තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අගෝස්තු 06, සඳුදා 16:07

එන්න මල් පාර දිගේ අපි ජීවිතය විඳිමු

ලිව්වේ  ඉරෝෂිනී අමරසිංහ
අගයන්න
(0 මනාප)
අද ඉරිද නිසා චුට්ටක් විතර නිදාගත්තා. උදෙන්ම පත්තරෙත් ඇවිත්. වෙනද වගේ දඩිබිඩියක් නැති නිසා මම පත්තරෙත් අරගෙන ආලින්දයේ ඉඳගත්තෙ නිදහසේ හුස්මක් ගන්න ගමන්මයි. කැම්මැළිකමට වගේ පිටු පෙරළගෙන යද්දි දැක්ක ප්‍රවෘත්තියක් මගේ හදවතම සසල කළා.

 

“තිදරු මව පිහියකින් ඇණ මරා, සැමියා වස බොයි”

ඔබට හිතෙන්න පුළුවන් මේක හදවත සසල වෙන කතාවක් ද කියලා.

ඇත්ත, අද ඒ තරමටම මෙවැනි සිදුවීම් සුලබ වෙලා. ඒත් මොහොතක් හිතන්න; මේ රට යන අත ගැන. අපේ දරුවන්ට මේ වටපිටාව ඇතුළෙ නිදහසේ ඉන්න ඉඩ හසර තියේවිද? අපි පා තබන්නෙ මොනතරම් අවිනිශ්චිත අනාගතයකට ද ?

දෑඟිලි රන් හුයෙන් බැඳ පෝරු මස්තක ප්‍රාප්තව යුවතිපතීන් අඹුසැමියන් විදියට ජීවිතය බෙදාහදා ගන්න එකතු වෙන්නෙ මොනතරම් බලාපොරොත්තු ඇතිව ද? විශේෂයෙන් යුවතියකගේ හිතේ මොනතරම් සුන්දර හීන ගොඩක් තියෙනව ද කියල අපි හොඳටෝම දන්නව.

ආදරණීය සැමියාට දයාර්ද බිරියක් වෙන්න. පුංචි කිරි සිනාවක මිහිර විඳින්න.

දුක සැප සම සමව බෙදා ගන්න. මේ වගේ හරිම ආදරණීය බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන විවාහ ජීවිතයට පා තබන බිරියකට, සැමියකුට ඒ ජීවිතය ඛේදනීය විදියට කෙළවර කරගන්න වෙනව නම් ඇත්තටම ඒක හරිම ශෝචනීය සිදුවීමක්. අපට කොතන ද වැරදුණේ. බත ඉදෙනකම් විතරක් තිබුණු පුංචි පුංචි රොස් පරොස් පිහි ඇනුමක් තරම් දුරදිග ගියේ ඇයි? අපි හිතමු අපිට මොකද වුණේ කියලා. අපි හදාගමු පුංචි පුංචි වැරැදි අපිට වරදින්නේ නැතිවෙන්නම.

විවාහයක් කියන්නේ දෙමඟක ගිය දෙන්නෙක් එකතුවීමක්. වෙන වෙනම ජීවිතය පටන් ගත්තු දෙන්නෙක් එක්ව ජීවිත ගමන ඇරැඹීමක්. කැපවීම, රැකවරණය, ඉවසීම, ආදරය, සෙනෙහස උපරිමව තිබිය යුතු තැනක්.

හුඟ දෙනකුට ජීවිතය වරදින්නෙ මේ සියල්ලම නැතත් මින් එකක්වත් ජීවිත තුළ නොවන නිසා.

අද ඉන්න බොහෝ බිරින්ඳෑවරු වගකීම් ගන්න හරි අකැමැතියි.

මේකට හුඟ දෙනෙක් එකඟ වේවි. දරුවන්ගෙ කෑම පෙට්ටියට කඩෙන් ගත්තු කෙටි කෑමක්, පැණි බීම බෝතලයක් දෙන්න අපේ අම්මල හරි කැමැතියි.

