තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 29, සඳුදා 13:55

අලුත් මල්වලට පූදින්න ඉඩ දෙන්න

Written by 
අගයන්න
(0 මනාප)
දහසය හැවිරිදි පාරමී වසන්ති මාරිස්ටෙලා පාසල් දැරිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා අපගේ රටට කීර්තියක් අත්පත් කරදීමට සමත්කම් පෑවාය. ඔලිම්පික් නාමය අප රටේ.... අප අතරේ රැව් පිළිරැව් නංවන්නට වූයේ මට මතක හැටියට වසර 18 කට පමණ පසුය.

 

මීට දශක දෙකකට පෙර සුසන්තිකා ජයසිංහ අප රටට දිනා දුන් ඔලිම්පික් රිදී පදක්කම අපට රටක් රාජ්‍යයක් තරම් වටින්නේය. එහි කතා දෙකක් නැත. ඇගේ ක්‍රීඩා කෞශල්‍යය හාස්කමක් බඳුය. ඇය ශ්‍රී ලංකා ධජය ඔසවමින් වරෙක සිඹිමින් සතුටු කඳුළු වගුරද්දී ලංකාවාසී ජනතාවගේ ද සතුටු කඳුළක් නොදුටු දෑසක් නොතිබෙන්නට ඇත. ජාති, ආගම්, පාට නොබලා අපි සැවොම එකාවන්ව සුසන්තිකා මෙරටට ගෙනා ඒ ජයග්‍රහණය අසීමිතව වින්දහ. ඇත්නාවල ගමේ දුගී පවුලක උපත ලැබූ සුසන්තිකාට මේ ජයග්‍රහණය සමඟ මුළු රටම ඇගේ දක්ෂතාවයට ප්‍රශංසා කරමින්, උපහාර උළෙලන් තබමින් තෑගි බෝග දෙමින් ඇය සතුටට පත් කළහැටි අපට මතකය. ඇය අප රටට මාහැඟි මැණිකකි. එදවස පමණක් නොව අදත් හෙටත් මතුත් එහි වෙනසක් නැත. සුසන්තිකා වූ කලී අප ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු නාමයකි.

ඒ දශක දෙකක අතීත විජයග්‍රහණය නැවතත් කරලිය මත ඉස්මතු වන්නට වූයේ පාරමී වසන්ති පාසල් දියණිය පසුගිය දිනෙක ආජන්ටිනාවේ බුවනෝර්ස් අයස් නුවර පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් මීටර් 200 බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාදෙමින් මේ ශ්‍රී ලංකාද්වීපයට ගෞරවයක් ලබාදීම හේතුවෙනි.

පාරමී ද සුසන්තිකා මෙන්ම දරිද්‍රතාවයෙන් දැඩි පීඩනයකට ලක්වන දියණියකි. අඟහිඟකම් පිරුණු පවුලක ඉපදුණත් පාරමීටත් සුසන්තිකා මෙන්ම අධිෂ්ඨාන ශක්තියෙන් නම් කිසිදු අඩුවක් නොවීය. වේලක් ඇර වේලක් කෑවත්.... ඉන්න හිටින්න සවිමත් වහලක් නොතිබුණත් ... පාරමීගේ ධෛර්යය නංවන්නට ඇයට උදාර මාතාවක්, පියාණන් කෙනකු, සහෝදරියක් වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු පියාණන් කෙනකු සිටීම රටටම වාසනාවක් විය. පාරමීගේ පුහුණුකරු ජනිත් සර්ගේ මඟපෙන්වීම හා උපකාරය නිසාම පාරමී මේ ඉෂ්ට කළේ තම මවගේ, පියාගේ බලාපොරොත්තුවම පමණක් නොව රටේම බලපොරොත්තුවයි. මහත්වරුන්ගේ ක්‍රීඩාවෙන් දිගින් දිගටම පරාජය හිමිවෙද්දී බිඳ වැටුණු මානසිකත්වයෙන් මිරිකී සිටි ක්‍රීඩාලෝලීන්ට පාරමීගේ ජයග්‍රහණය සමඟ ඇතිවූයේ උද්දාමයකි. හරියට වැහි නැති කතරට දිය පොදක් වැටුණා හා සමානය.

