තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අගෝස්තු 06, සඳුදා 14:19

සිත පාලනය කළ හැකි නම් සැනසීම ඔබ ළඟමයි

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
අපට සමාජ වෙනස්වීමක් දකින්නට අවශ්‍ය නම්, තනි හෝ මතුපිටින් කෙරෙන සුළු වෙනස්කම් කීපයක් හෝ ප්‍රමාණවත් නොවන්නේය. ඒ සඳහා පරිපූර්ණ පරිවර්තනයක් අත්‍යවශ්‍ය වන්නේය.

 

ඒ වෙනස අපි ඇතිකර ගත යුත්තේ කෙසේදැයි තවම නොදනිමු. මේ සදහම් සෙවණ දහම් සාකච්ඡාව තුළින් අපි දිනෙන් දින ළඟා වන්නේ ඒ වෙනස වෙතය.

සෑම අයුරකින්ම භෞතික සම්පත් දියුණු කරන නමුත් අවම සතුටක් විඳින සුහදත්වයට වඩා වෛරයට හිතැති සමාජයේ මේ නොසංසිඳියාව මැඩපවත්වාලීමයි තරුණී අපේ ඒකායන අරමුණ.

අවසරයි, අපේ හාමුදුරුවනේ කිසිදු දෙයක සැනසීමක් නොදකින අපට සැනසුම ලැබීමේ පහසු මඟ කොතැනකදැයි අවබෝධයකර දෙනු මැනවි.

පින්වත් දරුවනේ, ඇස්, කන්, නාසාදි ඉඳුරන් තුළින් ලැබෙන සෑම අරමුණක් පිළිබඳවම සෝදිසියෙන් වාසය කරන්න. ඒ හැම අරමුණක්ම වෙනස් වන හැටි, කැඩෙන හැටි, බිඳෙන හැටි, විනාශ වී යන හැටි, නොපෙනී යන හැටි දකින්න. ඒ තුළින් ඇති වන පීඩනය, ආදිනව දෝෂ ඔබ අවබෝධකර ගන්න. හිතන්න, ඔබට හෝ වෙන කිසිම බලවේගයකට හෝ ඒ ඇතිවන තත්ත්වය වෙනස් කළ නොහැකි බව. එය හොඳින්ම තේරුම් ගන්න. ඒ ඒ මොහොතේ දී ඇති වන සිද්ධියට මුහුණ දීම හැර වෙන කළ හැකි දෙයක් අපට නැත. සිද්ධිය දෙස නුවණින් බලන්න. අප කළ යුත්තේ එය නුවණැසින් දැකීමට වෑයම් කිරීමයි.

සිතිවිලි පිළිබඳ විමසිලිවත්වන්න

හේතුඵල වශයෙන් සිදු වන දෙයම අනුව, ඒ සිද්ධියට පමණක් මුහුණ දෙන්න. තමන්ට යැයි කියා ගත හැකි දෙයක් නැත. මම, මට, මගේ යනු සංඥාවක් පමණයි. කිසිම දෙයක ඕනෑවට වඩා සැප දුක වශයෙන් වින්දනයක් බලාපොරොත්තු නොවන්න. රූපයේ වෙනස්වීම් දකින අතර, ඒ නිසා පහළ වන සිතුවිලි දෙස ද විමසිලිමත් වන්න. ඒ ඒ මොහොතට පමණක් සිත යොමු කරන්න. අතීතය හා අනාගතය සිතින් අත්හරින්න. වර්තමානය වුව ද අල්ලාගන්නට අවශ්‍ය නැත.

ලොව්තුරා අමා මෑණී බුදුපියාණන් ලොවට දේශනා කළේ 'අතීතයත්, අනාගතයත් පිළිබඳ සිතිවිලිවලට නොවැටී මේ දැන් සිටින මොහොත ගැන පමණක් මෙනෙහි කරමින් විසීමෙන් සැනසීම ලැබීම පහසුම මඟ බවයි.

ආශාව අත්හරින්න

ඔබට කිසිම පුද්ගලයකු කෙරෙහි හෝ කිසිම දෙයක් පිළිබඳ හෝ සතුටක්, ඇල්මක් නැති තැන රාගය, ඇල්ම උපදින්නේ නැත. කළ යුත්තේ ආශාව ඕනෑකමින්ම අත්හැරීම පමණයි. දුවේ, පුතේ එතැන සැනසීම තිබෙනවා.

ඇසත්, රූපයත් නිසා සිතත් පහළ වෙනවා. ඇස, රූපය, සිත යන තුනම එකතුවීමෙන් පහස (ස්පර්ශය) ලැබෙනවා. ඒ පහස නිසා වින්දනය ලැබෙනවා. (වේදනාව) ඒ වින්දනය තුළින් ඒ දෙය පිළිබඳව හඳුනා ගැනීමක් ඇති වෙනවා. (සඤ්ඤාව) හඳුනා ගැනීම තුළින් තණ්හා, මාන, පහළ වෙනවා. මේ අන්දමට අතීත, අනාගත, වර්තමාන යන කාල තුනටම අයිති අරමුණු පිළිබඳ තණ්හා, මාන, දිට්ඨ ඇතිකර ගැනීමෙන් අකුසල ධර්ම එක් රැස් වීමෙන් සසර දිගින් දිගටම යනවා.

