තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 15:58

ඔබේ නිවෙස සැලසුම් කරන්නේ කොහොමද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
ඕනෑම නව කටයුත්තක් කිරීමට කලින් ඒ පිළිබඳ කරුණු රැස් කිරීම, ගවේෂණය කියන්නේ අවසන් ප්‍රතිඵලය සාර්ථක කරගැනීමේ හොඳම ක්‍රමයයි. නව නිවෙසක් සෑදීමත් බොහෝ දෙනකුට අලුත් අත්දැකීම් එකතු කරන කාර්යයක්.

 

ආරම්භයේ දී නම් තමාට අවශ්‍ය නිවෙස මෙන්න මේ වගේ යැයි විස්තර කර කියන්නත් එතරම් අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විවිධ මෝස්තරයේ නිවාස පිළිබඳ විස්තර ඇති පොත් පත් , සඟරා, වෙබ් අඩවි ගැන සොයා බලා කරුණු එක් රැස්කර ගන්නේ... පින්තූර එකතු කරගන්නේ.

 අදට ඔබින නව නිවාස ක්‍රම රාශියක් තුළ සැරිසරා මනසින් යම් යම් ආකෘති මවාගෙන සිහින නිවෙසේ අඩිතාලම හිතේ ගොඩනගන්නේ මේ ආකාරයටයි. විවිධ නිවාස රූප නිරීක්ෂණය කිරීම, පවුලේ අය සමඟ කරුණු සාකච්ඡා කිරීම, ගැළපෙන පින්තුර වෙන්කර ගැනීම ආදිය සිදුවෙන මේ කාලය ඉතා සුන්දරයි. 

ඔබේ කැමැත්ත

“ගේ ඉස්සරහ පෙනුම මට මේ විදියට ඕනේ.., කෑම මේසය ළඟට මැද මිදුලක් දැම්මොත් ඇතුළ ලස්සන වේවි.., උසට ජනෙල් මේ විදියට දාමු.., වහලක් නැතුව ස්ලැබ් එකක් දාලා හදපු මේ ගේත් ලස්සනයි.., බිත්තිවලට කළුගල් පතුරු අල්ලලා අයිස් ක්‍රීම් කෝන් වගේ කණු දාලා වැරැන්ඩාව හැදුවාම පොඩි අන්කොමන් ගතියකුත් තියෙනවා.., ඩබල් හයිට් කණු දෙකකුත් සැලැස්මට දාගන්න පුළුවන් නම් මේ වගේ ගාම්භීර පෙනුමක් තමයි එන්නේ....”. තමන් ඉදිකරන්න යන නිවෙස ගැන පවුලේ අය එකමුතුව මෙසේ විවිධ අදහස් සාකච්ඡා කිරීම ඉතා සුන්දර දෙයක්. 

ඒ විතරක් නෙවෙයි, පවුලේ සැමට අවශ්‍ය විදියට ගැළපෙන නිවෙසක් තමයි මෙයින් බිහිවන්නේ. 

සිහින මවන මේ කාලය තුළ තමුන්ගේ හිතේ ඇතිවෙන අධිෂ්ඨානය, ධනාත්මක සිතිවිලි, මුදල් හා ක්‍රම සම්පාදනය පිණිස ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ අවධානය මඟින් ඔබ නො දැනුවත්වම නිවෙසේ වැඩ කටයුතු ඇරඹීම වෙනුවෙන් සුබ පරිසරයක් බිහිකර හමාරයි. 

අලුත් නිවෙසක් හදන්න යන හැම දෙනාම මේ විදියට විවිධ අංශවලින් කරුණු එක් රැස්කර, සොයා බලා පවුලේ සැම වෙනුවෙන් වටිනා නිවෙසක් ඉදිකිරීමට කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අද ලිපියෙන්  ඔබව දැනුවත් කරන්නේ විවිධ පරාස ඔස්සේ පිහිනා සැරිසරා සොයාගත් කරුණු, පින්තූර ගොන්න අතුරින් වඩාත්ම නිවැරැදි දේ ඔබගේ නිවෙසට එකතු කිරීමේ වැදගත්කම පෙන්වා දීම පිළිබඳ යි. වාස්තු විද්‍යා අංශයෙන් ද මෙම කරුණු තවදුරටත් ප්‍රයෝජනවත් වේවි. 

එකම සැලසුම දෙතැනකට?

එක් ස්ථානයක නිර්මාණය කළ සැලසුමක් තවත් ස්ථානයකට ගැළපෙන්නේ ඉතාම කලාතුරකින්. පළමු සැලැස්ම පිළියෙල කළේ වාස්තු විද්‍යාත්මකව නම්, ඉඩමට පැමිණෙන ආකාරය, ඉඩමේ දිශාගත පිහිටීම, ඉඩමේ ප්‍රමාණය, නිවැසියන්ගේ අවශ්‍යතා, හඳහන්වලට අනුකුල වීම, නිවෙස වෙනුවෙන් යන වියදම, ඉඩමේ ඇති භූ විෂමතා ලක්ෂණ, සුළං හමන දිශා සහ සුළං මුවාව, යාබදව පිහිටන ගොඩනැගිලි හා පරිසර රටාව, වාහන නැවතුම, ගේට්ටුව, ළිං- වැසිකිලි වළ පිහිටන ස්ථාන, ස්වාභාවික පරිසරය සමඟ නිවෙස මුසු කිරීමේ ක්‍රම ආදී කරුණු බොහොමක් ගැන සැලකිල්ලෙනුයි සැලැස්ම පිළියෙල වන්නේ. 