ඒ ප්‍රීතියත් සමඟ දසතින්ම පාරමී ගැන සතුටු කතාබහ පැතිරෙන්නට විය. කවුද මේ පාරමී ? රටම ඇය ගැන දැන් හොඳින්ම දනී. පාරමී ඉපදෙන්නට ඉන්න කාලයේ මවු විඳි දුක... පාරමීගේ ළමා කාලය.... පාරමී අක්කත් එක්ක හරි හරියට වෙරළේ දුවපු හැටි... දුවන්න වගේම ඉගෙනීමටත් හපනියක් වග.... කෙදිනක හෝ වෛද්‍යවරියක් වන්නට සිහින දකින මේ පුංචි ධාවන ශූරිය ගැන දැන් අප රටේ කවුද නොදන්නේ ?

කෙසේ හෝ ඔලිම්පික් පදක්කමක් ගෙන එන්නට ධෛර්යය දක්වන පුංචි පාරමීට මේ වනවිට ලැබෙමින් පවතින, නැතිනම් රජය විසින් ඇගේ ජයග්‍රහණයට පෙරළා ප්‍රතිඋපකාර දක්වන්නට දිරියක් වෙමින් නිවාස, දීමනා ආදිය පිරිනමන විට සමහරුන්ගේ හිත් බොහෝම තදින් රිදුණු බවත් මේ වනවිට රටම දන්නා කාරණයක්.

“ඒ කාලේ අපිට ලැබුණේ මෙච්චරයි. දැන් මෙයාට ඇයි මෙච්චරක්.”

යමක් කෙනකුට ලැබෙන විට අනෙකුන් මෙලෙස ගණන් හදන්නට යන්නේ මන්දැයි ප්‍රශ්නය පැන නඟින්නේ පොකට්ටුව අනෙකකුගේ වන නිසාය. සමහර ක්‍රීඩිකාවන් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ අපට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. අතීතයේදී යම් යම් ජයග්‍රහණයන්ට ලැබුණු තෑගි බෝග එදා ප්‍රමාණවත් නොවන්නට ඇති. එහෙත් තව කෙනකුට ලැබෙන දෙයකදී ඊට වළකැපීම අපි කෙසේවත් අනුමත නොකරමු. කළයුත්තේ ඉදිරිපත්වීමට අත හිත දීමය. පාරමී මේ රටේ පුංචි දියණියකි. නිකම්ම දියණියක් නොවේ. අසාමාන්‍ය දක්ෂතාවයක් ඇති දියණියකි.

වැඩිහිටියන් ලෙස අප සැමගේ වගකීම විය යුත්තේ මේ පුංචි හිතට වචනයකින් හෝ ධෛර්යයක්, ශක්තියක් වීම මිසක මේ හිත තළා පෙළා පළිගැනීම නොවන බව කවුරුත් හිතට ගත යුතුය.

පාරමී ද සුසන්තිකා මෙන්ම රටට මැණිකකි. ඒ මැණික ඔපදමා සුරක්ෂා කිරීම වගකිවයුතු සියලු බලධරයින්ගේ වගකීමකි. ඔවුනගේ නිසි අවධානයට ලක්වුවහොත් ක්‍රිකට් කිරුළ ලංකාවට ගෙන ආවා සේම නුදුරේදීම ඔලිම්පික් රන් පදක්කම් සිහිනය ද අපට යථාර්ථයක් වනු නියතය. එබැවින් ක්‍රීඩාවේ උන්නතිය ගැන සිතා පාරමීගේ මූලික අවශ්‍යතා පිරිමසමින් ඇයගේ මානසික ඒකාග්‍රතාවය නංවමින් කාය ශක්තිය ද, නිසි පුහුණුව ද ලබා දෙමින් ඒ ඉලක්කය කරාගෙන යාමට මාවත හෙළි පෙහෙළි කිරීම නොපමාව කළයුතුය. මක්නිසාද පසුගිය සමයේ ක්‍රීඩාවේ තිබුණු මන්දගාමී ස්වභාවය නිමාවෙමින් පවතින බව අපට හැඟෙන්නේ නෙට්බෝල් ආසියානු ශූරතාවය දිනාගැනීමේ උණුසුම පහව යන්නටත් මත්තෙන් යොවුන් ඔලිම්පික් ජයග්‍රහණයක් භුක්ති විඳීමේ සතුටත් අපට ලැබීම ක්‍රීඩාවේ සුබ ලකුණකි. එවැනි සුබ මොහොතක කාගේ කාගේත් කුහකකම, ඊර්ෂ්‍යාව ඉස්මතු කිරීමට යාම නොකළ යුත්තකි. අප වැඩිහිටියන් ලෙස හැමවිටම පරමාදර්ශී විය යුතුය.

