තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අගෝස්තු 06, සඳුදා 14:52

ජංගම දුරකථනයේ වහලකු නොකර නිවාඩු කාලය විඳගන්න දරුවන්ට ඉඩදෙන්න

Written by 
අගයන්න
(0 මනාප)
 දන්නෙම නැතිව දෙවැනි පාසල් නිවාඩු කාලයත් ඇවිත්. මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටිය පොඩිත්තන්ට නම් දැන් හිතට දැනෙන නිදහස, සැහැල්ලුව ගැන කියන්න වචන නැතිව ඇති නේද? දෙක වසරේ, තුන වසරේ ඉඳලා අම්මලා ක්‍රියාත්මක කළ මහ මෙහෙයුම නිමා වෙලා.

 

විභාග තරගයත් එක්ක හති වැටුණු අම්මලටත් දැන් විවේකයක් ලැබිලා. ඒත් අපේ අ.පො.ස. උසස් පෙළ විභාගයට ඉඳගන්න දූලා පුතාලට නම් මේ දවස්වල හරිම තීරණාත්මකයි නේද? උසස් පෙළ විභාගය කියන්නේ දරුවකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවැරැදියි. තමා යායුතු නිවැරැදි මාවත තෝරා බේරා ගන්නට අපට වඩාත්ම ඉවහල් වන්නේ අ.පො.ස. උසස් පෙළ යි. එනිසා අපේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දූලා පුතාලා ඒ අවබෝධයත් එක්කම විභාගයට සූදානම් වන බව මට විශ්වාසයි. ඉගෙනීම යනු කිසි දිනෙක නවතින දෙයක් නොවුවත් වෘත්තීමය ජීවිතයට සාර්ථක පිවිසුමක් සිදුවන්නට නම් මේ විභාගය ඉහළින්ම සමත් විය යුතුමයි.

ලංකාවේ පවතින අධ්‍යාපනික රටාව එක්ක දරුවෝ වගේම අම්මලා ඉන්නෙත් හෙම්බත් වෙලා. වසර පුරාම දරුවන් විවිධ විභාගවලට පුරුදු පුහුණු කරන බැවින් දරුවෝ ඉගෙනීම අතරේ සිර වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. පාසලෙන් අමතර පන්තියට හිරවන මේ දරුවන්ගේ ජීවිතවල සෙල්ලමට, විවේකයට ඉඩ ඇත්තේම නැතිතරම්. දරුවන්ට ද ඉඩක් ලැබුණොත් ඔවුන් කරන්නේ එකම දෙයකි. එනම් ජංගම දුරකථනයේ ‘ගේම්’ ගසමින් එහි එල්ලී සිටීමය. මෑත කාලයේ දරුවන්ගෙන් නිරතුරුවම අප ඇස ගැටෙන දර්ශනය බවට පත්වී ඇත්තේ මෙය නොවේ ද?

සමහර මවුවරු පවසන්නේ දැන් හැදෙන දරුවන්ට තාක්ෂණය නැතිව බැරි බවයි. කතාව සැබෑය. ලෝකය දියුණු වනවිට අපට එක තැන පල්වන්නට බැරිය. එහෙත් අප දරුවන්ට ලබාදිය යුත්තේ මොනවාද යන්න මවුපියන් හැටියට හොඳහැටි අවබෝධයක් තිබිය යුතුය. දරුවන්ට හැම දෙයක්ම දිය යුතු වන්නේ නිසි වයසටය. නිසි වයසේ දී යම් යම් දේ පරිහරණය කිරීමේ දී දරුවා දැනුවත් වේ. එනිසා දරුවාට සිදුවීමට තිබෙන අයහපත අඩුය. ටිකක් හිතන්න. පහ, හය වසරේ දරුවකු අතට ජංගම දුරකථනයක් දුන්විට කෙසේද කියා. පැය 24 පුරාම හැම තත්පරයක්ම මේ දරුවාගේ හිත යන්නේ ජංගම දුරකථනයේ තිබෙන විවිධ ක්‍රීඩා තරග ඔබන්නටය. එවැනි දරුවන්ට පොතක් අතට ගන්නට හිතෙන්නේම නැත. මන්ද ජංගම දුරකථනයෙන් ‘ගේම්’ ගහන තරම් ආකර්ෂණයක් පාඩම් පොතේ නොවන බැවිනි.

