තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූලි 03, අඟහරුවාදා 16:01

මනස අලෙවි කිරීමේ ක‍‍්‍රීඩාවේ යෙදෙමු ද?

Written by 
අගයන්න
(0 මනාප)
සාර්ථකත්‍වය ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමා නායකත්‍වය කියන්නේ. කිසිම කෙනකුට ඔබව බලෙන් සාර්ථකත්‍වයට ඇද දමන්නට බැහැ. ඒ වගේම තමා ඔබට කෙදිනකවත් තනිවම සාර්ථකත්‍වයට පත්විය නො හැකයි. ඒ සඳහා ඔබට ඔබ වටේ සිටින අයගේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා ගැනීමට සිදුවේ.

 

සහයෝගයේ වැදගත්කම

අවට සිටින්නන්ගේ සහය නොමැතිව සාර්ථකත්‍වයට පත්වීම යනු සිහිනයක්ම පමණකි. ලෝකයේ අති විශිෂ්ට සාර්ථකත්‍වයක් අත්පත් කරගෙන සිටින පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යයනයේ දී සක්සුදක් සේ පැහැදිලි වන කාරණයක් වන්නේ ඔවුන් තමන්ගේ සාර්ථකත්‍වය කරා යන ගමනේ දී අන්‍යයන්ගේ සහයෝගය හා උපකාරය ඉතා අධික ලෙස ලබාගෙන ඇති බවයි. මෙසේ තමන්ගේ සාර්ථකත්‍වය වෙනුවෙන් අන් අයගේ සහයෝගය හා උපකාරය ලබා ගැනීම ද ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නොවේ. එය ද එක්තරා ආකාරයක කලාවක් කිව්වොත් නිවැරැදියි. මේ සඳහා අප තුළ නායකත්‍ව ලක්‍ෂණ තිබීම අනිවාර්යය සාධකයක් වේ. එසේ නොමැතිනම් ඒවා අප තුළ වර්ධනය කර ගැනීමට පියවර ගත යුතුයි. වත්මන් සමාජයේ බොහෝ දෙනා මෙම නායකත්‍වය යන්න වැරැදියට වටහාගෙන සිටී. ඔවුන් හිතන්නෙ නායකයා කියන්නෙ පිරිසක් පාලනය කරන්නා ලෙසයි. ඇත්තෙන්ම නායකත්‍වය කියන්නෙ ඉන් ඔබ්බට ගිහින් ඉතා ගැඹුරින් හිතන්න ඕනෙ දෙයක්.

නායකත්වය

එනම් නායකත්‍වය දීම යනු, අනෙකුත් පුද්ගලයන් ඔවුන් නොකරන දෙයක් වුවද ඔවුන් ලවා පහසුවෙන් කරවා ගැනීමයි. තවත් ආකාරයකට පවසනවා නම් කිසිදු ගැටුමකින් හෝ විරෝධයකින් තොරව අපගේ ඉලක්කයට ඔවුන්ව මෙහෙයවීමයි. ඉතිං මෙම මිනිසුන්ගෙන් වැඩ ගැනීමේ කලාව ප‍‍්‍රගුණ කිරීම සඳහා ඉවහල්වන මූලධර්ම හතරක් පිළිබඳ ආචාර්ය ඩේවිඩ් ජෝෂප් ශෙවාර්ට්ස් විසින් රචිත ලොවපුරා ජනාදරයට පත් “ඊඩඥ ථචඨඪජ ධට බඩඪදඬඪදඨ ඡඪඨ” නමැති කෘතියේ සඳහන් වෙනවා. එම කෘතිය ප‍‍්‍රවීණ ලේඛක ගාමිණී කුමාර විතානයන් විසින් “අසිරිමත් සිතක අසිරිය” හිසින් යුතුව සිංහලයට ද පරිවර්තනය කර තිබෙනවා. එම මූලධර්ම හතර අතුරින් ඉතා වැදගත්ම හා වටිනාම මූලධර්මය ලෙස “ඔබට බලපෑම් කිරීමට අවශ්‍ය පුද්ගලයන් සමඟ මනස් අලෙවි කරන්න” යන මූලධර්මය සලකන්න පුළුවන්. මෙම නීතියට එකඟව කටයුතු කිරීමෙන් හරියට මායාවක් ආකාරයෙන් ඔබ ඇසුරු කරන්නන් ඔබ සමඟ හෘදයාංගමව මිත‍‍්‍රවන බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. මෙය තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා එම කෘතියේම සඳහන් පුංචි කතාවකට අපගේ අවධානය යොමු කරමු.