ක්‍රීඩාවේ පමණක් නොව බොහෝ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් නැතිනම් මුල්පෙළ පිරිස පසු පෙළක් නිර්මාණය වනු දැකීමට ප්‍රිය නොවේ. බොහෝ කාර්යාලවල වියපත් වූවන් විශ්‍රාම යන්නට සමහරු මැලිකමක් දක්වති.

“අපි නැතුව මේව කරන්න බෑ... අපි තරම් දක්ෂයො නෑ. අලුත් අයට මේවා කරන්න බැහැ අපිම ඉන්න ඕන “යන මතයෙම සිටින එවැනි පිරිස් දෙවැනි පෙළකට ඉස්මතු වන්නට ඉඩක් නොතබාම තමාගේ තැන රැකගන්නට උපක්‍රම යොදති.

තවත් සමහරු වර්තමානයේ ඇතැමුන්ට ලැබෙන වැටුප් හා සංසන්දනය කරන්නේ මීට දශක දෙක තුනකට පෙර තමාට ලැබුණු වැටුපට සම කරමිනි.

“අපිට ඒ කාලේ ලැබුණේ මෙච්චරයි. ඒත් දැන් කාලේ අයට මෙච්චර ලැබෙනවා” ඒ ගැන කියමින් ඇතැමුන් කුහකකමින් නවකයන්ට හූල්ලති.

එවැනි කතාබහ ඇහෙද්දී මගේ මව ඒ කාලේ ඇයට ලැබුණු පඩිය ගැනත් ඒ වැටුපෙන් කළ කී දෑ අපට පැවසූ අයුරුත් සිහිපත් වෙයි.

“මගේ මුල් පඩිය රු. 180යි. ඒ පඩියෙන් තමයි මේ පුටු සෙටිය ගත්තේ. ඒ කාලේ මේ පුටු සෙටිය රු. 25 යි. ඔයාලගේ ඔක්කොම වැඩ කළෙත් ඒ ලැබුණු පඩියෙන්”

ඒ එදාය. මේ මෙදාය. මීට දශක පහකට පෙර රු. 180 කළ කී දෑ දැන් කළ හැකි ද? එසේ නම් අප ගත් මූලික පඩිය වර්තමානයේ රැකියාලාභී නවකයන් ලැබිය යුතු යැයි සම්මතයක් නැත. එසේ සිතීමත් මහ තදබල කුහක සිතිවිල්ලකි. එසේම තවත් සමහරු හිතන දෙයක් ඇත. එනම් සේවා කාලය, ජ්‍යෙෂ්ඨත්වය රැකියාවේ උසස්වීම් ලබන්නට සුදුසුකම වියයුතු බව. එසේ සිතුවහොත් සමහර කාර්යාලවල සේවා කාලය පමණක්ම ඇති සේවකයන් කොතෙක් නම් සිටී ද? ඒ කාලය තුළ සේවයට වාර්තා කිරීම නැතහොත් ආවා ගියා, පෞද්ගලික වැඩකටයුතු ටික කරගන්න, කල්ලි හදා ගනිමින් රාජකාරියට බාධා කිරීම් හැරුණම ඕපාදූප කියවමින් රාජකාරියේ නියැළුණු පිරිස් අප අතරත් ඕනෑතරම්ය.