මේ මෑතකදී මමත්, දියණියත් බස් රථයේ යන විට එක්තරා වැඩිහිටි තරුණයෙක් ‘ගේම්’ ගසමින් සිටි අයුරු දැක මම පුදුමයට පත්වීමි. ඔහු සිටින තැන ගැන ඔහුට වැටහීමක් නැති තරමට ඔහු දුරකථනයේ සෙල්ලම් කරමින් සිටියේ ය. දහදිය දමමින්, දත්මිටි හපමින් ඔහු ධ්‍යානගත වී සිටියේ ජංගම දුරකථනයෙන් ගසන ‘ගේම්’ එකටය. තරුණයෙක් වෙච්ච ඔහුට ඒ ඇබ්බැහියට යොමුවන්නට හේතුවී ඇත්තේ බාල කාලයේ ලැබුණු ආභාසය විය හැකියි. එනිසා අම්මේ, තාත්තේ මේ නිවාඩු කාලේ දරුවන්ගේ අතට ජංගම දුරකථනය දී තමන්ගේ වැඩ ටික නිදහසේ කරගන්න හිතනවා නම් ඒ සිතිවිල්ල දැන්ම වෙනස්කර ගන්න. මාපියන් අනවබෝධයෙන් කරන බොහෝ කටයුතු නිසා විනාශ වී යන්නේ නොදරුවන්ගේ ජීවිත බව ඔවුන්ට වැටහෙන විට බොහෝ ප්‍රමාදය.

මේ නිවාඩු මාසයේ දරුවන්ට වැඩි වැඩියෙන් පොත්පත් කියවන්නට හුරුපුරුදු කරන්න. මන්ද ළඟ ළඟම සාහිත්‍යය මාසයක් එන නිසා දරුවන්ට පොත් කියවීමේ වැදගත්කම වටහා දෙන්න මේ හොඳම කාලයයි. “කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි” යන්නෙන් හැඟවෙන්නේ පොත්පත්වලින් අපේ ජීවිතයට ලැබෙන මඟපෙන්වීම සුළුපටු නොවන බැවිනි. “හොඳ පොතක් යහළුවන් සිය දෙනකුට වඩා වටිනවා” යන්නෙන් කියමනක් ඔබ අසා තිබේද? හොඳ පොතක් කියන්නේ ඒ තරම්ම ජීවිතයට වටිනා දෙයක්. මනුෂ්‍යත්වය හඳුනා ගැනීමට නම්, මනුෂ්‍යත්වය දැනෙන්නට නම් පොත්පත් කියවිය යුතුමය. පොත්පත් කියවීමෙන් ඈත් වෙනවාය කියන්නේ අපෙන් මනුස්සකම ද නොදැනුවත්වම ටිකෙන් ටික ඈත්වන බවයි. පොතක් පතක් කියවන්නේ නැති කෙනෙක් හරියට හදවතක් නැති මනුස්සයෙක් හා සමානය.

මානව දයාවෙන් පිරිපුන්, සංවේදී හදවතක් ගොඩ නඟන්නට නම් පොතපතෙන් ලැබෙන පිටිබලය අනභිබවනීයයි. වැඩිහිටි ඔබට ඔබේ දරුවා එලෙස ගොඩ නැඟෙනු දකින්නට කැමැත්තක් ඇති නම් වහ වහා ඒ අඩුව පුරවාලන්න. දෙස් විදෙස් හොඳ කෘතීන් ඔබේ දරුවාගේ හොඳම යහළුවා බවට පත්කරන්න. අන්තර්ජාලයේ සැරිසරමින් හොඳ පොත් තෝරාදෙන්නට ඔබ දරුවාට උදවු කරන්න. මානව දයාවෙන්, ගුණයහපත් බවින් යුත් දරුවෙක් සිටින විට කිසිදිනෙක ඔබේ මහලු විය බලු කූඩුවල සිටින්නට ඉඩ සලසන්නේ නැත. මහමඟ දමා යන්නේ ද නැත. වැඩිහිටි නිවාසවල හිඳිමින් හූල්ලන්නට සිදුවන්නේ ද නැත. එවැනි දරුවන්ගෙන් රටට අයහපතක් වන්නේ ද නැති බව නොඅනුමානයි. දරුවන්ගේ මනස ඔද්දල් කරවන ‘කාටුන්, ගේම්’ ආදියෙන් බේරාගෙන යහපත් මාර්ගයේ යොදවන්නට මේ නිවාඩු කාලය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. “කාලය රන් හා සමානයි” එතරම්ම වටිනා කාලය රූපවාහිනී තිරය, ජංගම දුරකථනය, ටැබ් එකට, පරිගණකයට දියකර නොහරින්න. ඒ ගැන මාපිය ඔබ වගබලාගත යුතුය.

