තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:39

මල්වරයෙන් පසු නිරෝගී ආර්තවයක්

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
නිරෝගී ආර්තවයක් යනු යුවතියකගේ ජීවිතයේ අනාගතය ඉතාම පැහැබර එකක් බව කියාපාන කැඩපතකි. ඇය අනාගතයේ නිරෝගීමත් ජීවිතයක් ගතකරන මවක වීම සඳහා කිසිදු බාධකයක් නොමැති අයෙකි.

 

නිරෝගී ආර්තවයක් දින 3 - 5 අතර කාලයක් පැවතිය යුතුවේ. එය චන්ද්‍ර මාසයකට වරක් නැතිනම් දින 28 කට වරක් සෑදීම අනිවාර්යය වේ. එහි කිසිදු වේදනාවක් නොතිබිය යුතුය. මෙහිදී එම වේදනාව ඔසප් වීමට පෙර, ඔසප්වන අතරතුරේ හෝ ඔසප්වීමෙන් පසු හෝ සෑදිය යුතු නැත.

ඔසප් රුධිරයේ ප්‍රමාණය ද නිරෝගී ඔසප් චක්‍රයක හැඩරුව කියාපායි. ඒ අනුව අධිකව රුධිරය පිටවිය යුතු නැත. දිනකට සනීපාරක්ෂක තුවා තුනක් පමණ භාවිත කරන ප්‍රමාණයේ රුධිරය පිටවීමක් වන්නේ නම් සෑහේ. සාමාන්‍යයෙන් මුළු දින ගණනටම මිලිලීටර් 80 ට වැඩි රුධිර ප්‍රමාණයක් පිටවේ.

පිටවන රුධිරයෙහි පැහැය ද විශේෂිතය. පිටවන රුධිරයේ පැහැය පිළිබඳ ඔබේ විමසිල්ල බෙහෙවින් වැදගත් වේ. තද කළු පැහැයෙන් 'කැටි ස්වරූපයෙන්' දුර්ගන්ධයකින් යුතුව ඔසප් රුධිරය පිටවිම නිරෝගී ආර්තවයක ලක්ෂණ නොවේ. හාවකුගේ රුධිරයට සමාන පැහයකින්, ඔලිඳ ඇටයේ පැහැයට සමාන තද රතු පාටක් තිබීම නිරෝගී ආර්තවයේ ලක්ෂණයකි. මෙය මල්වරයේ පටන්ම තිබිය යුතු දෙයකි.

ඉතා අඩුවෙන් ඔසප් රුධිරය පිටවීම, අධික වේදනාව සහිතව එනම් වේදනානාශක ගැනීමට වන තරමේ වේදනාවක් හට ගැනීම වැනි තත්ත්ව ඇත්නම් නුදුරේදීම ඇය ගර්භාෂගත රෝගවලින් පීඩා විඳින්නියක බවට පත්වනු ඇත.

ඒ අනුව ඇයට චොකලට් සිස්ට්, ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්ව හටගත හැකිවේ.

නිරෝගී ආර්තවයක් නොමැතිකමින් උපතේ පටන්ම තිබුණු ආකර්ෂණය, කාන්තිමත් බව ඇය කෙරෙන් පලා යයි. සම දුර්වර්ණ වේ. කෑමට ගන්නා ආහාර සියල්ලක්ම තෙල් ලෙසින් ගබඩා වේ.

ඩිම්බ මේරීමට ආහාර මඟින් ලැබෙන පෝෂණය ඒ අනුව නැතිවී යයි.

යුවතියක්, කාන්තාවක් ගන්නා ආහාරවලින් අවසාන පෝෂණ කොටස් වැයවන්නේ ඩිම්බ මේරීම සඳහාය. අපි කන කෑම අවස්ථා 7 කට පරිවර්තනය වේ. ඉන් හත්වැන්න නොහොත් හත්වන ධාතුව අවස්ථාවයි. ස්ත්‍රී ශුක්‍ර අවස්ථාවට නොපැමිණ මේදස් අවස්ථාවෙන් නැවතුණු විටදී ඩිම්බයක් මේරීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ නැත. ආහාරවල සුපිරිම කොටස මෙම ශුක්‍ර කොටසයි.

රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර ඉහත කී ධාතූන් හතයි. ඒ අනුව මේදස්වලින් ආහාර ජීර්ණය නතර වීමෙන් අස්ථි, මජ්ජා, ශුක්‍ර යන කොටස් තුන සිදුනොවේ.

මෙහිදී අස්ථි දුර්වලවීම නිසා හන්දිපත් රුදාවත්, සන්ධිවල වේදනාවත්, ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්ව ඇතිවේ. අඩු වයසේ දී වුවත් මේවා දැකිය හැකියි.

