තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූලි 03, අඟහරුවාදා 12:50

රෝගී පරපුරේ ඔබත් හවුල්කරුවෙක් ද?

Written by 
අගයන්න
(0 මනාප)
දරුවන්ගේ පෝෂණය ගැන කාලයක් තිස්සේ ලිවිය යුතුයැයි සිතා සිටියත් කුමක් හෝ හේතුවක් නිසා දවසින් දවස ප්‍රමාද වූයේ හරියටම බාලගිරි දෝෂය වාගෙයි. ඒත් තවත් නම් මේ කාරණය ලිවීම ප්‍රමාද නොකළ යුතුයැයි මට සිතුණේ ළඟ ළඟම සිද්ධි දෙක තුනක් අසන්නට ලැබීමෙනි. දිනක් මා උදෑසන කාර්යාලයට යමින් සිටිය දී ගුවන් විදුලියකින් අසන්නට ලැබුණු සිද්ධියක් හා කාර්යාලයේ දී මිතුරෙකු කී කතාවක් නිසාත් මා මේ කියන්නට යන කතාව ලක්ෂ සංඛ්‍යාත මවුවරුන්ට වඩාත් වැදගත් වේවි.

 

මා මෙහිදී මවුවරු ගැන විශේෂයෙන් සඳහන් කළේ ගොවියා බත සැපයූවත් මුළුතැන්ගෙයි බල පරාක්‍රමය, හිමිකාරීත්වය පතුරුවන්නේ මව එහෙමත් නැත්නම් ගෘහණිය නිසායි. පවුලේ පෝෂණය පිළිබඳ නිවැරැදි පෘථුල අවබෝධයක් ඇයට තිබීම අනිවාර්යය වුවත් අද එවැනි අම්මලා කුස්සියේ සිටී ද යන්න ප්‍රශ්නාර්ථයක් වන්නේ මෙවැනි කතා ඇසෙන විටය.

කොළඹ එක්තරා ජනපි‍්‍රය පාසලක විද්වත් දේශකයකු කැඳවා සම්මන්ත්‍රණයක් පැවැත්විණි. ඒ පෝෂණය සම්බන්ධයෙනි. මේ පාසලට එන දරුවන් හැමෝම වාගේ සල්ලි බාගේ අතින් ප්‍රශ්න ඇත්තන් නොවන බව ඒ දරුවන් දකින විට කාට වුව සිතේ. ඔවුන් ඒ තරමටම පෘෂ්ටිමත් ය. ඇඟ පත හොඳින් වැඩී ඇත.

බොහෝ අම්මලා, තාත්තලා ආසා කරන්නේ තමන්ගේ දරුවා ‘චබී’ කරවන්නටය. චබී බබාලා දකින්නට නෑදෑයොත් කැමැතිය. හැමෝම සතුටු වෙති. නමුත් මේ චබී දරුවන්ගේ අනාගත ඉරණම කෙබඳු වේද? අපි මේ කතාවට සවන් දෙමු.

“මෑතකදී කොතලාවල ආරක්ෂක පීඨයට ආධුනිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. ඒ සඳහා ඉතා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. අධ්‍යාපන සුදුසුකම් ගැන හිතන කොට අපේ දරුවෝ ගැන විශාල සතුටක්, ආඩම්බරයක් දැනුණා. ඒ මොකද අහක දාන්න බැරි තරමට එකකට එකක් නොදෙවෙනි තරමට මේ අයදුම්පත් එවපු හැම දරුවකුගේම වාගේ අධ්‍යාපන සුදුසුකම් ඉතාම විශිෂ්ට මට්ටම්වල තිබුණා. ඒ අතරින් අපි 250 දෙනකුගේ අයදුම්පත් තෝරා ගත්තා. ඒ තෝරාගෙන අපි සෞඛ්‍යය පරීක්ෂණයක් පැවැත්වූවා. කියන්න කනගාටුයි. මේ දරුවෝ 250 දෙනාගෙන් 50 දෙනකුගේ විතරයි මෙඩිකල් රිපෝස්ට් හොඳ වුණේ. අනෙක් දරුවෝ 200 දෙනාම කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික ස්ථූලතාවය, අධික රුධිර පීඩනය ආදී රෝගයන්ගේ මූලික අවධියේ පසුවූ අයයි. මේ දරුවෝ පිරිමි දරුවෝයි. අවුරුදු 19-20 වයසේ පසුවූ දරුවෝ. බලන්න, ජීවිතේ පටන් ගන්න කොටම මේ ලෙඩ්ඩු වෙලා ඉන්නේ අපේ ජාතියේ කොඳු නාරටිය නේද?

