තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 13:17

ලේ කිරි කඳුළිනි මේ ලොව මෙතරම් හැඩකළේ...

Written by 
අගයන්න
(2 මනාප)
සුපුරුදු පරිදි කාර්යාලයට එමින් සිටි තවත් දවසකි. වෙනදා වගේම බසයකට ගොඩවීමි. කවුළුව අසල වාඩි වන්නට ලැබූ මට සිහිල් පවන්රැලි දැවටෙන විට ගතට මෙන්ම සිතටද ගෙන ආවේ හැබෑම අපූර්ව හැඟීමකි. බස් රියේ වු කැසට්පටයෙන් නිකුත් වූ ගීත සවනත වැකීමෙන් ඒ හැඟීම තවත් තීව්‍ර කරන්නට විය.

 

 

“ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ ...”

වික්ටර් රත්නායකයන්ගේ මනෝ රම්‍ය හඬින් ඇසුණු ඒ ගීය නිම වෙත්ම රූකාන්ත ගුණතිලකයන් ගයන “උකුළට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ” පද බැඳුමය. එය අවසන් වත්ම “අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී” ඒ ඉන්ද්‍රානි පෙරේරාගේ සුමිහිරි ගී හඬයි. එක් ගීයකින් තවත් ගීයකට මාරු වුවද ඒ හැම ගීයක්ම ගලා ගියේ මවුවත්කමේ ගුණ සුවඳ අප හදවතට නැවත නැවත ස්පර්ශ කරවමිනි.

 

“මේ නොනිමෙන දිවි ගමනේ

නිවනේ මඟ පෙනෙන තුරා

අම්මේ ඔබෙ පුතෙකු වෙලා

මම එන්නම් සසර පුරා

අම්මේ ඔබ බුදු වේවා

මවුගුණ ගී ගයනෙමි මා

 

පියතුම නැතිදා ඉඳලා

ගියෙ නෑ මා තනි කරලා

කුසගිනි මට නොම දීලා

දුක වේදනාව නිවලා

අම්මේ ඔබ බුදුවේවා

මවුගුණ ගී ගයනෙමි මා

 

පැටලී ලෝ මායාවෙන්

ගලවා මා අවමානෙන්

නුවණැස මගෙ පාදාලා

දියුණුවේ මඟ පෙන්නාලා

ලැබු ඒ ආශිර්වාදේ

දිවි මාවත එළිය කළේ

අම්මේ ඔබ බුදුවේවා

මවුගුණ ගී ගයනෙමි මා

 

මේ නොනිමෙන දිවි ගමනේ.....

 

මේ ගීතය ඇසෙද්දී මගේ හිත අතීතයට ගියේ නිරායාසයෙනි. මගේ දෙනෙතින් කඳුළු වැගිරීම මට නවතා ගත නොහැකි විය. සදාදරණීය ජෝතිපාලයන්ගේ හඬින් නිරතුරුව ඇසෙන මේ ගීතයේ පදබැඳුම ගැන වෙනදාට වඩා මම සිතන්නට වීමි. කරුණාරත්න අබේසේකර සූරීන් වෙතින් පබැඳි, ජෝතිපාලයන්ගේ අමරණීය හඬින් මේ ගැයෙන්නේ මාගේ මවගේ ජීවිත කතාව කියවීමක් දෝයි සිතෙන තරමට මේ ගීතය මාහට සමීප අත්දැකීමකි. මේ ගීය ඇසීමත් සමඟ මගේ හිත දිව ගියේ ඇය හා අප ගත කළ අතීත මතකය වෙතය.

 

මගේ මව ගුරුවරියකි. දරුවෝ අට දෙනෙක් මෙලොවට බිහි කරමින් හදා වඩා ගත් ආදරණීය අම්මා කෙනෙකි. හෘදයාබාධයකින් පියා මෙලොව හැර යන විට අප ඉතා කුඩාය. එවකට වැඩිමහල් සහෝදරියට අවුරුදු 14කි. බාල නැගණියට අවුරුදු 2 1/2 කි. යෞවන විය නොඉක්මවූ මගේ මව දරුවෝ අට දෙනකු සමඟ මෙලොව තනි වන විට ඇයට හව්හරණට සිටියේ ඇගේ ආත්ම ශක්තිය පමණි.

