තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 04, සඳුදා 13:26

තැන්පත් කරන්නට පෙර අවදිවන්න

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
අද දවසේ දී ජීවිතයේ සාර්ථකත්වය හමුවේ ඉදිරියෙන්ම කියවෙන දෙයක් වේ නම් ඒ මුදල් ය. ඒ තරමටම සල්ලි ලෝකය පාලනය කරන තැනට ඇවිත්ය. ඒ නිසාම සමහරු වංචාවෙන් හරි පොහොසත්වන්නට මාන බලති. මිනිසුන්ට මුදල් නිසා හොඳ නරක සියල්ලම අමතක වෙලා.

 

එදාවේල බොහොම වෙහෙසිලා සරිකරගන්න පොඩි මිනිසුන් වැඩියි. බොහෙමෙයක් දෙනාට ඉතිරි කරන්න තරම් මුදලක් නැහැ. කෙසේවෙතත් අප අතර හිඳින බොහෝ පිරිසක් තමන් වැරවෑයෙමෙන් උපයාගත් මුදල් තව තවත් වැඩි කරගන්නට සිතති. ඒ වෙනුවෙන් බොහොමයකගේ තෝරාගැනීම වී ඇත්තේ ඉන්මනින් වැඩි ධනයක් උපයාගන්නට ඉහළ පොලී අනුපාතයක් සහිත කොතැනක හෝ මුදල් තැන්පත් කිරීමය. හිතින් පොලිය ගැන හිතා තමන්ට ලැබෙන ලොකු මුදල පිළිබඳ ලොබ බැඳ කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මුදල් තැන්පත් කරයි. එහෙත් ඒ සිහිනය බොඳවී යන්නට ද වැඩි දවස් ගතවන්නේ නැත. කිසිම දෙයක් නොහිතා මුදල් තැන්පත් කළ ආයතනය හදිසියේ කඩා වැටුණු විට තමන්ගේ මුදල්වලට සිදුවූ දෙය හිතාගන්නට බැරුව වියරු වැටෙති.

අපි ජීවිතේ පිළිබඳ අනවශ්‍ය විදිහට හිතන්න යන නිසා තමයි ඉහළ පොලී අනුපාතයක් ඇති ඕනෑම ආයතනයක මුදල් තැන්පත් කරන්න යන්නේ. අපේ මේ තණ්හාව අවසානයේ ඉතිරි කරන්නේ කඳුළක්. දුක් මහන්සියෙන් හරි හම්බකරගත් තුට්ටු දෙකට තට්ටු වී ගිය කල එය කෙලෙස දරාගන්නද? ඒ හින්දා තමන් දුක් මහන්සියෙන් උපයාගත් සල්ලි ඉහළ පොලී අනුපාතවලට දකින දකින තැන්වල තැන්පත් කරන්න යන්නේ නැතුව ඒ පිළිබඳ අවදියෙන් මුදල් රැකෙන විදිහට තැන්පත් කරන්න හිතට ගන්න. ඒ සඳහා වැඩි පොලියක් ලබා ඉක්මනින් පෝසත් වීමේ අදහස අත්හැර දැමිය යුතුයි. දුවගේ පුතුගේ විවාහය, අධ්‍යාපනය පිළිබඳ අහස උසට බලාපොරොත්තු තබා ඒවා ඉටුරගන්නට ඉක්මනින් පොලී සොයනවාට වඩා තමන්ගේ මුදල යම් තරමකට පොලියක් ලබා ආරක්ෂාකාරී තැනක තබන්නට අපේ අම්මලා, තාත්තලා, අක්කලා, අයියලා හිතන්නේ නම් තැන නො තැන මුදල් තැන්පත්කර අමාරුවේ වැටෙන්නේ නැත.

අපි මොනතරම් විශ්වාසයක් රඳවගෙන ඉන්න ආයතනයක් වුවත් මුල්‍ය කඩාවැටීමක් හමුවේ බංකොළොත් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය සත්‍යයක්. ව්‍යාපාර කියන්නේ මේ නඟිනවා මේ වැටෙනවා. ඒ අතර හොඳට හයිය තියෙන නො සැළෙන ව්‍යාපාරත් තියෙනවා නම් තමයි. ඒ හින්දා තමයි අපි මුදල් තැන්පත් කරන්න ඉස්සර වෙලා ඒ තැන්පත් කරන ආයතනය ගැන කීපවරක් ම හිතන්න ඕනේ. “ඔය ආයතන හැමදාම ලාභ ලබයි ද? අපේ සල්ලිවලට ආරක්ෂාවක් තියෙයිද? ආයතනය වැටුණත් අපිට අපේ සල්ලි ලැබෙයිද?’’ වගේ කරුණු පිළබඳ හිතලා මුදල් තැන්පත් කරන්න.