බොහෝ මාපියන් ඔවුන්ගේ අවිවේකීකම හේතුවක් කරගනිමින් දරුවන් සමඟ ගත කරන කාල වේලාව වර්තමානය වන විට ශීඝ්‍රයෙන් ඈත්වෙමින් පවතී. සමහර නිවෙස්වල පියවරු රැකියාවට යන්නට පාන්දර ජාමේ නිවෙසින් පිටවන විට දරුමල්ලෝ ගොරෝ ගොරෝ නිදි ඇඳේය. රාත්‍රියට නිවෙසට ගොඩවන විටද දරුවෝ නින්දට ගොසිනි. එහෙත් මේ නිවාඩු කාලයේ හෝ වෙනදාට වඩා මවුපියන්ට විශේෂයෙන් පියවරුන්ට දරුවන් සමඟ ගැවසෙන්නට ඉඩ සලසා ගතහොත් එය දරුවන්ගේ මනසට ලොකු සතුටක් වේවි. අම්මයි, තාත්තයි එක්ක සතුටු සාමීචියේ සෙල්ලම් කරමින් දවස ගතකරන්න පුංචි දරුවෝ විතරක් නොවේ, උස්මහත් වෙච්ච ලොකු දරුවෝත් කැමැතියි. ආර්ථික ප්‍රශ්න මත්තෙම නැහිලා පලක් නැහැ. දරුවෝ ටිකත් එක්කාසු කරගෙන දවසක දෙකක විනෝද ගමනක් යන්න හිතුවොත් නරක ද? මේ වගේ දේවල් කිරීමෙන් හෙම්බත් වූ දරුවන්ගේ ජීවිතවලට නව ප්‍රාණයක් එකතු වෙනවා වගේම ගෙවල්වල දරුවන්ගේ බර කරට අරගෙන සියලු මෙහෙවර කරන අම්මලාටත් ලොකු සතුටක් හිතේ උපදවන කාරණයක්. ඔබේ බිරියව, දරුවන්ගේ මව සතුටින් තැබීම ආදරණීය සැමියකුගේ පරම යුතුකම බව අමතක නොකරන්න. අගෝස්තු නිවාඩුව කියන්නේ පවුලේ හැමෝටම හිතේ හැටියට සතටු වෙන්න පුළුවන් කාලයක්. මොකද දෙසැම්බර් නිවාඩුව ටිකක් වියදම් වැඩි මාසයක්. අලුත් අවුරුද්දක් ලබනවා. කතෝලික අයට නත්තල් උත්සවය සමරන්නට අවශ්‍යයි. දරුවෝ අලුත් පන්තියකට යනවා. එනිසා දරුවන්ට අලුත් පොත්, බෑග්, ඇඳුම්, සපත්තු වගේ දේවල්වලට හරි හරියට වියදම් යන මාසයක්. ඒ මාසේ විනෝද ගමන් යන්න හිටියොත් ලෙහෙසි වෙන්නේ නැහැ. එනිසා මේ තමයි දරුවන් සමඟ සතුටුවෙන්න හොඳම නිවාඩුව. ඔබ බලාපොරොත්තු වූ තරම් ලකුණු විෂයයන්වලට අරගෙන තිබුණත්, නොතිබුණත් ඔබ, ඔබේ යුතුකම දරුවන් වෙනුනේ ඉටු කළොත් හොඳයි නේද?

ඒවගේම දරුවන්ට හොඳ සිනමා නිර්මාණයක් රසවිඳින්නටත් මේ හොඳම කාලයක්. මේ දිනවල තිරගත වන චිත්‍රපට කිහිපයක් අතරින් ඉහළ ගණයේ කලාත්මක වගේම ගුණාත්මක චිත්‍රපට දෙකක් මගේ මතකයට එනවා. ඒ එකක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘බිම්බාදේවී’ හෙවත් “යශෝධරා” චිත්‍රපටයයි. ඓතිහාසික වටිනාකමින් යුත් සිද්ධාර්ථ කුමරුන්ගේ ගිහි ජීවිතයේ ආදරණීය පි‍්‍රයම්බිකාව ඇසුරෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය හරහා දරුවන්ට බුද්ධ චරිතය හා යශෝධරා ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට ඉවහල් වේවි. අතීත රජ දවස ශ්‍රී විභූතිය ඔබේ දෙනෙතට විස්මයක් ඇති කරාවි. බෞද්ධ දරුවන්ට හුරුපුරුදු සිදුහත් කුමරු හා යශෝධරා දේවියගේ කතාව මේ චිත්‍රපටය නැරැඹීම හරහා තදින්ම මතකයේ රැඳෙන්නට ඉවහල් වේවි.