නමුත් මොහොතක් සිතා බලන්න, මේ කරුණු සියල්ලම ඒ හා සමානවම ගැළපෙන තවත් නිවෙසක් බිහිකිරීම අතිශය විරල සිදුවීමක්. ඔබත් නිවාස සැලසුම් හා විවිධ මෝස්තරයේ නිවාස පිළිබඳ කරුණු සොයා බලනවා නම්, තමාගේ ඉඩමට ගැළපෙන, අවශ්‍යතාවට සහ වියදම් කළ හැකි මුදලට සරිලනවා යයි හැඟෙන මාදිලිවලට මූලිකත්වය ලබා දීම  වඩාත් යහපත්. 

එසේ තෝරා ගත් නිවාසවල ඇති විවිධ හැඩතල, මෝස්‌තර, අලංකාරාත්මක අංග කොටස්, බිත්තිවල මතුපිට නිමාව ආදී තමුන්ට සිතැඟි අනුරූපයන් ගැළපෙන සේ තම නිවෙසට ඇතුළත් කිරීම ඉතා සුදුසුයි. නිවෙසක් සැලසුම් කිරීමේ කලාව සහ වාස්තු මූලධර්ම ගැන සැලකිලිමත් වීම සිදුවිය යුතු දෙයක්. 

ඔබ තෝරාගත් විවිධ මාදිලියේ නිවාස මෝස්‌තර පෙන්වා මීට බොහෝ දුරට සමාන නිවෙසකට කැමැති බව මුලදී පැවසීම වරදක් නොවේ. නමුත් වෙන තැනක ඇති සැලැස්මක් ඒ ආකාරයටම තමා වෙනුවෙන් තෝරා ගැනීම සහ ඉදිකිරීම නම් වාස්තු විද්‍යාව ගැන සැලකිලිමත් වෙන ඔබ සිදු නොකළ යුතු දෙයක්. 

විදේශීය නිවාස

මෙලෙස ඇතිවන නුසුදුසු කාරණා ගැන තවදුරටත් අපි සලකා බලමු. විදේශීය නිවාස සමග කරුණු ගළපා බලමු. 

විවිධ රටවල ඇති නිවාස මෝස්‌තර බිහිවන්නේ ඔවුන්ගේ දේශගුණය, භූ විෂමතාවය, සංස්කෘතිය, ජීවන රටාව ආදී කරුණු මතයි. 

ශ්‍රී ලංකාවේ ද එසේම නමුත්, රටවල් දෙකක දී ඉහත කී කරුණු මත පදනම්ව නිවාස සැලසුම වෙනස් විය යුතුයි. ප්‍රධාන දොරින් නිවෙසට ඇතුළුවන විටම විවෘත මුළුතැන්ගෙය සාලය තුළ තිබීම, පඩි කීපයක් දමා පොළොව ඔසවා නිවෙස ඉදිකිරීම, ශීතල දේශගුණය නිසා බිත්ති සහ වහලය වඩා උස් නොකිරීම, උණුසුම නිවෙසේ රැඳීමට ඉදිකරන උදුන්, දැවයෙන් හෝ කළුගලින් නිමකරන බිත්ති, හිම ආදිය නො රැඳීමට වැඩි ආනතියකට සාදන වහලය, කාර්යයන් කීපයක් වෙනුවෙන් සැලසුම් කරගත් නිවෙස ඇතුළත පිහිටි අවකාශයන් යනාදී කරුණු බොහොමයක් අපට ගැළපෙන පරිදි සැලසුම්වල දී සංශෝධනය විය යුතුයි. 

ඒ කියන්නේ භාවිත කරන අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත් වීම, අපගේ ජීවන රටාවට ගැළපීම, පිළිගත් වාස්තු ශිල්පයකට අනුකූල වීම, උණුසුම්- සෞම්‍ය දේශගුණයකට ඔබින පරිදි බිත්ති උස මට්ටම් ගැනීම හා වහලය නිර්මාණය වීම යනාදී කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත්. 

 ඇතැම් නිවාස සැලසුම්වල දක්වා ඇති පරිදි වහල නිර්මාණයේ දී හෝ අලංකාරයට ඉදිකරන ඇතැම් කොටස් මගින් නිවෙසේ ඇති එම පෙනුම ලබා ගැනීමට විශාල අමතර මුදලක් වැය කිරීමට සිදුවිය හැකියි. මේ ගැන අවබෝධයක් ඇතුවයි සැලසුම නිර්මාණය කළ යුත්තේ. 

සැලසුම් කලාව, විද්‍යාත්මක මූලධර්ම, නව නිර්මාණ, ඉදිකිරීම් ක්‍රම ආදී විෂයය සාගරයේ පිහිනා, කිමිදී එක් රැස් කරගත් මාහැඟි වටිනා දේ, ඔබ විසින්ම නිවෙසට නිසි පරිදි පලඳන්න උත්සාහ කරන්න.  එයින් නිවෙසේ අගය - වටිනාකම - සෝබාව වැඩිවී, බලාපොරොත්තු වූ සිරි නිවෙසම ඉදිවෙනවා දකින විට ඔබ තව තවත් තෘප්තිමත් වේවි.

 

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය 

ගයාන් එරමුදුගොඩ

Web :www.vastuhomebuilders.com
 Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. .

1453 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 16:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න