් අපේ හාමුදුරුවනේ, අඹු සැමි යුවළකට පින්වන්ත දරුඵල ලබා ගැනීමට ඔවුන් ධර්මානුකූලව කටයුතු කළ යුත්තේ කෙසේද?

 

පින්වන්ත දරුවෙක් ලබා ගන්නවායි කියන කාරණාවේදී අපි දකින්න ඕනෙ අපේ අතීත සංස්කාරයන් අනුව තමයි මෙය සිද්ධ වෙන්නෙ කියන කාරණාව. අපේ අම්මාගේ මවු කුසට මං ආවේ අපේ අම්මාගෙන් මට අදාළ සංස්කාරයන් සිද්ධවුණ නිසයි. ඒ විදිහට සංස්කාරයන්ට අදාළවයි නිරතුරුවම දරුවකු පිළිසිඳ ගැනෙන්නේ. එබැවින් ඔබ දරුවකු බලාපොරොත්තු වන්නේ නම් ඔබ දක්ෂ වන්නට ඕනේ ඔබේ සංස්කාර ශක්තිය වැඩිකර ගන්නට. ඒ ශක්තිය වැඩිකර ගත්තොත් තමයි එයට අදාළ ශක්තිමත් දරු උපතක් මවු කුස පිළිසිඳ ගන්නේ. මේ හේතුව හිතට අරගෙන කෙනෙක් විවාහ වූවාට පසුව කටයුතු කරන්නට ඕනේ. ඕනෑම මවක් පියෙක් පින්වන්ත දරුවකුයි බලාපොරොත්තු වන්නේ. ඔබේ මවු කුසට ආරාධන කරන්නට හැකි දිව්‍යතලවල අප්‍රමාණ දෙවිවරු ඉන්නවා මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය බලාගෙන. ඔවුන් පින්වත් මවු කුසක් ගැන සැලකිලිමත්.

පන්සිල් රකින්න

එතැනදී දරුවකු ගැන සිහින මවන ඔබ කළ යුත්තේ සිල්පද පහ තුළ ශක්තිමත් වීමයි. ඒ සිල්පද තුළ කටයුතු කරන්නට ඕනේ තෙරුවන් තුළ ශ්‍රද්ධාවෙන්. අපට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිළිබඳ විශ්වාසයක් නැතිනම් මවු කුසට ඇතුළු වන්නේ මිත්‍යා දෘෂ්ඨික දෙවියකුයි. එහෙමත් නැතිනම් මිත්‍යා දෘෂ්ඨික මනුෂ්‍යයෙක් මැරිලා ඒ උත්පත්තිය සකස්කර ගන්නවා. ඔබ මේ කාරණාව මැනවින් තේරුම් ගෙනයි සිල්පද පහ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්නට ඕනේ. දරුවනේ ඒ විතරක් මදි. මේ සිල්පද පහෙන් පරිපූර්ණ වෙන ගමන්ම හැකි පමණින් දන් පූජා කිරීම් සිද්ධ කරන්නට ඕනේ.

දන් දෙන්න

දන් පූජා කිරීම සම්බන්ධව අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ශ්‍රේෂ්ඨතම දානය මහා සංඝරත්නය මුල්කරගෙන පිරිනමනු ලබන දානයයි කියලා. එබැවින් විවාහයෙන් පසුව දෙන්නා සාකච්ඡාකර දෙදෙනා තුළින්ම පින් රැස්කර ගන්නට ඕනේ. මෙයට හොඳම නිදසුන වන්නේ නකුල පියා නකුල මාතාව මතු භවයේදීත් පතා ඇයම මගේ බිරිය කරගන්නේ කෙසේ්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. එතනදී උන්වහන්සේ නකුල පියාට දේශනාකර සිටියේ සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා වඩන ලෙසයි.

කුසල්වල බලය

දැන් හොඳින් කල්පනාකර බලන්න විවාහපත් ආදරණීය යුවළක්වන ඔබ පින්වන්ත දරු උපතක් අපේක්ෂා කරන මුල් සිතුවිල්ලේ පටන්ම සමව කටයුතු කළ යුතුයි. එනම් දෙන්නාම එකට එකතු වී කුසල් කරන්නට දක්ෂ විය යුතුයි.

