තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:01

මවුපියෙනි ඇහුම් කන් දෙන්න මේ පුංචි දෝණිගේ හදගැස්මට

Written by 
අගයන්න
(0 මනාප)
හැමදාමත් අතට ලැබෙන සිය ගණනක් ලිපි අතරේ පුංචි දරුවකුගේ අත්අකුරින් තිබූ ලිපියක් හමුවුණෙමි. නිර්මාණී පිටුවට එවූ නිර්මාණයක් යැයි සිතා මම පිටුව සකසන නාමලී වෙත දුනිමි.

 

“නැහැ මිස් මට නෙවෙයි. මිස්ට එවලා තියෙන්නේ. හරිම දුක හිතෙන කතාවක්”

“දුක හිතෙන කතාවක්” පුංචි දරුවකුට මට කියන්න තරම් හිතට දැනුණු ඒ කතාව දැනගන්න මට තිබුණේ මහ පුදුම තරම් කුකුසක්. ලිපිය අතට ගත් සැනින් ඒ අකුරු අතරේ මගේ නෙත දිව ගියේ නොඉවසිල්ලෙනි.

“නැන්දේ.... මගේ නම ... මම පහ වසරේ ඉගෙන ගන්නේ. හැම වාර විභාගයකින්ම මම පන්තියේ පළවැනියා. ඒත් මම ඉන්නේ හරිම දුකෙන්. මගේ තාත්තා අම්මත් එක්ක තරහවෙලා ගෙදරින් ගිහින්. කොහේ ඉන්නවාද දන්නේ නැහැ. තාත්තා මාව බලන්න එන්නෙත් නැහැ.

අනේ නැන්දේ මට අම්මත් ඕනේ; තාත්තාත් ඕනේ. මගේ තාත්තට ගෙදර එන්න කියන්න. මට තාත්තා නැතුව පාලුයි. තාත්තව මට හැමදාම රෑට හීනෙන් පෙනෙනවා. මට තාත්තව නිතර මතක් වෙනවා”

ඒ ලිපිය දැකීමෙන් මොහොතකට මා සිටි තැනම ගල් ගැසුණාක් මෙන් දැනුණි. පහ වසරේ ඉගෙනුම ලබන හය හතර නොතේරෙන දරු පැටියකුගේ හදවතට දැනුණු වේදනාව අකුරු බවට පත්කරන්නට තරම් ඒ හිත මේ සිදුවීම සමඟ කොයිතරම් නම් සංවේදී වී ඇද්ද? වැඩිහිටි අප, දරුවන්ගේ හිත් ගැන දරුවෝ මවුපියන් අරඹයා සංවේදී වන තරමට අප සංවේදී ද? මවුපියන්ගේ විරසකය මේ පුංචි හිත් පාරවා තිබෙන තරම ඔබට සිතා ගත හැකි ද?

මේ අප දුටුවේ.. නැතිනම් අසන්නට ලැබුණේ එක් පුංචි දියණියකගේ හද පෑර වූ දුක්බර පාපොච්චාරණයකි. මෙවැනි ඛේදවාචකයන්ට පාත්‍ර වූ දූ පුතුන් කොතෙක් නම් ඔවුන්ගේ හැඟීම් සිතෙහි සිර කරගෙන ලොවට නොපෙන්වා රහසිගතව හඬා වැටෙනවා ඇද්ද? ආත්මීය සබඳතා කෙරෙහි පුංචි දරුවෝ වචනයෙන් ප්‍රතිචාර නොදැක්වුවත් හදවතින් විඳවන තරම ඔබ අපට සිතා ගන්නවත් බැරි තරම්ය. විරසක වූ මවුපියන් නිසා දුක්විඳින දරු පැටවු එන්න එන්නම මේ සමාජයේ බහුල වෙමින් පවතී.

පන්තියේ යාළුවෝ තාත්තලා ගැන කතා කරද්දී, දෙන තෑගි බෝග ගැන උදම් අනද්දී, පියවරුන්ගේ අතේ එල්ලී පාසලට පැමිණෙන දරුවෝ දකිද්දී ඒ පුංචි හිත්වලට මොනවා දැනෙනවා ඇද්ද? මවුවරු දමා ගිය දරුවන්ගේ සිතිවිලි ද එලෙසමය. එහෙත් අද බොහෝ විට දකින්න ලැබෙන්නේ මවුවරු සමඟ තනිවූ දරු පැටවුය. පියවරු සමඟ දරුවෙක් තනිවී ඇත්නම් ඒ කලාතුරකිනි. එසේ වී ඇත්නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් විය හැකිය. දරුවෝ තනිකර දමා යන්නේ මවද පියා ද ඒ දෙදෙනාම වරදකරුවන්ම මිස නිවැරැදි කරන්නට හෝ සාධාරණීකරණය කරන්නට අප යන්නේ නැත. මේ පාප ක්‍රියාවට හවුල් වන හැමකෙනකුම වරදකරුවන්ය. ඔවුන්ට කිසිදා සමාවක් දිය යුතු නොවේ.

