තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අගෝස්තු 06, සඳුදා 15:46

කොණ්ඩයේ කලර් එක ඉක්මනින් යන්නේ ඇයි? විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
රුව අලංකාරය ගැන වැඩියෙන් හිතීම කාන්තාවන්ගේ සාමාන්‍ය තත්ත්වයක්. පුංචි කාලේ පටන් ම ලස්සන වෙන්න හිතන ගැහැනු දරුවන් තරුණ වීමත් සමඟ මේ වුවමනාව තවත් වැඩි වෙනවා.

 

ඒ නිසාම විලාසිතා කරන්න පෙලඹෙනවා. අද වන විට කොණ්ඩා විලාසිතා අතර හිසකේ වර්ණ ගැන්වීම බොහෝ ජනපි‍්‍රය විලාසිතාවක් වෙලා.

විවිධ වර්ණවලින් යුතු හිසකේ ඇති තරුණියන් මෙන්ම වැඩිහිටි කාන්තාවන් අද සුලබ දසුනක්.

කාන්තාවන් පමණක් නෙවෙයි තරුණයන් පවා අද මෙලෙසින් හිසකේ වර්ණ ගන්වනවා. ඒත් හිසකේ වර්ණ ගන්වන අය තුළ ද හිසකේ පිළිබඳ මෙන්ම වර්ණ ගැන්වීම ගැන ද නොයෙකුත් ගැටලු පවතිනවා.

බොහෝ විට මෙවැනි ගැටලු පැනනගින්නේ හිසකේ වර්ණ ගැන්වීමෙන් පසුව නියමාකාරයෙන් කෙස් කලඹ නඩත්තු නොකිරීම නිසයි.

කෙස් වර්ණ ගැන්වීම සිදු කළ ද එය නිසිලෙස පවත්වාගෙන යාම පිළිබඳ නොදන්නාකමට විසඳුම් අද අපි ඔබට ගෙන එන්නෙමු.

හිසකෙස් වර්ණ ගැන්වීම ක්‍රම දෙකකට සිදු කරයි. ඉන් එකක් කලර් එක ඩිවෙලොපර් එක සමඟ මිශ්‍රකර හිසකෙස් සඳහා යෙදීමයි. අනෙක් ක්‍රමය වන්නේ, හිසකෙස් බ්ලොන්ඩ්කර හෝ බ්ලීච්කර කලර් එක දැමීමයි. මෙහිදී සිහි තබා ගත යුතු වන්නේ බ්ලොන්ඩ් කිරීමේ දී ඩිවෙලොපර් 6% යොදන්නේ නම්, කලර් එක ද 6% විය යුතු බවයි.

මින් කියැවෙන්නේ ඒ සඳහා අදාළ ඩිවෙලොපර් එකම දැමිය යුතුය යන්නයි. එසේ නැති වූ විට කෙටි කලකින් හෙයා කලර් එක ඉවත් විය හැකිය.

හිසකෙස් වර්ණ ගැන්වූ අය මුහුදේ නෑමෙන් වැළකිය යුතුය.

එමෙන්ම නාන තටාකවල දිය නෑම ද මෙවැනි අයට සුදුසු නැත.

එසේ කිරීමෙන් සිදු වන්නේ හිසකෙස්වල වර්ණය ඉක්මනින් ඉවත්ව යාමයි.

හිසකෙස් වර්ණ ගැන්වූ පුද්ගලයන් ස්නානය කිරීමේ දී හෝ හිස සේදීමේ දී ද කරුණු කිහිපයක් සිහි තබා ගත යුතුය. ඉන් එක් කරුණක් වන්නේ දිනපතා ස්නානය හෝ හිස සේදීම නොකළ යුතු බවයි.

එමෙන්ම ස්නානයේ දී හෝ හිස සේදීමේ දී සාමාන්‍ය ෂැම්පු වෙනුවට භාවිත කළ යුත්තේ කලර් කළ හිසකෙස් සඳහාම නිෂ්පාදනය කළ ෂැම්පු හා කන්ඩිෂනර් ය. හිසකෙස් සේදීම හෝ ස්නානය සිදු කළ යුත්තේ පැය 48 කට වරකි. එනම් දින 2 කට වරකි.

හිසකෙස්වලට සබන් යොදා සේදීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතුයි.