හිතන්නකො, නෝනා සිල් පද සමාදන්ව ඒ ඔස්සේ දවස පුරාම කටයුතු කරනවා. අනේ ඒත් මහත්තයා රෑට ගෙදර එන්නෙ හොඳට රහමෙර පානය කරලා. දැන් බලන්න දරුවනේ එතැන සම කුසල් එකතුවීමක් තියේද? නැහැ. මේ තත්ත්වය මත පින්වත් දරු උපතක් වන්නේ නැහැ. ඔබ දෙදෙනාම ශ්‍රද්ධාව තුළ පිහිටවා ඒ සීලය තුළ පරිපූර්ණභාවයට පත්ව දන් දීම කළ යුතුයි. එවිට දෙදෙනාගේම කුසල් ශක්තිය වැඩි වෙනවා. නිරතුරුව කුසල් ශක්තිය වැඩිකර ගන්නට අඹු සැමි යුවළ දක්ෂවන්නට ඕනෙ. ඒ සඳහා මෛත්‍රිය වඩවමින් ජීවිතය පවත්වාගෙන යාම අවශ්‍යයි. එහෙම ජීවත්වන ගමන් තමන්ට හැකියි නම් අනුරාධපුරය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට, ස්වර්ණමාලී මහ සෑරඳුන් අභියසට ගොස් අවශ්‍ය පුද පූජාවක් තියන්න. මල් පූජාවක්, පහන් පූජාවක්, කිරිපිඬු පූජාවක් තියන්න. ඒක බොහොම වටිනවා. ඒ ස්වර්ණමාලී මහ සෑ සමිඳුන්ගේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයෙන් එහි වැඩ සිටින දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාදය අරගෙන ඒවා තුළින් තමන්ගේ සංස්කාර ශක්තියන් වැඩිකර ගැනීමට උත්සුක විය යුතුයි. එයින් තමන් බලාපොරොත්තු වන පරිදි යහපත්, පින්වත් දරුවෙක් ධර්මානුකූලව ලබන්නට හැකියි.

එහෙත් මේ කාරණාවලින්ම සියයට සියයක් යහපත් පින්වන්ත දරුවකු ලැබෙනවායි අපට කියන්නට බැහැ. මොකද ඔබ දන්නේ නැහැ ඔබ අතින් අතීතයේ මොන වගේ අකුසල කර්මයක් සිදු වී ද කියලා.

ඊළඟ මොහොත කුමක් වෙයි ද?

අන්න ඒ හේතුව මතයි ඔබ අප දක්ෂ විය යුත්තේ නිරතුරවම ඊළඟ මොහොතේ බලවත් අකුසලයක්, විපාකයක් සිදුවෙයි කියන කාරණය සිතීමට. අද සමාජයේ කවුරුත් එහෙම හිතන්නේ නැහැ. අපේ ළඟට සමහර දරුවෝ එනවා අවුරුදු පහයි, හයයි. ඒ දරුවන් වඳින කොට එකපාරටම මට කියවෙනවා තෙරුවන් සරණයි පුතේ, දීර්ඝායුෂ සැලසේවා කියලා. මට එහෙම කියන්න හිත දෙන්නේ මේ දරුවාට හෙට අනතුරක් වේ යයි හිතිලයි. නමුත් ඒ අම්මාට තාත්තාට එවැනි හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අම්මා තාත්තා හිතන්නේ මේ දරුවා නීරෝගිමත් කියලයි. එහෙම හිතන නිසාවෙන් අම්මා තාත්තා මේ දරුවාගේ නීරෝගීභාවය, දීර්ඝායුෂ වෙනුවෙන් කිසිදු පුණ්‍ය කර්මයක්, බෝධි පූජාවක්, දානමය පින්කමන් සිදු කරන්නේ නැහැ. මොකද ඒ මාපියෝ දරුවාට ඊළඟ මොහොතේ අනතුරක් වේ යැයි කියන සිදුවීම දකින්නේ නැහැ. ඒත් අපි දකිනවා ලෝක ධර්මතාවය. ඔබ ද ලෝක ධර්මතාවයට අනුගත විය යුතුයි. එබැවින් අනතුරක් වන්නට පෙර වර්තමානයේ ධර්මයෙන් ශක්තිමත් වන්නට ඕනේ.