එවැනි ජ්‍යෙෂ්ඨ සේවාලාභීන් හට උසස්වීම් ලබන්නට තිබෙන සුදුසුකම පිළිබඳ ඔබම දැන් සිතා බලන්න. සමහර ජ්‍යෙෂ්ඨයන් රැකියාවට බැඳුණු තනතුරෙන්ම විශ්‍රාම යන්නට සිදුවනු ඇත. ඔවුන් දොස් නඟන්නේ පාලනාධිකාරියටය.

එහෙත් තමන් මොහොතක් හෝ සිතුවා ද තමන්ගෙන් වරදක් සිදුවී ඇති බව. ගෙවී ගිය කාලය තුළ තමන්ගෙන් සේවා ආයතනයට උපරිම සේවය ලබා දුන්නේ ද? යන වග. තමන් පසුකර නවකයන් ඉදිරියට යන්නේ කවර හෝ දක්ෂතාවයක් නවකයින් සතු නිසා නොවේ ද? එවිට ජ්‍යෙෂ්ඨයන් කළ යුත්තේ ඉදිරියට යන නවකයන්ට ආශීර්වාද කරනු මිස කුහක කුඩුකේඩුකම් කිරීම හෝ වැඩකටයුතු අවුල් කිරීම නොවේ.

තමන්ටම පමණක් සියල්ලම ලැබිය යුතුයැයි සිතන මෙවැන්නෝ අද සමාජයේ බහුලය. එවැනි සිතුවිලි දෙස අප බැලිය යුත්තේ ද්වේෂයෙන් නොව අනුකම්පා හදිනි.

“ඇත්හැරීම” පෘථග්ජන අපට කරන්නට තරමක් අසීරු දෙයකි. එහෙත් අත්හැරීම ටිකෙන් ටික ප්‍රගුණ කරන විට සිතට දැනෙන නිරාමිස සතුට ඔබට ද එවිට අත්විඳින්නට පුළුවන.

“මම”, “මගේ”, “මටම”, “මමම විතරයි” කියන සිතුවිල්ලෙන්ම ඔබ ජීවත් වන කෙනකු නම් ඔබට “අත්හැරීම” බොහෝ දුරය. සසර ද බොහෝ දිගය.

ගහක වුවත් හැමදාම එකම මල රැඳෙන්නේ නැත. නැවත නැවත මල් පිපෙමින්, පරවෙමින් අලුත් මලක සුවඳ විඳින්නට ලැබේ. සොබාදහම ඒ යථාර්ථයට මුහුණ දෙන්නේ නම් සොබාදහමේම කොටසක් වන මනුස්සයන්ට ඒ යථාර්ථය අවබෝධ නොවන්නේ මන් ද? අලුත් මල්වල සුවඳ විඳ ගන්නට, යල් පැන ගිය ඇතැමුන් අකැමැති වුවත් ඒ සුවඳ අමාරුවෙන් හෝ විඳගන්නට සූදානම් වුවහොත් ජීවිතය ලස්සන වේවි. රටත් ලස්සන වේවි.

කිසිම කෙනෙක් කිසිම තැනකට අත්‍යවශ්‍ය නොවේ. එහෙත් සමහරු එසේ සිතා ජීවත් වේ. පරමල් වෙනුවට අලුත් මල් පීදිය යුතුය. අලුත් මල්වල සුවඳ දසත විහිදිය යුතුය. ඒ මල් දෙස ආදරෙන් බලන්නට උත්සාහ ගන්න. සෙනෙහසින් පිළිගන්න. හදවතින්ම සිනහ වෙන්න. සුබ පතන්න.

සුදුසු තන්හි සුදුසු කල්හි බදාගෙන සිටින දේවල් අත්හරින්න. එසේ නොවුණු තැන සමාජය ඔබට වෛර කරාවි.

275 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 29, සඳුදා 13:55
අදහස් එක් කිරීමට ලොග් වෙන්න