තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 14, සඳුදා 13:41

සමනල වියේ යුවතිපතීන්ට ජිවිත පාඩම වටහා දෙන්න

Written by 
අගයන්න
(0 මනාප)
තරුණියකගේ ජීවිතයේ සොඳුරුතම දිනය වේ නම් ඒ ඇගේ මංගල දිනය බව නොරහසකි. හිතගත් ආදරවන්තයා සමඟ අති’නත බැඳෙන ඒ සුන්දර දිනය ගැන ඇයට ඇත්තේ දහසකුත් ගොන්නක් බලාපොරොත්තු ය. ඇය ආදරය කළ ඔහුගේ ලෙයින්, තම කුස තුළ සෑදෙන දරු පැටියකුගේ කිරි සිහිනය විඳින්නට ඈ පෙරුම් පුරන්නේ පතිනියක වන්නටත් පෙර සිටය.

 

මේ යුවතියන්ගේ හැටිය. අපමණ කැපකිරීම් කරමින් සිහින විජිතය ජයගනිමින් සුන්දර... ආදරබර පවුල් ජීවිතයක් ගතකරන්නට පෙරුම් පුරා.. කුලගෙට පිවිස එය දිනකට, දෙකකට, සතියකට, මාස කිහිපයකට, අවුරුද්දකට, දෙකකට පමණක් සීමා වුවහොත් ඔබට දැනෙන හැඟීම කෙබඳු වේද? විවාහ වූ නිසාම.. තම පණටත් වඩා සෙනෙහස පෑ නිසාම... පණ ඇති තුරාවට දිවි රැක සුර සැප දෙන්නට පොරොන්දු වී කුලගෙට කැන්ඳා ගෙන ආ ආදරවන්ත අතින්ම ජීවිතය අහිමි වේ යැයි කාටනම් සිතෙයි ද? ඇයට සිතෙයි ද? ඔහුට සිතෙයි ද? නමුත් එසේ සිදුවන විවාහ ජීවිත දැන් දැන් නම් සුලබය. තම සෙවණින් මිදී කූඩු තනන්නට ගිය දියණියට මෙවැනි විපතක් සිදුවීමේ වේදනාව මාපියන් කෙසේ නම් දරා ගන්නේ ද?

මට මේ හැඟීම දැනෙන්නට වූයේ පසුගිය දිනෙක අසන්නට ලැබුණු හද කම්පා කරවන ඝාතනයක් නිසාය. ඒ මවුපියන්ගේ දියණිය විවාහ වී ගත වී තිබුණේ සිව් මසක් පමණි. සිව් මසක ඇවෑමෙන් දියණියට සිදු වූයේ ආදරණීය සහකරු අතින් පරලොව යන්නටය. දස දහස්වරක් ආදරයේ නාමයෙන් සිප වැළඳගත් දෑතින්ම වෙර වීරිය යොදා ඔසවා ගත් “ඩම් බෙල්”් එකෙන් ඇයට දමා ගසන්නට තරම් අකාරුණික සිතක් ඔහුට පහළ වූයේ දෛවයේ සරදමක් ලෙසින් ද?

ගෙවී ගිය දශක දෙක, තුනක කාලයේ විවාහපත් වූ බොහෝ යුවතිපතීන් අතර මෙවැනි සිදුවීම් අසන්නට, දකින්නට ලැබීම දුලබ නොවීය. රන්හුයෙන් දෑඟිලි බැඳ දිවි ඇති තෙක් ආදරයෙන් දුක සැප සම සිතින් විඳින්නට කූඩු වූ යුවතිපතීන් අරඹන කුල ගෙය කෙටිම කෙටි කලක් තුළ මළ ගෙයක් වීම හද කම්පා කරවන්නකි.

ඊටත් වඩා මෙම ඝාතනය සිදුවී ඇත්තේ නිර්මාණාත්මක සිතිවිලි සමඟ නිරන්තරයෙන් පන්හිඳ මෙහෙයවනු ලබන චිත්‍ර ශිල්පියකු අතින් වීම අප පුදුමයට පත් කරවීය.

ඔහු ඇඳ තිබූ චිත්‍ර කොතරම් ආකර්ෂණීය ද? එතරම් සුමට.... සෞන්දර්යයාත්මක, කලාකාමී හදවතක් ඇත්තෙකු අතින් මෙවැන්නක් සිදුවිය හැකි ද?