කතාව තව බොහෝ දිගුය. මට විශේෂයෙන් උපුටා ගතයුතු කොටස වූයේ මෙයයි. මෙය බාලක පාසල්වල පමණක් නොව බාලිකා පාසල්වල ද දැකිය හැකි කනගාටුදායක තත්ත්වයකි.

ඉතින් මේ ඛේදනීය තත්ත්වයට වග කිවයුත්තේ කවුද ? වැරැදිකරු කවුද? අකැමැත්තෙන් වුවත් කිව යුතුයි. ඒ තමයි “අම්මා”. එහෙම කිව්වම අම්මලාට තරමක් තරහ යාවි. කේන්ති යාවි. ඒත් මට නම් හිතෙන්නේ දරුවෝ ලෙඩ වෙන කොට, දරුවෝ ඉගෙන ගන්නේ නැති වෙනකොට, දරුවෝ ගුණයහපත් නොවෙන කොට එහි මහ පංගුකාරිය වන්නේ අම්මා බවයි.

දරුවකු බිහිකළ පමණින් ඇය අම්මා කෙනකු වන්නේ නැත. සැබෑ අම්මා කෙනකු වන්නට නම් දස මසක් කුස තබා පණ මෙන් රැකගෙන මෙලොවට බිහි කළ තම දරු පැටියා කුඩා කල සිටම ආදරයෙන්, සෙනෙහසින් තුරුලු කොටගෙන ඇතිතරම් මවුකිරි පොවමින් ශක්තිමත් දරුවකු ලෙසින් මේ මහ පොළොවට දායාද කළ යුතුයි. රූපය ගැන හිතලා එහෙම නොකළොත් වන්නේ ප්‍රතිශක්තිකරණය අඩු දරුවකු ලොවට දායාද කරන්නටය. ඒ දරුවා හැමදාමත් ලෙඩින්ය. කවුද ඒ තත්ත්වයට වගකිව යුතු වන්නේ? ඔබ හදවතට තට්ටු කර බැලුවොත් අවංක නියම පිළිතුර එවිට ලැබේවි.

කන බොන අවධියට දරුවා එනවිට බඩ පිරෙන කෑම, දිවට රසම පමණක් දැනෙන කෑම නොව පෝෂ්‍යදායී ගුණ කෑම දරුවාට පුංචි කාලයේ පටන්ම පුරුදු කළ යුතුයි. දරුවාට පලා මැල්ලුමක්, එළවළු දෙක තුනක්, මාළු කෑල්ලක් රතු හාලේ එහෙමත් නැත්නම් නාඩු බත් ටිකක් එක්ක කවන්න අම්මලා දක්ෂ විය යුතුයි. වර්තමානයේ කොණ්ඩේ ඵබපචඪඨඩබ කරගත්ත, කොණ්ඩෙ පාට තවරා ගත්ත අම්මලා හරි උජාරුවට පවසන්නේ “අනේ අපේ බබා නම් එළවළු, පලා මැල්ලුම් කන්නෙම නැහැ. ටපඪඥඤ පඪජඥ කිව්වොත් නම් බඩපැලෙන්න කයි”

මෙවැනි අම්මාවරු ගැන හිතන කොටත් ලැජ්ජයි නේද? ටපඪඥඤ පඪජඥ කවන මෙවැනි අම්මාවරුන්ගෙන් අපට දස මහ යෝධයින් වැනි පුත්තු අනාගතයේ දී බිහි වෙයි ද?

හැම ක්ෂේත්‍රයකම හොඳ පුරුදු ඇති කිරීම කවදත් අසීරු කටයුත්තක්. ඒ ගැන කතා දෙකක් නැහැ. දරුවන්ට වුණත් එහෙමයි. පෝෂ්‍යදායී එළවළුවක්, පලතුරක් කවාගැනීම ලෙහෙසි නැහැ. කරවිල, පතෝල, වැටකොළු, බණ්ඩක්කා, තුඹ කරවිල, තිබ්බටු වැනි එළවළුවක්, කොස් පොලොස් ටිකක්, කැකිරි වගේ ගුණදායක එළවඵවක් පලා කොල ටිකක්, කොළ කැඳ ටිකක් යහමින් කෑමට ගන්නා දරුවෝ ගැන හිතුවොත් හරියට කළුනික හොයනවා වගෙයි. වර්තමානයේ දරුවන්ගේ කෑම බීම ගැන කතා කළ දවසක දී එඩ්වින් ආරියදාස සූරීන් කී යමක් මට සිහිපත් වේ.