දරුවො උදේට කෑම කන්නෙ නෑ කියනවා. කීයෙන් කී දෙනාද දරුවට බත්කටක් කවන්න උත්සාහ කරන්නේ.

උදේ රැකියාවට යන සැමියට රසට උයපු බත් පාර්සලයක් දෙන්න පුළුවන් නම් ඇත්තටම සතුටු හිතේවි නේද ?

උදේ ඉඳන් රෑ වනතුරු බලන් ඉන්න රූපවාහිනියෙන් ටිකකට මිදිල වත්ත පිටිය ලස්සනට තියා ගන්න, දරුවන්ට රස කෑම වේලක්, අමතර කෑමක් හදල දෙන්න උත්සාහ කරන්න. එවිට ජීවිතයත් හරි රසවත් බව දැනේවි.

පුංචි පුංචි හිත් රිදීම් පවුල් ජීවිතවල ඕනෑ තරම්. ඒත් අපිට පුළුවන් නම් ටිකක් ඉවසන්න. දරුවන් ඉදිරියේ කෑ කෝ ගහන එක නවත්තන්න.

ඒ පුංචි හිත් සතුටින් පිරිල තියේවි. ජීවිතයේ මඟහැරීම්, අතපසුවීම් ඉදිරියේ උපේක්ෂා සහගතව මැදහත්ව ටිකක් හිතල බලන්න, මේක වුණේ මට විතර ද කියල.

ජීවිතයේ හුඟාක් දේ අහිමි වුණ අය අපි අතර ඕනෑ තරම් ඉන්නවා.

සුනාමිය නිසා ජීවිතය, දේපළ තම ආදරණීයයන් අහිමි වුණ අපේ සහෘදයන් ඒ කඳුළු මතින් නැගිට්ටා. සාමසාර කන්ද නාය ගිය මොහොතෙ හඬා වැටුණු ජීවිත මොනතරම් ද හිතල බලන්න, අපිට මොනවද නැති වුණේ කියල.

මීතොටමුල්ල ඛේදවාචකය මේ සියල්ල ඔබට කියන්නේ ජීවිතයේ අනියත බව නොවේ ද?

ටිකක් හිතන්න, සැමියට අධික සැරපරුෂ කෙනෙක් නම් ඔබෙනුත් ඔහු ඒ තත්ත්වයට වැටෙන්න යම් දායකත්වයක් ලැබුණ ද කියල.

සමහර බිරින්දෑවරු අධික සැර පරුෂයි. සැමියා යමක් ඇහුවම උත්තර දෙන්නෙත් තරහෙන්. උදවු කරන්න ආවත් ඇදමයි හොයන්නෙ.

නිකරුණේ සැක කරනවා. සැමියට රසට උයල දෙන්න, ඇඳුමක් හෝදල දෙන්න උනන්දු වෙන්නෙ නෑ. ඉතිං එහෙම බිරියකට ආදරණීය සැමියෙක් වෙන්න සැමියටත් බැහැ නේද? හිතල බලන්න, ඉතාම හොඳ බිරින්දෑවරුන්ටත් අයහපත් ස්වාමි පුරුෂයො ඉන්න පුළුවන්. දෛවයේ කුරිරු ඉරණම අපි පසු පස එනකොට එහෙම දේවලුත් වෙන්න පුළුවන්.

අපි ආදරය කරන කාලෙ නම් හුඟාක් දේවල් බෙදා හදා ගන්නව. ඒත් විවාහයෙන් පස්සේ ඒ බෙදා හදා ගැනීම අමතක වෙනවා.