ඉඳින් ඔබ කෙලෙස් ඇතිවන අයුරු මනාව වැටහෙනවා නේද? ඒ කෙලෙස් ඇති වන ආකාරය තේරුම් ගෙන සිහි නුවණින් යුතුව ගත කරන්නට උත්සාහ ගැනීම සැනසීම ලැබීමේ මඟකි.

බාහිර සිතිවිලි

දරුවනේ හැකිතාක් බාහිර සිතිවිලි අඩුකර ගන්න. හැමවිටම සිහියෙන් වාසය කරන්න. 'අප්පමාදේන සම්පාදේථ' යනුවෙන් දැක්වෙන්නේත් එයමයි.

ඔබට සිතිවිලි වැඩිවීම කර්ම රැස්වීමට හේතුවකි. ඇලීම, බලාපොරොත්තුව ඕනෑවට වඩා තබා ගැනීම ඔබට යහපතක් නොවෙයි. ලෝකය තුළ කිසිම දෙයක් ඕනෑවට වඩා අගය කළයුතු නැහැ. අගය, වටිනාකම දීම, අල්ලා ගැනීමට හේතුවකි. සියල්ලෙහි අනිත්‍ය දකින්න. ඔබ තුළ එකඟකර ගත් සිතක් ඇති කරගන්න.

සමාධියක් ඇතිකරගන්න

ඔබ සිහි කල්පනාවෙන් වාසය කරන හැම අවස්ථාවකම සමාධියක් ඇතිකර ගන්න. කිසිම අරමුණකින් සිත සසල කරගන්නට එපා. සසල වූ විට ඒ දෙසද, වෙනස් වන සුළු අරමුණක් වශයෙන් සලකා නුවණින් බලන්න. එවිට ඒ සසල බව ඔබ වෙතින් බැහැර වනු ඇත.

රාග, ද්වේශ, මෝහ, ඊර්ෂ්‍යා, මාන්නය වැනි සිතුවිලිවලින් සිරුරට පීඩා නොදෙන්න. හොඳ සිතුවිලිවලින් සිතට ආරක්ෂාවක්ම ලැබේ.

නො දන්නාකම

හිතන්න, ඔබ නොදන්නාකම නිසා ඔබගේ ජීවිත පැවැත්ම තුළින් තවත් අයටත් පීඩා ඇති කරනවා විය හැකියි. රාගාදි සිතිවිලි ඇතිවන ලෙසින්ම හැසිරීම හොඳ නැත. අපගේ හැසිරීම් රටාව හා සිතිවිලි, අනුන්ට දුකක්, පීඩාවක් නොවන අන්දමට සකසා ගත යුතුයි. වචනයකින් හෝ සිතිවිල්ලකින්වත් කිසිවකුටවත් පීඩාවක්, කලබලයක්, නොසන්සුන්කමක්, අසහනයක් නොවීමට වගබලාගන්න.

නිතරම රාගාදීය කුසලයක වේශයෙන් පැමිණ අප මුළා කරනවා.සද්ධා වේශයෙන්, කරුණා වේශයෙන්, පරිත්‍යාග වේශයෙන්, කළගුණ සැලකීමේ වේශයෙන්, උපකාරක වේශයෙන් රාගය ඉස්මතු වී වැරැද්දට යොමු වෙනවා. ඒවා ගැන ඔබ වඩ වඩාත් විමසිලිමත් වන්න.

නිතරම සිත පාලනය කර ගන්න. සිතට නොයෙක් අරමුණු තේරුමක් නැති, වැඩක් නැති, වහා විනාශ වන ඒවා දැනෙයි. එහෙත් සිහි නුවණින් ඒවා දකින ඔබට සැනසුම ළඟාකර ගැනීම පහසු කටයුත්තකි.ඔබ කිසිම විටෙක කෙලෙස් සිතකට ඉඩක් නොතබා යහපත් අරමුණකම හිත පවත්වා ගන්න. අති ධාවනය හොඳ නැත. තමාගේ ප්‍රමාණය ගැන විමසිලිමත් වන්න. ඔබ භාවනාව නිසා පවුලේ යුතුකම් අත් නොහරින්න. භාවනාව වුවද සැහැල්ලුවෙන්, බරක් නොවන විදියට කරන්න. ඒ සඳහා අමුතුවෙන් කරන්න කිසිම දෙයක් නැත. ඒ ඒ අවස්ථාවේදී එළැඹෙන සිද්ධි දෙස නුවණින් බල කටයුතු කරන්න.

"අරමුණු තමාට අයිති කරගන්නට එපා. හැම දෙයක්ම සිදුවන හැටියට සිදුවන්නට ඉඩ හරින්න. සිහිනුවණින් ඒ දෙස බලමින් ජීවත් වෙන්න. එවිට ඔබට අමුතුවෙන් සැනසීමක් සොයන්නට වෙහෙසිය යුතු නොවේ.

අනුශාසනාව

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

272 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 14:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න