“දරුවෝ 8ක් තනියම හදාගන්න බෑ... අපිට දෙන්න. අපි හදාගන්නම්”

 

ඥාතිවරු මවගෙන් ඉල්ලා ඇත. එහෙත් ඇය ඒ කිසිදු කතාබහකට ඇහුම්කන් දුන්නේ නැත. ඇය සිටියේ එකම අදිටනකය.

“මම මගේ එක දරුවෙක්වත් කාටවත් දෙන්නේ නැහැ. කොහොම හරි හදා ගන්නවා”

ඇය දරුවෝ අටදෙනා එක පොකුරට බදාගත්තා ය. ඒ වැළඳ ගැනීම අපෙන් ගිලිහුණේ මීට දෙවසරකට පෙර අද වැනි දිනකය. එදා මෙදා තුර 76 අවුරුද්දක්ම ඇය දරුවෝ අටදෙනාට පමණක් නොව දරුවන්ගේ දරුවන්ටත් පුදුමාකාර ශක්තියක් වූවාය.

 

පඩිපෙළක් වගේ එකළඟ එකළඟ දරුවෝ අට දෙනකු මෙල්ලකිරීම මවකට පහසු කටයුත්තක් නොවන බව දරුවෝ ඉන්න මවුවරුන්ට අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඒ නිසාමදෝ අපේ අම්මාගේ ආදරය තරමටම සැරවැර, බැණ වැදීම් ද අඩුවක් නොවුණි. පාසලට පමණක් නොව නිවෙසට ද ඇය ගුරුවරියක් ම වූවාය. සැබැවින්ම දරුවෝ අට දෙනකුත් තුරුලු කරගෙන රැකියාවක නියැළෙමින් ඇය අප උස්මහත් කරන්නට කළ සුමය එසේ මෙසේ එකක් නොවන බව අපට දැනෙන්නේ දරුවෙක් දෙන්නෙක් හදාගන්නත් මවුපියන් දරණ වෙහෙස දකින විටයි.

 

මගේ මව නිතර නිතර තෙපලූ වදනක් විය.

“දරුවෝ අට දෙනාට හොඳට ඉගැන්විය යුතුයි. මේ ළමයින්ගේ තාත්තා නැතිවුණත් කාටවත් බරක් නොවී හදාගත්තේ රස්සාව තිබුණු හින්දනේ”

 

ඒ සිතිවිල්ලට අනුව ඇයට වඩාත් අවශ්‍ය වුණේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටය. දියණියන් හය දෙනා ගුරුවරියන් වනු දැකීමට ඇය මහත් ආසාවක් දැක්වූවාය. ඇගේ කැමැත්තට අනුව අපේ පවුලේ තිදෙනෙක් ගුරුවෘත්තිය හා සමාන රැකියා තෝරාගත්තත් මම තරමක් හිතුවක්කාර තීරණයක් ගත්තෙමි.

විශේෂවේදී උපාධිය කරන්නට මා ජනසන්නිවේදන විෂයය තෝරා ගනිද්දී ඇය එතරම් කැමැත්තක් පළ නොකළේ මා ගුරුවරියක් නොවන බව ඇයට දැනුණු බැවිනි. කෙසේ නමුත් මට අවශ්‍ය වූයේ සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය උදේ 7.30 -1.30 රැකියාවක් හෝ උදේ 8.30 - 4.30 රැකියාවකට කොටු වීමට නොවේ. එහෙත් පසු කාලයේ මම මාධ්‍යවේදිනියක්, නියෝජ්‍ය කර්තෘවරියක්, කර්තෘතුමියක් විදියට පියවරෙන් පියවර ඉදිරියට යද්දී නම් අම්මගේ හිතේ පුදුමාකාර සතුටක් ඇති බව දුටිමි.

විශේෂයෙන් පත්තර මහගෙදරින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් කළ සා/පෙළ සිත්මිණ පුවත්පතේ කර්තෘ ලෙස නියැළෙද්දී නම් ඇය අසීමිතව සතුටට පත්වූවාය. සමහර විට ඒ ඇගේ අරමුණ යම් තරමකින් හෝ ඉටුවීමේ සතුටට විය හැකිය.

 

තමන්ගේ දරුවන් පමණක් නොව ඉගෙන ගන්නා හැම දරුවකු ගැනම ඇයට තිබුණේ එවන් සුපසන් හැඟීමකි.