අද කාලයේ යෞවන යෞවනියන් පෙම් කරන්නට පටන් ගන්නේ කටේ කිරි සුවඳ යන්නටත් කලින්ය. එවැනි ළමා පෙම්වතුන්, පෙම්වතියන් මඟ තොටේදී බස් රථවල ඕනෑතරම් දැක ඇත. මේ පෙම් පළහිලව් බොහෝ විට නිමාවන්නේ අධ්‍යාපනය කඩාකප්පල් කරවමින් මුළු අනාගතයම අඳුරු කරවමින් තරුණියක් ගැහැනියක් බවට පත්කරවමිනි. නැතහොත් සියදිවි නසාගැනීම්වලින් කෙළවර වෙමිනි. ආදරය පිළිබඳ වගේ වගක් නොමැතිව ළාබාල වියේදීම විවාහ වී අතරමං වූ ජීවිත කොතරම් නම් වේද?

 

විවාහ වීම යනු ජීවිතයේ ගතයුතු වැදගත්ම තීරණාත්මක තීන්දුවකි. එය බොහෝ සේ සිතා බලා ගතයුතු තීරණයකි. මිතුරු ඇසුරේදී බොහෝ විට අපට ඇසෙන වදනකි, ‘මුහුදේ ඉන්නේ එක මාළුවාද?”යන්න. කතාව සැබෑවකි. මුහුදේ බොහෝ මාළු වෙති. එහෙත් ඒ සියලුම මාළුන් අපට පරිභෝජනයට ගත නොහැක. සමහර මාළු විෂ සහිතය. එනිසා අප ආහාරයට ගතයුතු වන්නේ ශරීර සෞඛ්‍යයට හිතකර ඒවා පමණි.

අප ජීවත්වන සමාජය ද එලෙසමය. එහි බොහෝ මිනිස්සු ජීවත් වෙති.

ඒ මිනිසුන් අතර හොඳ මිනිසුන් වෙති. නරක මිනිසුන්ද වෙති.

අප ජීවත් වීමට නැතිනම් ජීවිතය බෙදා හදා ගැනීමට විශේෂයෙන් යුගදිවි ගෙවන්නට තෝරා ගත යුත්තේ හොඳ ගුණ යහපත් මිනිසුන් ය. එසේ නොවුණු කළ සිදුවන්නේ මෙවැනි විපත්ය. නමුත් තමාට ගැළපෙන නියම සුදුස්සා සොයා ගැනීම නම් තරමක් අපහසු කටයුත්තකි.

කෙසේ හෝ ජීවිතයට සමීප වන මේ පෙම්වතුන් විවාහ උත්සවය පවත්වන්නට හදන සැලැස්ම, විවාහ වී ගත කරන ජීවිතයට ගළපා නොගන්නේ මන්දැයි සිතේ. අඳින ඇඳුම, එහි වර්ණය, විවාහ මංගල්‍යය ගන්න හෝටලය, හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පියා, ඡායාරූප ශිල්පියා, පී‍්‍ර ෂූට් ගන්නේ මොන රටේ මොන පළාතේ ද? මල් කළඹ, මංගල තැල්ල ගන්නේ මොන සාප්පුවෙන් ද? කපන කේක් එක, ගන්න සපත්තු, මංගල රථය සරසන හැටි, මධුසමය ගත කරන හෝටලය මේ සියලු දේ පිළිබඳ බොහෝ සැලසුම් ඇගේ විවාහය වී ගත කරන ජීවිතය ගැන සැලසුමක් ඇද්ද යන්න තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

මේ දේවල් සැලසුම් කළාට වරදක් නැත. එහෙත් ඔබ මතක තබාගතයුතු වැදගත්ම සැලැස්ම නම් ජීවත් වීමේ සැලැස්මයි. නිසි වයස පැමිණි කල කරකාර බන්ඳන්නට උත්සුක වන මාපියන්ට මෙහිදී විශාල වගකීමක් ඇත. මන්ද පොරොන්දම් සියල්ල ගළපා ආදරබර දියණියගේ, පුතණුවන්ගේ දෙඅත් ගෙන ආඩම්බර ලීලාවෙන් මඟුල් බෙර මධ්‍යයේ සියලු ඥාති හිත මිතුරන් අබියස පෝරු මස්තක කරවන ඔවුනට එතැන් සිට ජීවිතය ගෙනයන්නට අවැසි ‘ජීවිත පාඩම’ කියා දුන්න ද යන්න.