විවාහ වන විට ඔබට දරුවෝ ගැන නොසිතෙන්නට පුළුවන. එහෙත් දරුවෝ ලැබූ පසු අපේ ජීවිතවල පිළිවෙල සකස් විය යුත්තේ දරුවන් මූලික කරගෙනය. තම ලෙයින් කුසින් වැදූ දරුවෝ තනි කරන්නට මවට, පියාට කොහෙත්ම අයිතියක් නැති බව අප ඔබට නැවත නැවතත් පසක් කළ යුතු ද? පූදින්නටත් පෙර මෙලෙස ළමා ලෝකය සුණුවිසුණු කරමින් තලාපෙළා පොඩිකර දමන මවුවරු, පියවරු බහුල සමාජයක එවැනි මවුපියන් ආමන්ත්‍රණය කරන්නට හොඳම මොහොත මේ යැයි සිතෙන්නේ තවත් ලෝක ළමා හා වැඩිහිටි දිනයක් සමරන මොහොතක් අද උදා වී ඇති නිසයි.

පවුල තුළ හැමදාමත් ප්‍රශ්න තිබුණේ ය. ප්‍රශ්න නොමැති පවුල් නොමැත. නොමළ ගෙයකින් අබ ඇටයක් ගෙන එන්නට කියා ගෝතමීට බුදුන් කී කතාව ඔබට මතක ද? පවුල ගැන කියන විට ද එලෙසමය. වසර ගණනාවක් ප්‍රේම කොට දෙදෙනාට දෙදෙනා නොදැක ඉන්නට බැරිබව පවසමින් විවාහ වන පෙම්වතුන් කලක් ඇවෑමෙන් පෙන්නන්නට බැරි තරමට නයි පොළොඟුන් වාගේ ය.

ඔහුගේ හඬ ඇසෙන විට ඇයට වහකඳුරු ය. ඇයගේ රුව දකින විට ඔහුට අපුලය. බිරියට සැමියාට දෙදෙනා කෙරෙහි එසේ වුවද දරුවන් කෙරෙහි ඔවුනට මෙසේ ප්‍රතික්ෂේප කළ හැකි ද? නීතිය කෙසේ වෙතත් සොබා දහමට අනුව දරු පැටවුන්ට මවුපියන්ගේ ආරක්ෂාව, රැකවරණය, සෙනෙහස මියෙන තුරුම අප හිමිකර දිය යුතුය.

මවුපිය ප්‍රශ්න හමුවේ පියා, මවට දරුවා බාර දෙයි. නැතිනම් බලෙන් දරුවා මව බාරයේ දමා පවුලේ යුතුකම් සියල්ලෙන් බැහැර වී තනිකඩයකු සේ සමාජයේ සැරිසරයි. එහෙත් මාපියන්ට එසේ දාරක බැඳීමෙන් මිදෙන්නට හැකි ද? එය එතරම් සැහැල්ලුවෙන් ගත හැකි තීරණයක් ද? එවිට දරුවන්ට යන කල දවස කුමක් වේ ද? මවුපියන් මියගිය විට දරුවකුට ඇතිවන හැඟීම සහ මවුපියන් අතහැර ගොස් සිටින දරුවකුට දැනෙන සිතිවිලි දෙයාකාරය. මිය යාමේ යථාර්ථය දරුවෝ සම සිතින් විඳගන්න ද, පිළිගන්න ද මව හෝ පියා දරුවන් අතහැර ගිය විට දැනෙනුයේ මහ හුදකලා අසරණ බවකි. සමාජය හමුවේ ඔවුහු අසීරුතාවයට පත්වෙයි. දරුවන්ට මෙවැනි වාතාවරණයක් ඇති වූයේ විරසක වූ මව/පියා බව සිතන දරුවෝ සමාජයෙන්ම පළිගන්නට වුවත් බැරි නැත. එම අවාසනාවන්ත තත්ත්වය දරුවන්ට ඇති නොවන විදියට ජීවිතය සැලසුම් කිරීම අම්මාගේ තරමටම තාත්තාගේ ද පරම වගකීමකි. අම්මාගේ ආදරයෙනුත්, තාත්තාගේ ශක්තියෙනුත් සවිමත් වන දරුවෝ පැහැබර අනාගතයකට උරුම හිමිකම් කියන විට බිඳුණු පවුල්වල දරුවන්ගේ ඉරණම කෙසේ විසඳේද? මේ බව හොඳින්ම තේරුම් ගත්තු බහුතර අම්මාවරු පවුලේ ගිිනි පිටතට නොදෙමින් පැමිණෙන දුක පැණි රසයි සිතමින් දරුවන්ගේ ජීවිත පැහැබර කිරීමේ එකම අදිටනින් සැමියන්ගෙන් වන සියලු දුක් ගැහැට විඳගනිමින් ජීවිතයට මුහුණ දෙති. දරුවකුගේ ශක්තිමත් වැඩීමට, අභිමානවත් පෞරුෂයක් ගොඩනැගීමට අම්මාගේ ආදරය තරමටම තාත්තාගේ සෙනෙහසත් ළඟ රැඳීම අවැසිමය. එහෙත් මේ බව පියවරුන්, මවුවරුන් තරමට තේරුම් ගන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.