වර්තමානයේ දී මුදල් තැන්පත් කරන්න පුළුවන් ආයතන බොහොමයක් අපේ රටේ තියෙනවා. ඒවා බැංකු හා මුල්‍ය ආයතන ලෙස අපට හඳුනාගත හැකියි. මෙම මුල්‍ය ආයතන මහ බැංකුවේ ලියාපදිංචි ඒවා මෙන්ම ලියාපදිංචි නො වුණ ඒවාත් තියෙනවා. මෙසේ ලියාපචිංචි නො වුණ ආයතන එක්ක ගනුදෙනු කරන එක බොහොම භයානකයි.

ඒකට මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ එක ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් තියෙනවා. මේ ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ. නමුත් අපේ රටේ බොහොමයක් දෙනා නො දැනුවත්ව මේ ආයතනයෙන් ෆිනෑන්ස් කරලා වහන මිලදී ගන්නවා. ඒකට ඉඩම්, ගෙවල් වගේ වටිනා කියන දේවල් ඇපයට තියලා තමයි මේ ගනුදෙනු කෙරෙන්නේ. එක වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරි වුණාම මේ මූල්‍ය ආයතනය වාහනය උස්සනවා. ඊට පස්සේ වාරිකය අරගෙන ගියත් මේ අය වාහනය දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ ඔවුන් අහිංසක මිනිසුන්ගේ දේපොළ වෙනුවට බොරු ඔප්පුත් හදාගෙන. ඒ ඇපයට ගත්ත ඔප්පු දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඉල්ලන්න ගියාම තර්ජනය කරනවා. මේ පිළිබඳ පැමැණිලි කරන්න නො දන්න බොහොමයක් දෙනෙක් මේ වෙනකොට හූල්ල හූල්ල බලාගෙන ඉන්නේ තමන්ට වුණ වින්නැහිය ගැනයි. කරගන්න දේකුත් නැහැ. කියාගන්න කෙනකුත් නැහැ. එහෙම නම් වාහනයක් තියා මොනදේ ගන්නත් මුදල් තැන්පත් කරන්නත් පළමුවෙන්ම අපි ඒ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් ද කියලා සොයා බලන්න ඕනේ. ඒ විතරක් නෙමේ දේපොළ ඇපයට තියන්න කලින් වරක් නෙමේ සිය දහස්වරක් හිතන්න ඕනේ. ඒකට හේතුව තමයි අද දවසේ දී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වංචාකාරයන් වැඩිවෙලා. මූල්‍ය වංචා සිදුවන ප්‍රමාණය වැඩිවෙලා. මූල්‍ය වංචා නිසා වැඩි වශයෙන් අමාරුවේ වැටෙන්නේ ධනවතුන් නෙමෙයි. කිසිම දෙයක් කරගන්න බැරි පුංචි මිනිසායි. ඒ හින්දා මුදල් සම්බන්ධයෙන් ගන්න තීරණ බොහොම කල්පනාවෙන් ගත යුතුයි.

තවත් දෙයක් තියෙනවා. දැන් ඔය මුදල් තැන්පත් කරලා අමාරුවේ වැටිලා කතාබහට ලක්වෙන සමහර ආයතනත් මහ බැංකුවේ ලියංපදිංචි ආයතනයි. එහෙම නම් අපි මුදල් තැන්පත් කරන්න මූල්‍ය ආයතන වෙත යන එකත් තරමක් අවදානම් දෙයක්. ඒ කියන්නේ මහ බැංකුවේ ලියාපදිංචි වුණත් එතැනත් අවදානමක් තියෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් අපේ රටේ බහුතරයක් මුදල් තැන්පත් කරන්න හිතන්නේත් බැංකුවලයි. මේ බැංකු කියන ආයතනත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයි. මේවා මූල්‍ය සමාගම්වලට වඩා විශ්වාසවන්තයි. ඒ වගේම මේ ආයතන මහ බැංකුවේ තමන්ගේ ඉතුරුම් ගිණුම්වලට සමාන තැන්පතුවක් පවතවාගෙන යනවා. ඒ හින්දා බැංකුව බුන්වත් වෙලා කඩාගෙන වැටුණත් අපේ මුදල්වලට සහනයක් තියෙනවා. හැබැයි ඉතිං මේ බැංකුවල අපි කලින් කියපු මූල්‍ය ආයතනවල තරම් පොලී අනුපාතය ඉහළ නැහැ. ඒ හින්දා ඉක්මනින් පෝසත් වෙන්න බැහැ.

