තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 13:16

බ්ලෙන්ඩර් එක නිවැරැදිව පිරිසුදු කරමු විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(1 මනාපය)
මුළුතැන්ගෙයි නොයෙකුත් උපකරණ අතර බ්ලෙන්ඩර් එක කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද අද කාලේ ගෘහණියො තමාගේ අතින්, මිරිස් ගලෙන්, වංගෙඩියෙන් කරන සෑම කාර්යයක්ම බ්ලෙන්ඩර් එකෙන් කරන්න පුරුදු වෙලා.

 

මිරිස් කොටන්න වගේම තුනපහ කුඩු කර ගන්න, පොල් කිරි මිරිකන්න, පොල් සම්බෝල හදන්න වගේ බොහෝ කාර්යයන්ට මෙය භාවිත කරනවා. එතකොට ඔබ බ්ලෙන්ඩරය දවසට තුන් හතර වතාවක් හෝ ඊටත් වැඩියෙන් ක්‍රියාත්මක කරනවා ඇති. ඉතින් එය යොදා ගන්නවා වගේම පිරිසුදු කිරීමත් එක ලෙස වැදගත්. මොකද නිසි අයුරින් එය පිරිසුදු නොකළොත්, ආහාර කැබලි ආදිය බ්ලෙන්ඩර් තල අස්සේ රැඳී තිබෙන්න පුළුවන්.

මේවා නැවත ආහාර සමඟ මුසු වෙනවා. ඒ නිසා ගෘහණියන් වන ඔබ ඔබගේ මුළුතැන්ගෙයි උපකරණ පිරිසුදු කිරීමේදී ඉතාමත් කල්පනාකාරී වන්න.

බොහෝ මුළුතැන්ගෙයි විදුලි උපකරණ මෙන්ම නිසි නඩත්තු කිරීමකින් තොරව බ්ලෙන්ඩර් එක යහපත් ක්‍රියාකාරී තත්ත්වයේ තබා ගන්න අසීරුයි. එසේම නිසි ලෙස පිරිසුදු නොකිරීමෙන් ආහාර විස වීම ආදී රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බ්ලෙන්ඩර් එක නිවැරැදිව පිරිසුදු කිරීම වැදගත්.

බ්ලෙන්ඩර් එකේ ආහාර දමන කොටසට වතුර කෝප්ප කිහිපයක් සහ 'ඩිෂ් සෝප්' නැතහොත් දියර සබන් බිංදු කිහිපයක් එක් කර, තත්පර 30 ක් පමණ සාමාන්‍ය වේගයකින් ක්‍රියාත්මක කරවන්න.

දැන් බ්ලෙන්ඩරයේ දෙපස සහ පතුළ පවිත්‍ර වී ඇති නම් සබන් වතුර ටික ඉවත් කර ඇල් ජලයෙන් සෝදා ගන්න.

සබන් යෙදීමෙන් පසුව ද තවත් පැල්ලම් ඉතිරි වී ඇත්නම් හෝ ඉවත් කිරීමට අපහසු පැල්ලම් ඉවත් කිරීම සඳහා ලෙමන් යොදා ගන්න. ලෙමන් ගෙඩියක් තරමක කැබලිවලට කපා දියර සබන් බිංදු කිහිපයක් සමඟින් බ්ලෙන්ඩරයට දමා ගන්න. අනතුරුව බ්ලෙන්ඩරයේ භාගයක් පමණ වනතුරු උණුසුම් ජලය පුරවා විනාඩියක් පමණ ක්‍රියාත්මක කරවන්න.

ලෙමන් සහ සබන් වතුර ටික ඉවත් කර ඇල් ජලයෙන් සෝදා හරින්න.සෑම භාවිත වාරයකටම පසුව බ්ලෙන්ඩර් එක පිරිසුදු කිරීම මෙන්ම පිරිසුදු කිරීමෙන් පසුව මෘදු රෙදි කැබැල්ලකින් පිස දැමීමටත් මතක තබා ගන්න.

සෑම මාසයකට වරක් හෝ බ්ලෙන්ඩරයේ කොටස් ගලවා පිරිසුදු කරන්න.

උණුසුම් ජලය සහ ස්පොන්ජයක් භාවිත කිරීමෙන් අතින් සෝදා පිරිසුදු කරන්න. මේවා පිඟන් සේදුම් යන්ත්‍රයට නොදමා අතින්ම සෝදා ගන්න.

බ්ලෙන්ඩර් එක වියළීමට ප්‍රමාණවත් කාලයක් තබා නැවත එකලස් කරන්න.

මීට අමතරව වැදගත් දෙය නම් පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේදී බ්ලෙන්ඩරයේ මෝටරය ඇති කොටසට ජලය කිසිදු ලෙසකින්වත් නොගැටෙන ලෙස තබා ගත යුතුයි. මෙලෙස පිරිසුදු කිරීමේ කාර්යය නිසි ලෙස සිදු කිරීමෙන් අනවශ්‍ය කරදරවලට මුහුණ නොදී දීර්ඝ කාලයක් භාවිත කිරීමට ද හැකි වේවි.

448 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 13:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න