කුසලය තුළ ශක්තිමත් වන්න

ඔබ දරුවකු බලාපොරොත්තු වන මවක් නම්, පියෙක් නම් ඔබ නිරතුරවම දක්ෂ වන්න ඕනේ කුසලය තුළ ශක්තිමත් වන්න. එනම් පෙර කී පරිදි ශ්‍රද්ධාව තුළ පිහිටා සිල් පද ආරක්ෂාකර හොඳින් දන් දී මෛත්‍රිය වැඩිය යුතුයි. අපිට යහපත් පින්වන්ත දරුවකු ලැබේවායි කියලා උතුම් පූජනීය ස්ථානයකට ගොස් අධිෂ්ඨානයක් කරගන්න.

ඔබට පින්වන්ත නිරෝගීමත් දරුවකු ලබාගන්න ධර්මානුකූලව කටයුතු කරන්නට හැකි එකම මඟ එයයි.

මේ සඳහා ඔබ විවාහයට පෙර සිට සූදානම් වන්න. ඔබට එසේ නොහැකි වුණි නම්, දරුවකු බලාපොරොත්තු වන්නට මසකට පෙරදීවත් ඒ සඳහා පේවී කටයුතු කරන්න. අලුත විවාහපත් වූ සැමියා, බිරිය මාසයක් පුරාවටම බෝධි පූජා පවත්වන්න. පුංචි දරුවන්ට ගැබිනි මවුවරුන්ට ධර්මානුකූල ලෙස පිහිට වන්න. එහි දී මට පින්වත් නීරෝගී දරුවකු ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

ධර්මයට පිටුපෑම

අද ලෝකයේ අකුසල් මූලයන් අප්‍රමාණ ලෙස වැඩෙනවා. මාපියන්ට උපස්ථාන නොකිරීම, සත්ත්ව හිංසාව, ගබ්සා කිරීම්, ධර්මයට පිටුපා කටයුතු කිරීම් අද ලෝකයේ ඕනෑ තරම් සිද්ධ වෙනවා. මේ හේතුවෙන් දරු උපත් අකුසලය මුල්කර ගෙනයි සිදුවන්න්.

මෛත්‍රීය, සීල, ශ්‍රද්ධා වඩන්නේ නැතුව අවම වශයෙන් බෝධි පූජාවක්වත් පවත්වන්නේ නැතුව දරු සම්පතක් බලාපොරොත්තු වන්නට ගියොත් එවැනි අකුසල සංස්කාර සහිත දරුවන් ඔබේ කුසට බැස ගන්නට පුළුවන්. ඔබට මේ අවදානමෙන් මිදෙන්නට හැකි එකම කාරණය තමයි ඊට අවශ්‍ය ධර්මානුකූල ශක්තිය ජීවිතයට එකතුකර ගැනීම. යම් සේ ඔබට රෝගී වූ දරුවකු ඉපදුණි නම් එය ධර්මය ලෙස දකින්න. හේතුඵල ධර්මයක්, සංස්කාරයන්ගේ යථා ස්වභාවයක් ලෙසම දකින්න. ඔබේ අකුසල් සංස්කාරයන් නිසා ලැබුණු රෝගී දරුවා ඔබ බාර ගන්න දක්ෂ වන්නට ඕනේ. ඔබ කළා වූ දෙයක් ඔබට ලැබී ඇත්තේ. ඔබ නොකළා වූ දෙයක් ඔබට ලැබෙන්නේ නැත. ඔබ මේ හේතුවෙන් ද්වේෂ විය යුතු නැත. එය ධර්මතාවය ලෙස දකින්න. රෝගී දරුවා පන්සලක් ලෙස දැක පින් සිතින් කටයුතු කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි අවබෝධ කරගන්න. කළ හැකි උපස්ථාන උපරිමව සිදු කරන්න. ඔතනයි ඔබට සැබෑම සහනය ඇත්තේ. ඔබ ඇලීම්, ගැටීම්වලට නොයා උපේක්ෂාව තුළ ජීවත් වන්න. ජීවිතය ජීවත් කිරීමට හරිම පහසුයි.

 රාජගිරියේ අරියඥාන

ස්වාමීන් වහන්සේ දෙසූ අනුශාසනාවක් ඇසුරිණි.

  

ඡායා - ස්ටූඩියෝ උම්

986 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 14, සඳුදා 13:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න