 

ඇය වචනයේ පරිසමාප්ත අරුතින්ම දිරිය ගැහැනියකි. ඈ සතු ශක්තිය අප්‍රමාණය. එතරම්ම ඇය ධෛර්යවන්තය. (දැන් දැන් රූපවාහිනී නාළිකාවල පෙන්වන විදේශීය ටෙලිනාට්‍යවල මෙන් සැමියා වියෝ වූ පසු දරුවන් අනාථ මඩම්වල දමා පෙම්වතුන් ගැන සිහින මවන මවක් වූයේ නම් දරුවන්ට යන කල දසාව කුමක් වේද?)

මගේ ලෝකයේ පමණක් නොව අප අට දෙනාගේම ලෝකවල මහා වීරවරිය වූයේ ඇයයි.

 

ජීවන ගමන් මඟේ දරුවන් අට දෙනකු සමඟින් ඇය මොනතරම් නම් බරක් උහුලන්නට ඇද්ද? එහෙත් කිසිදා ප්‍රශ්නයන් හමුවේ ඇය හඬා වැටෙනවා අප දැක නැත.

එතරම්ම ඇය ශක්තිසම්පන්නය. දරුවන්ට හොඳින් උගන්වා හදා වඩා ගනිමින් ජීවිතය ජයගත් යකඩ ගැහැනියක් බව අපට දැනෙන්නේ ඒ නිසාය. පුංචි පුංචි ප්‍රශ්න හමුවේ සිය දිවි නසා ගන්නවා හෝ වෙනයම් තීරණවලට එළැඹෙන අපේ කාලේ දියණියන්ට මෙවන් මවුවරුන් ආදර්ශයක්ම නොවෙ ද?

දරුවෝ දීගතල දුන් පසුව ද අපේ අම්මාට විශ්‍රාම දිවියක් නොතිබිණි. නිවෙසේ සිටිය දී ඇය නිරතුරුවම කල්පනා කළේ දරු මුණුපුරන් ගැනය. ඉඳහිට හෝ පියාණන් හීනෙන් දුටුවිට පසුදින නොවැරදීම උදෑසනින්ම දරුවෝ අට දෙනාටම දුරකථන ඇමැතුම් ය.

“ඊයේ රෑ මම තාත්තාව හීනෙන් දැක්කා. අද ඔයාලා පරිස්සමෙන් ඉන්න. දරුවන්ටත් කියන්න.”

 

තාත්තා හීනෙන් පෙනෙන්නේ කිසියම් අනතුරක් දැනුම් දෙන්නට බව ඇය විශ්වාස කළාය. අප කොයිතරම් වැඩිහිටි වුවත් ඇය මියෙන තුරුම දරුවෝ ගැන සොයා බැලීම අතහැර සිටියේ නැත. සෑම මවකගේම ස්වභාවය මෙයම නොවෙ ද? ඔවුන් තුළ දරුවන්ට තිබෙන සෙනෙහස කිසිවකුට සම කළ නොහැක්කේත් ඒ නිසාමය.

ඇගේ ජීවන ගමන් මඟෙන් අපි උගත් දේ බොහෝමයි. තමන්ගේම දරුවන්ට සේම හැම දරුවකුටම ආදරය කරන හැටි අපි ඇගෙන් උගත්තෙමු. තමන්ගේ යහපත සතුට මෙන්ම අනෙකාගේ යහපත සතුට ගැන ද එකසේ සිතිය යුතු බව ඇය අපට කියා දුන්නාය. දනට පිනට සිත යොමු කරමින් ‘අත් හැරීමේ’ පාඩම පළමුවෙන් අපට කියා දුන්නේ මගේ අම්මාය. වගකීම් ‘කර ඇරීම’ වෙනුවට ‘කරට’ ගෙන ඉටුකිරීම ක්‍රියාවෙන්ම අපි දුටුවේ ඇය තුළිනි. මේ සියල්ලටම වඩා අභියෝග හමුවේ නොසැලී සිටින්නට අපට ආත්ම ශක්තිය ලබා දුන්නේ ද ආදරණීය අම්මාය.

 

අම්මා යනු ආදරයේ උල්පතමය. එය කිසිදා නොසිඳෙන ආදරයකි.

194 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 13:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න