මජ්ජා යනු ඇටමිදුළුය. රුධිර සෛල නිෂ්පාදනය ඇරඹෙන්නේ ඇටමිදුළුවලිනි. ඇටමිදුළු සඳහාවන පෝෂණය නොමැතිකමින් නිදිමත, නිරක්තය, මලානිකබව ඇතිවේ.

ස්ථුල සිරුරක් ඇතිවේ. ඒ මේදස් ලෙස ආහාරවල පෝෂ්‍ය කොටස් ගබඩාවන නිසාය. ස්ථුල වුවත් ඇඟේ ශක්තියක් නොමැත. ලස්සනක් නැත.

නිදිමත ගතිය, සිරුරේ රෝම වර්ධනය, අරමුණකට යා නොහැකිවීම සිදුවේ.

අවසාන වශයෙන් ශුක්‍ර අවස්ථාවට නොපැමිණීම නිසා දරුවකු පිළිබඳ ඇති සිහිනය බොඳවන්නක් වනු ඇත.

මෙහිදී ස්ත්‍රී හෝර්මෝනවල සමතුලිතභාවය බිඳී යයි. ඒ බිඳීම නිසා ඔසප් වීමේ අක්‍රමිකතා, වැඩිපුර ඔසප්වීම, අඩුවෙන් ඔසප්වීම, මාසය පුරාවටම ඔසප්විම වැනි සංකූලතා හටගනියි. මේ සඳහා තාවකාලික පිළියම් නොව නිසි පිළියම් යෙදිය යුතුවේ.

නිරෝගී ආර්තවයක ස්වභාවය හඳුනාගැනීම වැදගත්වන්නේ එය අනාගතයේ මවක් වීමට ඇති සවිමත් පාලම වන නිසාය. දරුඵල ප්‍රමාද වීමට ප්‍රධාම හේතුවක් වන්නේ වෙනස්කම් සහිත ආර්තවයයි.

ක්‍රමික ඔසප්වීමක් පිළිබඳ එතරම් තැකීමක් නොකර සිටියොත් අනාගතයේ රෝග රැසක් ඇතිවීමට පුළුවන. මීට අමතරව බර වැඩිවීම නිසා අතුරුඵල ලෙස ආතරයිටීස්, දියවැඩියාව, කොලෙස්ටරෝල්, තයිරොක්සින් හෝර්මෝනය වෙනස්වීම, තරහ යෑම, නුරුස්සන ගතිය, මානසික ආතතිය ඇතිවේ.

නිරෝගී ආර්තවය සඳහා සමබල පෝෂණයක් අවශ්‍යම වේ.

මෙය ගැහැනු දරුවා කුසෙහි පිළිසිඳ ගත් දා පටන් බිලිඳු විය, ළමා විය, ගැටවර විය, යොවුන් විය මේ ආදී සියලුම අවස්ථාවලදි ලැබිය යුතු එකකි.

උදේ, දිවා, රාත්‍රී කෑම්වේල් නියමිත වේලාවන්හිදී ගැනීම අත්‍යවශ්‍ය වේ. ධාන්‍ය, පලා, කහපාට එළවළු, පලතුරු, කුඩා මාළු ආදිය ගැනිම පෝෂණය වඩවයි. බිත්තර සහ මැල්ලුම් එකට ආහාරයට ගැනීම සුදුසු නැත. ඒ බිත්තරවල යකඩ අවශෝෂණයක් සිදුනොවන නිසාය.

සලාද වර්ග, ඇඹුල් රස පලතුරු ගැනීම වැදගත් වේ. පිෂ්ටය අඩංගු ආහාර අඩු කොට ප්‍රෝටීන, විටමින් අඩංගු ආහාර කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුවේ.

අනාගතයේ මවුපදවිය දැරීමට සිටින්නේ වත්මනේ මල්වරවන දරුවන්ය.

මවුවරම කඩෙන් බඩුවක් ගන්නවා මෙන් ගත නොහැකිය.

ඔසප්වීම පිළිබඳ වෙනමම පොත් පිංචක් තබාගෙන ලිවීම වැදගත් වේවි. එය වෛද්‍යවරයකුට හෝ පෙන්වීමට පුළුවන. මෙය මල්වරයත් සමඟින්ම ආරම්භ කළහැකියි. ඔසප් වීමේ දින පිළිබඳ සැලකිලිමත් වීමට විවාහ වී සිටීමට අවශ්‍ය නොවේ.

 

 උපදෙස් - ප්‍රසව හා නාරිවේද

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

දයානි සිරිවර්ධන

 

236 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න