බොහෝ මවුවරු, පියවරු සේම මනාල, මනාලියන් මහ ඉහළින් විවාහ මංගල උත්සවය සැලසුම් කරනවා විනා පසුව ගෙවන ජීවිතයට සූදානමක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

විවාහ වීමට පහසුය. විවාහ උත්සව ගැනීම ද පහසුය. ඒවාට එතරම් සැලැස්මක් අවශ්‍ය නැත. මනා සැලසුමක් අවශ්‍ය වන්නේ, විවාහයට සුදුස්සා තෝරා ගැනීමටත්, විවාහ වී ගත කරන ජීවිතය සාර්ථක කර ගැනීමටත් ය. යහපත් යුග දිවියක් යහපත්ව ගතකරන්නට මනා කළමනාකරන පුරුදු පුහුණු කර තිබිය යුතුය. බුදුන් දෙසූ දහමට අනුව සම සීල, සම ප්‍රඥා, සම චාග (ත්‍යාගශීලීත්වය), සම ශ්‍රද්ධා, සම චින්තා ගළපා යුගදිවි අරඹන පති, පතිනීන් වත්මන් සමාජයේ විරලය. නකුල මාතා, නකුල පිතා වැනි ආත්මයෙන් ආත්මයට අඹු සැමියන් වන්නට පෙරුම් පුරන අඹු සැමියන් නැත්තටම නැතිතරම්ය. මේ පරපුරේ දරුවන් අතරින් වගකීමකින් පවුල් ජීවිත ගතකරන්නන් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඔවුනොවුන්ගේ අදහස් අහස පොළොව මෙනි. දෙදෙනාගේ උගත්කම් අතර ඇත්තේ ද නොගැළපීම් ය.

සිතුම්, පැතුම් ගැටවර වියේ මෙන් සෙල්ලක්කාරය, නාස්තිකාරය, කෙළිලොල්ය. කාලයක් යන විට යුගදිවිය නීරස වන්නට මෙවැනි හේතු ද බලපානු ඇත. වැහි බින්දු එකතු වී ගංගා, ඇළදොළ නිර්මාණය වන්නා සේම පුංචිවට එකතු වූ මේ නොගැළපීම්, නොරිස්සුම්, දොස් පරොස් විවාහ ජීවිතයේ සතුªට පෑල දොරින් පලායන්නට පසුබිම සලසනු ඇත.

එබැවින් මවුපියන්, ගුරුවරුන් පමණක් නොව උගත් බුද්ධිමත් විද්වතුන් ද, ගෞරවනීය පුජ්‍ය පක්ෂය ද අපේ තරුණ දූ පුතුන්ට ජීවිතය ගැන මනා අවබෝධයක් ලබා දෙන්නට මැදිහත් විය යුතුය. විශේෂයෙන් මාධ්‍ය සම්බන්ධයෙන් ද කතා කරන විට විශේෂ වගකීමක් ඔබ අප සතුය. ඔබ හසුරුවන්නේ පෑන ද? මයික්‍රෆෝනය ද තරුණ පරපුරට ජීවත් වීමේ කලාව කියා දෙන්නට ඒ හොඳටම ප්‍රමාණවත් ය. මාධ්‍ය සගයිනි, ඔබ ඔබේ ආදරණීයයන් අමතන හැම මොහොතකම මනුසත් ජීවිතයේ අරුත්බව මැනැවින් අවබෝධ කරවන්න උත්සාහ ගන්න.

මවුපියනි, මේ ඔබේ ආදරබර දූ පුතුන් ය. සමහර විට සිටින එකම දරුවාය. ඔවුන් හදන්න, උගන්වන්න, නියම මඟ පෙන්වන්න ඔබ දැරූ වෙහෙස කොපමණ ද? ඔබ ඔබේ දරුවා තුරුළු කරගෙන, සිප ගනිමින් පාඩම්, හොඳ නරක කියා දුන් හැටි ඔබට මතක ද? දැන් දරුවා උස්මහත් වී ඇත. ඔබ පෙන්වූ මාවතේ ගොස් උගතෙක් වී ඇත. උසස් රැකියා කරනු ඇත.