“මගේ අම්මා මට පලා කොළ කැව්වේ පුතාට දවල් තරු බලන්න ඕනේ නම් හොඳට පලා කොළ කෑ යුතු බව පවසමිනි. දවල් තරු බැලීමේ ආසාව නිසාම මම හොඳට පලා කෑවා.”

එදා අම්මාවරු උපක්‍රමශීලීව දරුවන්ට කවන්නට, පොවන්නට උපක්‍රම දැන සිටියේ එලෙසිනි. ඇවිදින පුස්තකාලයක් බඳු මහා දැනුම් සම්භාරයකින් යුත් එවැනි මහා වියතුන් අපට දායාද කළේ අම්මාවරුන්ය. එදා හොඳින් පලා කෑ නිසා අද එතුමන්ට අවුරුදු 96 ක් ගත වී ඇතත් තවමත් පියවි ඇසින් පොතපත කියවීමේ හැකියාව ඇත. දරුවන්ගේ ස්මරණ ශක්තිය වැඩි දියුණු කිරීමට පෙවූ එළඟි තෙල්, මී පැණිවල අරුමය ගැන දන්නේ අපේ අම්මාවරුන්ගෙන් කීයෙන් කී දෙනා ද? හෘදයාබාධයන්ට දිව ඔසුවක් වන් වට්ටක්කා, සුදුලූනු, කරපිංචා අපේ රටේ කොයිතරම් තිබේද? එහෙත් වසරකට හෘදයාබාධ රෝගීන් කොයිතරම් ප්‍රමාණයක් අකාලයේ ජීවිතයෙන් සමු ගන්නේ ද?

තවත් අපට නිකම්ම ලැබෙන මහා අනර්ඝ දිව ඔසුවකි; ජලය. මිලක් නොගෙවන මේ අමිල පානයේ ඇති සෞඛ්‍යයමය වාසි කොපමණ ද? එහෙත් අපේ දරුවෝ වැඩිහිටියෝ දිනකට සැලකිය යුතු වතුර ප්‍රමාණයක් පානය කරන්නේ ද? උදෑසන අවදි වූ විගස වතුර වීදුරුවක් පානය කරන දරුවන්, වැඩිහිටියන් ඇත්නම් ඒ අතළොස්සකි. අපේ බොහෝ දරුවෝ වගේම වැඩිහිටියන් පවසන්නේ හිස්බඩ වතුර බොන විට වමනයට, ඔක්කාරයට එන බවයි. මෙය සාවද්‍ය මතයකි. දිනපතා වතුර බීමේ පුරුද්ද ඇතිකර ගතහොත් මේ තරම් සෞඛ්‍යයට හිතකර පුරුද්දක් තවත් නැතිව ඇති. බොහෝ ලෙඩ දුක්වලින් ආරක්ෂා වීමට නිරෝගී ශරීරයක් පවත්වා ගැනීමට පිරිසුදු ජලය පානය කිරීම තරම් ඖෂධයක් තවත් නෑ. ජපානයේ ජීවත් වන මාගේ මිතුරියක් පැවසුවේ ජපන් රටේ ජනතාවගේ නිරෝගීකමේ ප්‍රබලම රහස වන්නේ ඔවුන් ඉතා හොඳින් ජලය පානය කිරීම බවයි.

ඒ වගේම තමයි කුඩා මාළු. අපේ රටේ බොහෝ දෙනකු වායුගෙඩි එහෙමත් නැත්නම් තයිරොයිඩ් රෝගයෙන් පෙළෙනවා. කොඳුගැට පෙළ ආශි‍්‍රත රෝගවලින්, ඔස්ටියෝපොරෝසිස්වලින්, දණ හිස් ආබාධවලින් පෙළෙන්නන් අපේ කාන්තාවන් අතර බහුලයි. රට වටේම මුහුදක් තියාගෙනත් අපි පුංචි මාළු නොකෑමේ වරදට රෝගීන් වෙලා. වසරකට මෙවැනි රෝගීන් උදෙසා රජය කොයිතරම් නම් මුදල් කන්දරාවක් වියදම් කරන්නේ ද?