කොහොම වුණත් අපි බැංකුවකට මුදල් දාන කොට ඉක්මනින් පොහොසත් වෙන අදහස අත් හැරලා අපේ මුදලේ සුරක්ෂිතභාවය ගැන හිතනවා නම් ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැහැ. අපි මහා ලොකු පොහොසත්තු නෙමෙයි. අපි මුදල් උපයාගන්නේ ගොඩක් මහන්සිවෙලා. එහෙමනම් ඒවා රැක ගැනීමටයි අපේ අවධානය පළමුවෙන්ම යොමුවෙන්න ඕනේ. ලොකු ව්‍යාපාර කරන අයට යහමින් මුදල් තියෙනවා. ඒ අයට ව්‍යාපාර කඩා වැටෙන ඒවා ඒ තරම් ගාණක් නැහැ. බිස්නස් කරන කොට ලාබ වගේම පාඩුත් වෙන බව ඒ අය දන්නවා. ඒත් අපි දහදිය කඳුළුවලින් උපයාගත් ධනය ඒ විදිහට හිතලා තැන්පත් කරන්න බැහැනේ. “ගියොත් ගියදෙන් ආවොත් ආවදෙන්” කියලා අපිට සල්ලි බැංකුවල දාන්න බැහැනේ. අපි දාන්නේ තියෙන ටිකට වඩා ටිකක් හරි වැෙඩියෙන් ගන්නනේ. ඒ හින්දා මේ ඕනෙවට වැඩියෙන් පොලියට ගිජුවෙලා සල්ලි තැන්පත් කරන්න හිතන්න එපා.

ඊළඟට එහෙම නම් අපිට ටිකක් හරි හිතේ සැනසිල්ලේ බයක් හැකක් නැතුව මුදල් තැන්පත් කරන්න තියෙන්නේ වාණිජ බංකුවලයි. බැංකුත් විවිධ නම්වලින් තියෙනවා. ඒ ඒ බැංකුවල පොලී අනුපාතයත් වෙනස්. ඒ වගේම මේ ආයතන විවිධ තැන්පතු ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඉතුරුම් ගිණුම් හා ස්ථාවර තැන්පත් ගිණුම්. ඉතුරුම් ගිණුම් ගැන නම් හැමෝම දන්නවානේ. ඕනෙ වෙලාවක මුදල් දාන්න වගේම ඕනේ වෙලාවක මුදල් ගන්නත් මේ ගිණුම්වලින් පුවවන්. ඒත් ස්ථාවර තැන්පත් කියන්නේ ඊට තරමක් වෙනස් දෙයක්.

මේ ස්ථාවර තැන්පත,් තැන්පතු සහතික ලෙස ගන්න පුළුවන්. ඒ කියන්නේ මස තුනෙන් කල්පිරෙන, මාස හයෙන් කල්පිරෙන, අවුරුද්දෙන් කල්පිරෙන, අවුරුදු දෙකෙන්, තුනෙන් කල්පිරෙන ආදී ලෙසින් කැමැති අවුරුදු ගාණකින් කල්පිරෙන ලෙස මේවා ගන්න පුළුවන්. දැන් ඔය ටිකක් වැඩි පොලියක් ගැන හිතන කට්ටියට මේ තැන්පතු සහතිකයක මුදල් දාන්න පුළුවන්. මේවායේ පොලී සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට සාපේක්ෂව ටිකක් ඉහළයි. ඒ හින්දා තමන්ට අවශ්‍ය කරන කාලය බලලා මෙම ස්ථාවර තැන්පතුවක් කරන්න පුළුවන්. මේ ස්ථාවර තැන්පත් විවිධ පුද්ගලයන්ට උචිත විදිහට සකසපු ඒවාත් තියෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ට, වැඩිහිටියන්ට ආදී ලෙස.

ඒ වගේම මේ පිළිබඳ අපි කතා කළ යුතු දේවල් බොහොමයි. අපි ඒ පිළිබඳ ඊළඟ ලිපියෙන් කතා කරමු.

372 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 13:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න