දැන් ඔබේ සිහිනය, දුවණිය, පුතණුවන් නිසි කල ආවාහකර දීම නොවේද? මනාලයන්, මනාලියන් සෙවීමේ සිට විවාහ මංගල්‍යය විචිත්‍රවත් කරගන්නට සියල්ල සැලසුම් කරන්නා සේම විවාහ වී යහපත් ජීවිතයක් ගතකරන්නට සැලසුම පිළිබඳ අවබෝධය ලබාදීම ද ඔබගේ වගකීමකි. දෙතැනක, දෙවිදියකට හැදී වැඩුණු දෙදෙනෙක් එක වහලක් යට දිවි ගෙවීම අපහසු නොවුණත් හිතන තරම් පහසු ද නොවේ. පුංචි කාලේ තුරුළු කරගෙන පාඩම් කියා දුන්නා සේම යුගදිවි අරඹන්නට සූදානම් වන දුවට, පුතාට තනන්නට හදන කැදැල්ලේ ජීවත්විය යුතු ආකාරය වටහා දෙන්න.

මෙය දියණිය පමණක් දැන සිටියාට වැඩක් නැත. පුතණුවන් ද දැනුවත් කළ යුතුය. මක් නිසාද තනි අතින් අත්පුඩි ගසන්නට බැරි හෙයිනි. පවුල් ජීවිතය යනු රෝස මල් යහනාවක් නොවන බවත්, ගල් බොරළු ද තිබිය හැකි බවත් තේරුම් කර දෙන්න. අවුල් නැති පවුල් දිවියක් නැති වෙන්නට පුළුවන්. එහෙත් අවුල් අවම කරගෙන ගෙවන පවුල් ජීවිතය ගැනත්, ප්‍රකෝපකාරී, ආවේගශීලී මොහොතකදී ඉවසීමෙන් මුහුණ දිය යුතු ආකාරයත් දුවට, පුතාට පහදා දෙන්න. ගැටුමකට අර අඳින හැම මොහොතකම ඔබ වැරැදි වුවත්, නිවැරැදි වුවත් එම අවස්ථාව මඟ හැර යන්න. අනෙකා එය නිවට නියාලුකමක් ලෙස සිතනු ඇත.

ඒ තමයි ඔබේ ඉවසීමේ ගුණය. ඔබගේ තිබෙන මහත්මා ගතිය. ඔබගේ තිබෙන නිහතමානී සංවරකමේ සංකේතය. සියලු ආරවුල් බත් මුට්ටිය ඉදෙන තුරුම පමණක් කරගන්න ඔබ උත්සාහ කරන්න. “ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මෙහෙම කළේ”’ කියලා සමහරු කියති. එහෙත් හපන්කම එය නොවේ. ඉවසලා ඉවසලා බැරිම තැන, එතැනයි ඉවසිය යුතුම තැන” එහෙම හිතන්නට ඔබට පුළුවන් නම් මුළු ජීවිතයම ජයගැනීමට හැකියාව ඇත.

ආසියානු අපේ කලාපයේ ජීවත් වන මවුපියන්, වැඩිහිටියන් යුගදිවිපත් දරුවන්ගේ “දික්කසාදය” “වෙන්වීම” බලාපොරොත්තු වන්නේ නැත. දරුවන්ට අනර්ථයක් විය හැකි බැවින් බැඳ ගත්ත බෙරේ ගසන්නටම කියති. එහෙත් සහකරු හෝ සහකාරිය දෙන්නා ජීවත් වන්නේම ගැටුම් මැද නම්, ආරවුල් සමඟින්ම නම්, ප්‍රශ්න මැද්දේම නම් මරණයකින් කෙළවර වනවාට වඩා උසාවියකින් ප්‍රශ්නය නිම කරගැනීමේ ද වරදක් නැත. මක්නිසාද “විවාහය” යනු මරන්නට දෙන “ලයිසන්” එකක් නොවන බැවිනි.

337 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 14, සඳුදා 13:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න