කෝමාරිකා කියන්නේ අපේ රටේ හොඳින් වැඩෙන ඖෂධීය ගුණයෙන් ඉහළ, වටිනා පැළැටියක්. බලන්න, අපේ රටේ කොච්චර නම් කෝමාරිකා තියෙනවා ද? වන වදුලුවල, කැලෑවල වැහිවැහැලා. ඒත් මේවායේ තිබෙන විස්මිත ගුණය දන්නේ කීයෙන් කී දෙනා ද? සෙම ගතිය, ඇදුම, පීනස රෝගියෙක් නොවේ නම් ඕනෑම කෙනකුට කෝමාරිකා ආහාරයට ගැනීම වරදක් නැහැ. මේ වගේ කොයිතරම් නම් වස විසෙන් තොර දේශීය ඔසු අප වටපිටාවේ ඇද්ද ?

හුඟක් මවුපියෝ දරුවන්ගේ අධ්‍යාපනය ගැන විස්සෝප වෙති. ඔවුන් පවසන්නේ කොච්චර සැප සම්පත් දුන්නත්, අමතර පන්ති යැව්වත් සතුටුදායක මට්ටමේ ලකුණු ගන්නේ නැති බවයි. මේ මොන දේ කළත් වැඩක් තියෙනවා ද? දරුවන්ට හරියට කෑම බීම ටික නොදී. චයීනීස් කෑම, පිට්සා වර්ග, බර්ගර් බනිස්, චිකන් නගට්ස්, බැදපු අල පෙති, පේස්ට්‍රි වර්ග වැනි පාන් පිටි කෑම, කෝලා පාන විවිධ ස්වරූපයෙන් දරුවන්ට ලබාදුන්නාට කිසිවිටෙකත් මොළේ නම් වැඩෙන්නේ නැත. දිගු කලක් එවැනි කෑම බීම දරුවන්ට ලබාදීමෙන් ඔබට හිමිවන්නේ අධික ස්ථූලතාවයෙන් හෙබි රෝගී දරුවෙකි. මුළු ජීවිත කාලයම ඔබට සිද්ධවන්නේ හම්බ කරන්නයි, දරුවන්ට කන්න බොන්න දෙන්නයි, බෙහෙත් ගන්නයි වියදම් කරන්නයි. ඒ හැර වෙන කළ හැකි යමක් නැහැ.

ආදරණීය මවුපියනි, විශේෂයෙන් අම්මාවරුනි, ඔබේ දරුවන්ට අතදරුවා කාලයේ සිටම පෝෂණීය කෑම වේලක් ලබාදෙන්න. ධාන්‍ය වර්ග කෑමට පුරුදු කරන්න. ජලය පානය කිරීමේ වැදගත්කම කුඩා කාලයේ පටන්ම වටහා දෙන්න. ඉගෙනගන්න වයසේ දරුවන්ට මතක ශක්තිය වඩවන කෑම බීම විශේෂයෙන් ගොටුකොළ, ලුණුවිල ආදිය යහමින් දරුවාට ලබාදෙන්නට මවුවරු වෙනදාට වඩා උත්සුකවන්න. ඉගෙන ගන්නා අතරතුරත් පාඩම් කරන අතරතුරත් නිතර නිතර වතුර පානය කිරීමට දරුවන් පොළඹවන්න. නිතර පිරිසුදු වතුර පානය කිරීමෙන් මොළයේ ස්නායු ප්‍රාණවත් වීමෙන් මතක ශක්තිය හොඳින් දියුණු වෙයි. විවේකයට, සෙල්ලමට ද දරුවාට ඉඩක් දෙන්න. මෙවැනි වටපිටාවක් ගොඩ නැඟීමෙන් මවුපියන් බලාපොරොත්තු වන ඉලක්කයන් වෙත දරුවන් ගෙන යාමටත් දරුවන්ගෙන් උපරිම ඵල නෙළා ගැනීමටත් හැකිවේවි.

එනිසා ඔබ දැනටමත් ප්‍රමාද නැත. අද සිට හිතන්න. පවුලේ නිරෝගී පැවැත්මටත් දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරා ගන්නටත් පොෂණ ගුණයෙන් පිරි කෑම වේලක් ලබාදෙන්න. එසේ වුවහොත් දිනෙන් දින ඉහළ යන හෘදයාබාධ මරණ, නහර පුපුරා යාමෙන් සිදුවන මරණ, අංශභාග රෝගීන්ගේ වර්ධනය අසීමිත ලෙස පහළ බසිනු ඇත.

648 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 12:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න