හිතල බලන්න විවාහයෙන් පස්සෙ සැමියාගේ උපන්දින කීයක් ඔබට අමතක වුණා ද ? ඔබේ විවාහ සංවත්සරය ඔබට අමතක වුණේ නැති ද? අමතක වුණ වාර අනන්තවත් ඇති. ඔබ කියයි එයාට මතකද මගේ දේවල් කියලා. ඇත්ත එහෙම දේවලුත් ඕනෑ තරම් ඇති.

දැන් දෙපැත්තට අවලාද කියන එක, ආඩපාලි කියන එක නවත්තල අපේ වැරැදි හදාගන්න උත්සාහ ගනිමු. ළඟ එන සැමියගෙ උපන් දිනය, විවාහ සංවත්සරය මතක තියාගෙනම ඔහුව මවිතයට පත්කරන්න. පුංචි තෑග්ගක් දෙන්න. ඇත්තටම ඔහු සතුටු වේවි.

විවාහයට පෙර ඔහුගෙන් ලැබෙන හාදුවක් කෝටියක් වටිනව වුණත් බලන්න විවාහයෙන් පස්සෙ ඒ දේවල් කොයිතරම් දුරස් වෙලාද කියලා.

පුරුදු වෙන්න උදේ නිවෙසින් පිටවෙනකොට දරුවන්ව, සැමියව සිපගන්න.

හදවතින්ම ඔවුන්ට ආශීර්වාද කරන්න. ළඟින් වාඩිවෙලා කෑම ටිකක් කවන්න.

සැමියට කියලා බත් කටක් කවාගන්න. දෙන්නම එකතු වෙලා මුළුතැන්ගෙයි වැඩකරන්න. ඔහු වැඩක් කරන වෙලාවට ඉඟුරු දාපු රස තේ එකක් හදල, රසකැවිල්ලකුත් එක්ක දෙන්න. බලන්න, ජීවිතය කොයිතරම් රසවත් ද කියලා.

අගය කිරීම, උපස්ථම්භනය අපිව ඉහළට ඔසවා තබන ප්‍රබල සාධකයන්. පවුල් ජීවිතය ඇතුළෙහි මේ අගය කිරීමට ලොකු වටිනාකමක් තියෙනවා.

අපේ දරුවන්ව අපි කොතරම් අගය කරනවද? අපි අපේ සැමියව, දරුවන්ව ඇත්තටම අගය කිරීමට ලක් කරනව ද? ඔවුන්ව අගය කරලම නැද්ද? අද ඉඳලවත් හිතට ගන්න. මේක මුරුංගා අත්තේ තැබීමක් නම් නෙවෙයි. සැබෑ හැඟීමෙන්ම කළ යුතු දෙයක්.

පුංචි තෑග්ගක් ගෙනාවත්, පුංචිම පුංචි උදවුවක් කළත් ඒක අගය කරන්න. සිප වැළඳ සතුට ප්‍රකාශ කරන්න. මේ දේවල් ජීවිතයට දුරයි වගේ දැනුණත් ටික කලක් යද්දි අපිට හරිම ළඟින් මේ දේවල් දැනෙන්න ගනීවි.

දවසේ වෙන දේවල් සැමියත් එක්ක බෙදාහදා ගන්න පුරුදු වෙන්න. ඔබ ගෙදරම ඉන්න කාන්තාවක් නම් සැමියාගෙන් විශේෂ දේවල් අහන්න.

දරුවන්ගෙ දේවල් ඔහුට කියන්න. ටිකක් එළිමහනෙ ඇවිදින්න යන්න. ජීවිතය විඳින්න.

ඇත්තටම ජීවිතය හරි සොඳුරුයි. ඒක අඳුරු කරගන්නෙ අපිමයි. අපි වෙනස් වෙමු. ජීවිතය බෙදා ගමු. ජීවිතයට ඉඳල හිටල වැටෙන අඳුරු සෙවණැලි වුණත් එතකොට ලස්සනට පේන්න ගන්නවා.

274 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 16:07
අදහස් එක් කිරීමට ලොග් වෙන්න