දැන්වීමක් අපතේ යයි

ටෙඩ් යනු විශාල ප‍‍්‍රචාරක ආයතනයක රූපවාහිනී තිර රචකයකු හා අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කළ පුද්ගලයෙකි. වරක් ඔහු සේවය කළ ආයතනය පාවහන් නිෂ්පාදන සමාගමක ප‍‍්‍රචාරක කොන්ත‍‍්‍රාත්තුව ලබා ගත්තේය. එම සමාගමේ සපත්තු පිළිබඳ රූපවාහිනී ප‍‍්‍රචාරක දැන්වීම් කිහිපයක්ම තැනීමට ටෙඩ්ට පැවරුණි. මාසයක් පුරාවට ප‍‍්‍රචාරක ව්‍යාපාරය දියත් වූවද සිල්ලර වෙළෙඳසල්වල අදාළ සමාගමේ පාවහන් අලෙවි වූයේ ඉතාම මන්දගාමී ආකාරයෙනි. මේ වන විට ටෙඩ්ගේ වෙළෙඳ දැන්වීම් සඳහා ඩොලර් 20,000 ක පමණ මුදලක් අදාළ සමාගම විසින් වැයකර තිබුණ ද ඔහුගේ එම දැන්වීම් සියල්ල අසාර්ථක විය. පාවහන් අලෙවිය දිනෙන් දින ඉතා සීග්‍රයෙන් පහත වැටෙන්නට විය. අවසානයේ මීට හේතු සෙවීම සඳහා රූපවාහිනී ප්‍රේක්‍ෂකයන් යොදාගෙන සමීක්‍ෂණයක් සිදු කිරීමට තීරණය වෙනවා.

වැරැදි මිම්ම

රූපවාහිනී පේ‍‍්‍රක්‍ෂකයන්ගෙන් මෙම පාවහන් ප‍‍්‍රචාරක දැන්වීම් පිළිබඳ විමසන ලද අතර, ඉන් 4% ක් දෙනා මෙම දැන්වීම් ශ්‍රේෂ්ඨ නිර්මාණ බව පිළිගන්නවා. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අනෙකුත් වෙළෙඳ දැන්වීම් හා සංසන්දනය කිරීමේ දී ඒවා අතුරින් විශිෂ්ටතම වෙළෙඳ දැන්වීම් වන්නේ එම පාවහන් වෙළෙඳ දැන්වීම් බවයි. නමුත්, 96‍% ක් පමණ වූ බහුතරයක් දෙනාගේ මතය මීට හාත්පසින් වෙනස් විය. ඔවුන් තමන්ට මෙම ප‍‍්‍රචාරක දැන්වීම දැනුණු ආකාරය පිළිබඳ අවංකවම අදහස් ප‍‍්‍රකාශ කරන ලදී. එම දැන්වීම පිස්සු දැන්වීමක් බව බහුතරයකගේ මතය විය. ඒ අතර එක් ගෘහණියක් මෙසේ පැවසුවාය. “මගේ ළමයි ටී.වී. එකේ වෙළෙඳ දැන්වීම්වලට හරිම ආසයි. ඒත් මේ දැන්වීම යනකොට එයාලා නාන කාමරයට හරි ශීතකරණය ළඟට හරි යනවා”

තවත් පුද්ගලයෙක් මෙසේ පැවසුවේය. “මං හිතන්නේ ඒක මහා ඔළුව ඉදිමුණු දැන්වීමක්. කවුරුහරි එයා පණ්ඩිතයෙක් කියලා පෙන්වන්නයි හදන්නෙ.”

සමීක්‍ෂණයේ දී ලැබුණු සියලුම අදහස් විශ්ලේෂණයට භාජනය කළ අතර, එහිදී අනාවරණය කරගත හැකි වූ කරුණක් වූයේ ටෙඩ් විසින් නිර්මාණය කරන්නට යෙදුණු දැන්වීම්වලට කැමැත්ත පළකර තිබුණේ ආදායම හා අධ්‍යාපන මට්ටම ඉහළ පැසුණු බුද්ධියක් සහිත පුද්ගලයන් පමණක් බවයි. ඉතිරි 96‍% ක් වූ බහුතරය වෙනස් සමාජ ආර්ථික පන්තියකට අයත් වූ පුද්ගලයන් විය. මින් පැහැදිලි වන කරුණක් වන්නේ ටෙඩ් ගේ චින්තනය ප‍‍්‍රායෝගික නොවන බවයි. ඔහු එම දැන්වීම් තනා ඇත්තේ ඔහුගේම රුචිකත්‍වයට අනුවයි. ඔහු ඒවා නිර්මාණය කර ඇත්තේ තමා පාවහන් මිලට ගන්නා ආකාරය ගැන සැලකිල්ලට ගෙන මිස, බහුතරයක් පාවහන් මිලදී ගන්නා ආකාරය සලකා නොවේ. නමුත් ටෙඩ් බහුතරයකගේ කැමැත්තට මුල් තැන දුන්නේ නම් ඔහුගේ දැන්වීම් සියල්ල අති සාර්ථක වන්නට ඉඩ තිබුණි.

මෙම පුංචි කතාවෙන් අපට ගත හැකි ආදර්ශය වන්නේ අපට අන්‍යයන්ගේ උපකාරය හා සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් කැමැති මොනවාටදැයි හඳුනාගෙන එයට මුල් තැන දී කටයුතු කළ යුතු බවයි. එනම් අපට බලපෑම් කිරීමට අවශ්‍ය පුද්ගලයන් සමඟ අපගේ මනස් අලෙවි කළ යුතු බවය. එවිට ඔබ සාර්ථකත්‍වයට පත්වෙනවා සිකුරුයි. ඔබට ජය නියතයි!

 

තරුණි පාඨක ඔබටත් දැන් ටෙරන්ස් වීරවර්ධන මහතා විසින් පවත්වන “පුද්ගල හැකියා සංවර්ධන” වැඩමුළුවක් ඔබගේ ප‍‍්‍රදේශයේ සංවිධානය කරගැනීමට අවස්ථාව ඇත.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ඊමේල් ලිපිනයෙන් විමසන්න.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

677 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 16:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න