එමෙන්ම හිරු කිරණේ ඇති පාරජම්බුල කිරණින් (අල්ට්‍රාවයලට්) හිසකෙස් ආරක්ෂා කරගන්න. මේ සඳහා කැරොටීන් ස්ප්‍රේ හෝ ලිවොන් කන්ඩිෂනර් එකක් (මෙය මතුපිටින් ආලේපකරන කන්ඩිෂනර් එකකි) භාවිත කරන්න. මේවා හිසකෙස්වල ආලේප කිරීමෙන් කෙස් කලඹේ වර්ණය ආරක්ෂා කරගත හැකිය.

සුදුවන හිසකෙස් සඳහා වර්ණ භාවිත කිරීම ද අද වන විට බොහෝ දෙනා අතර ජනපි‍්‍රය වී ඇත. මෙවැනි අරමුණකින් කොණ්ඩය වර්ණ ගන්වන්නේ නම්, සති 2-3 ක් යන විට වර්ණය වෙනස් වන බවක් දැකිය හැකිය. මෙසේ වන්නේ හිස සේදීම වැඩි වන නිසයි.

නළල දෙපස ඇති හිසකෙස් ඉක්මනින් සුදු පැහැ වන්නේ එම ප්‍රදේශයේ ඇසිඩ් ස්වභාව වැඩියෙන් පවතින නිසයි.

මුහුණ ආසන්නයේ ඇති වර්ණ ගැන්වූ හිසකෙස්වල (නළල ආශි‍්‍රතව ඇති) බොහෝ විට වර්ණය නැතිවන්නේ මුහුණ සේදීමේ දී භාවිත කරන සබන්, ෆේස් වොෂ් ආදිය නිතර එම කෙස්වල තැවරෙන නිසයි.

මේවා මුහුණ සේදීමේ දී හොඳින් සේදීයාමක් සිදු නොවී, මුහුණේ නළල ආශි‍්‍රත ප්‍රදේශයේ හිසකෙස්වල රැඳී පවතී. අධික සෝඩියම් ප්‍රමාණයක් නිතර නිතර තැවරීම හා ඉවත් නොවී තිබීම නිසා මෙම ප්‍රදේශයේ හිසකෙස්වල වර්ණය නැතිව යා හැකිය.

එමෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට හිසකෙස්වල වර්ධන වේගයද වෙනස් වේ. එමනිසා කෙස් වැඩෙන වේගය අනුව ද කෙස්වල වර්ණය රඳා පවතී.

ඉක්මනින් වර්ධනය වන හිසකෙස්වල අලුතින් වැඩුණු ප්‍රදේශයේ වර්ණය නැතිවීම නිසා ඉක්මනින් හිසකෙස්වල වර්ණය ඉවත්වන බවක් දිස් වේ.

හිසකෙස් වර්ණ ගැන්වීමට ප්‍රථම ආසාදනයන් ඇතිවේදැයි බැලීම සඳහා ඇලර්ජි ටෙස්ට් එකක් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම හිසකෙස්වල ස්වභාව පිළිබඳ කලර් කිරීමට ප්‍රථම දැන ගත යුතුයි. ඒ නිසා ඔබ රූපලාවණ්‍ය ශිල්පියාට මෙයට පෙර ඔබ හිසකෙස් සඳහා යම් කිසිවක් (කලර් කිරීමක්, ෆර්ම් කිරීමක්, හෙනා කිරීමක් වැනි දේ) සිදුකර ඇත්දැයි දැනුම් දිය යුතුය.

ඒ අනුව රූපලාවණ්‍ය ශිල්පියා විසින් ඔබට වර්ණ භාවිත කිරීමේ දී රසායනික වෙනස් කිරීම් සිදු කරන ආකාරය ගැන තීරණය කරනු ඇති. එනම් වර්ණ ආලේපකොට කොපමණ වේලාවක් තැබිය යුතුදැයි මේ කරුණු අනුව තීරණය කළ යුතුය.

හිසකෙස් වර්ණ ගැන්වීමේ දී භාවිත කරන වර්ණ හා ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය නිසි ප්‍රමිතියකින් යුතු ඒවාදැයි දැන ගැනීමට ඔබට අයිතියක් ඇත. ඉඹ්ඉ සහතිකය ඇති නිසි ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් මේ සඳහා තෝරා ගැනීමෙන් හිසකෙස්වල වර්ණ ගැන්වීම මෙන්ම වර්ණය රඳා පැවතීමට, අහිතකර තත්ත්වයන් ඇති නොවීමට හේතු විය හැකිය.

 

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ආචාර්ය

ප්‍රේමසිරි හේවාවසම්

456 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 15:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න