බොහෝ සැමියන් දරුවන් අතහැර යන්නේ අනියම් සබඳතා හේතුවෙන් බව ප්‍රකට ය. බිරියගේ අඩුපාඩු හැමට පවසමින් නිවෙසේ ගත කරන සුළු මොහොත පවා රණ්ඩු සරුවල් වෙමින් අවසානයේ ප්‍රශ්නයට විසඳුම ලෙස සැමියා නිවෙසින් පිටව යයි. බිරිය රිදවන්නට සැමියා ගන්නා මෙවැනි මුග්ද තීරණ නිසා අවසානයේ සුව කළ නොහැකි තරමට රිදවීම ඇතිවන්නේ දරුවන්ටය. බිරියගෙන් හෝ සැමියාගෙන් පලි ගන්නට සිතා වෙන්වන අඹු සැමියන් අවසානයේ පලිගෙන ඇත්තේ, රිදවා ඇත්තේ තමන්ගේම ලෙයින් උපන් දරුවාගෙන්ය. හැම දරුවකුටම පැහැබර අනාගතයක් උරුමව තිබුණ ද මෙවැනි මවුවරු, පියවරු ඔවුනගේ අභිමතයට, තීන්දු තීරණ ගෙන දරුවන්ගේ ජීවිත අඳුරු කරන්නට පාර කපා ඇති බව බොරුවක් නොවේ.

“ඇයි තාත්තේ මාව දාලා ගියේ” දරුවෝ දුරස් වූ පියවරුන්ගෙන් අසන විට බොහෝ පියවරුන්ට පිළිතුරක් ඇත. එනම් “අම්මත් එක්ක ඉන්න බෑ”

මෙසේ පවසන පුරුෂ පාර්ශ්වය 100%ක්ම නිවැරැදි සුපසන් ජීවිත ගත කරන්නේ ද යන්න සිතා බැලීම ඔබට බාරය.

ලෝක ළමා දිනයක් සමරන මේ මොහොතේ වැඩිහිටි අප හැමෝගේම වගකීම වන්නේ ළමා පරපුර වෙනදාට වඩා ආරක්ෂා කරගැනීමයි. මේ පුංචි හිත් තලා පෙළා ඔබට ලැබෙන සතුටක් නැත.

ඔබට ලැබෙන සැප සම්පතක් ද නැත. පුංචි එවුන්ගේ හිතේ නැඟෙන වේදනාව, සුසුම්ලෑම දරුවන් දමා යන පියවරුන්ටත්, මවුවරුන්ටත් පීඩාවක්ම මිස සහනයක් නම් නොවනු ඇත.

අම්මයි, තාත්තයි රණ්ඩු වන විටත් බිය වී මුළුගැන්වී සුසුම් හෙළන පුංචි දරුවන් අම්මා හරි තාත්තා හරි ඔවුන් අතහැර දමා ගිය විට මොනවා සිතනු ඇද්ද? ඔවුන්ට කාගේ පිහිටක් ද ? අම්මා අප්පච් සේ බාප්පලා කුඩම්මලා දරුවන්ට සෙනෙහෙවන්ත වේවි ද ?

 

“ මා එක්කලා අමනාපව වී දබර

දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර”

 

අප අතරින් සමුගත් විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ සුපසන් හඬින් ගැයෙන ඒ ගීය ගැන හිතන විට අපට දැනෙන්නේ අම්මත් එක්ක අමනාප වූ විට නිවෙස හැර දමා යාම පියවරුන් ගන්නා සුලබම තීරණය බවයි.

එසේ යන්නට පෙර පියවරු මේ ගැන වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් හිතා බලන්න.

සමහර බිරියන් ජීවිත කාලය පුරාම සැමියාගෙන් විවිධ තාඩන පීඩන කායික මෙන්ම මානසික වශයෙන් විඳින අනේක පීඩා හූල්ලමින් සුසුම්ලමින් ඉවසා සිටින්නේ දරුවා විවාහ වන දිනයේ දෙදෙනාම පෝරුව දෙපැත්තේ සිටීම දරුවාට ගෙනෙන අභිමානයක් ලෙස සලකාය. ඒ මවුවරු සිතන හැටිය. ඒ තමයි මවුවරුන් කරන කැපවීම. පියවරුන්ටත් මෙලෙස සිතන්නට පුළුවන් නම් මේ ලෝකය කොයිතරම් නම් ලස්සන වේවි ද?

දරුවන්ගේ සුරක්ෂිත හෙට දිනක් උදෙසා මවුවරු තරමටම පියවරුත් දරුවන් වෙනුවෙන් කැපවීම වරදක් නොවේ. එය පිරිමිකමට නිගාවක් ද නොවේ. එය අභිමානයකි.

ආර්ථික ප්‍රශ්න හමුවේ ආදරය පෑල දොරින් පිටවී ගියත් සතුට පිරුණු එක වහලක් යට අම්මට තාත්තට දරුවන් එක්ක සතුටින් ඉන්නට ලැබේවා යන්න මේ ලැබූ ලෝක ළමා දිනයේ අපගේ ප්‍රාර්ථනයයි.

290 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න