පසුගිය දිනෙක රිදී තිරයේ දිග හැරෙන්නට වූ තවත් අපූරු සිනමාපටයක් ලෙස “ගෝල්” චිත්‍රපටය හඳුන්වන්නට මා කැමැතියි. රොහාන් පෙරේරා නම් වූ තරුණ අධ්‍යක්ෂකවරයකු අතින් නිර්මාණය වූ “ගෝල්” සැබැවින්ම දරුවන්ට පෙන්විය යුතුම චිත්‍රපටයක් යැයි කීවත් වරදක් නැහැ. අතිදුෂ්කර ගම්මානයක ජීවත් වූ පුංචි කොලු රෑනක් කරළියට ගෙන එන්නට උත්සාහ දරණ අපුරු ගුරුවරයකු හා බැඳි කතාවක්. දරිද්‍රතාවෙන් මිරිකුණු සමාජයක දක්ෂතා හෙබි දරුවන් පිරිසක් හඳුනාගෙන ඔවුන්ට කැලයේ පරව යන්නට නොදී පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියටම ගෙන එන්නට කැප වූ අභීත ගුරුවරයකු දරුවන් වෙනුවෙන් කරන කැපකිරීමක්. ඒ ගුරුවරයාගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ජයගන්නා දරු කැළකගේ දක්ෂතාවය අපූරුවට තිරය මතට ගෙන එන්නට රොහාන් පෙරේරා ගෙන ඇති උත්සාහය සැබැවින්ම ප්‍රශස්තය. හිත ඇත්නම් දරුවන්ට පමණක් නොව මහමිනිසුන්ට ද කළ නොහැක්කක් නැත. මේ සිනමා පටයේ කැපී පෙනෙන විශිෂ්ට රංගනයක නියැළෙන ජයලත් මනෝරත්න වගේම කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, අනුලා බුලත්සිංහල වැනි ප්‍රවීණ ශිල්පීන්ගේ රංගන කුසලතාවය කැපී පෙනෙයි. පවුලේ හැමෝටම එකට හිඳිමින් විඳගත හැකි සිනමා නිර්මාණයක් නිසා කිසිදු චකිතයකින් තොරව “ගෝල්” චිත්‍රපටය නරඹන්නට ඔබේ දරුවා රැගෙන යන්න බිය නොවන්න. මෑත කාලයේ නැරැඹූ චිත්‍රපට අතරින් හදවතට දැනුණු අතිසංවේදී වූ, යථාර්ථවාදී ස්වභාවයක් දැනුණු දරුවන් සම්බන්ධයෙන් තැනණු ආදරණීය චිත්‍රපටයක රසය විඳගන්නට ලැබුණු සිනමාපටයක් කිව්වොත් නිවැරැදියි. මීට පෙර රොහාන් අධ්‍යක්ෂණය කළ, හීන හොයන සමනල්ලු , ඒ/ඹ් තරමටම “ගෝල්” චිත්‍රපටයත් අතිශය නිර්මාණශීලී ලෙසින් ප්‍රේක්ෂකයා අතට පත්කරන්නට ගත් උත්සාහය ඔබත් අත්විඳ බලන්න.

ආදරණීය මවුපියනි, වෙහෙසකර අධ්‍යාපන රටාවට නතු වූ පුංචි මල් කැකුළුවන් දූ පුතුන්ට නිදහසේ හුස්ම ගන්නට, තම සිතැඟි අනුව නිවාඩුව ගතකරන්නට ඉඩ දෙන්න. පුංචි මනසට වින්දනාත්මක පාසල් නිවාඩුවක් ගත කර උද්යෝගයෙන් නව පාසල් වාරයට මුහුණු දෙන්නට ඉඩ දෙන්න.

1040 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 14:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න