තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 05, සඳුදා 13:36

ඉවසන සිත ජීවිතයට ආශිර්වාදයක්

ලිව්වේ  නයනා නිල්මිණි
අගයන්න
(0 මනාප)
සදහම් සෙවණට පාඨකයකු විසින් යොමුකරන ගැටලුවක් සම්බන්ධයෙන් ධර්මානුකූල පිළිතුරක් ලබා දෙන්නේ කඩුවෙල බෝධිඤාණ මහමෙව්නා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින්වහන්සේ නමකි.

 

බණ්ඩාරවෙල බිඳුණුවැව පදිංචි ඇය මෑණියන් කෙනෙකි. නිතර ම අසල්වාසීන් නොයෙක් කරදර හිරිහැර කරන බවත්, ගල්මුල්වලින් පවා පහර දී රෝහල්ගත වූ බවත්, නීතියෙන් කටයුතු කළ ද සුදුසු විසඳුමක් නො ලැබූ බවත් කියයි.

එනිසාම ඇය දැඩි මානසිකව පීඩා විඳින නිසා සුවදායක නින්දක් නො ලබයි. තනිව ම ජීවත්වන ඇයට නිතර කේන්ති යන ස්වභාවයක් ද ඇත. එනිසාම ඇය ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙයි.

අප වර්තමාන ලංකාව දෙස බැලුවොත් වැඩිපුරම මේ වගේ ප්‍රශ්න තිබෙන්නේ මවුවරුන්ට, දියණියන්ට, සහෝදරියන්ට. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සංසිඳීමෙන් ඉවසීමෙන් හොඳින් ඉගෙන ගත්තොත් අපේ මේ මානසික ගැටළුවලට ඉතා සාර්ථක විසඳුම් සොයාගන්න පුළුවන්.

මානසික ගැටලු ඒමට විවිධ හේතු බලපාන්න පුළුවන්. තමන් බලාපොරොත්තු නො වන ආකාරයට කටයුතු කරුණු සිදුවන විට ලොකු පීඩාවකට අපි පත් වෙනවා. අපගේ නිවසේ අදටත් වැඩිපුර වැඩ කොටසක් කරන්නේ අපේ අම්මා. නැත්නම් සහෝදරිය, නැත්නම් බිරිඳ. අපි දන්නවා අතීතයේ මුදල් උපයන කාර්ය මුළුමණින් ම කළේ පිරිමි පාර්ශවය යි.

නමුත් දැන් මුදල් ඉපයීමත් කාන්තාවට බාර වෙලා තිබෙනවා. කලාතුරකින් තමයි සැමියෙක් සිතන්නේ බිරිඳ රැකියාවක් නො කළ යුතුයි: මට පුළුවනි ඇයව පෝෂණය කරන්න කියා. එසේනම් ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා මුදල් උපයන්නත් ඇයට සිදුවී තිබෙනවා.

ඒ වගේම අතීතයේ සිට කාන්තාවන් කළයුතු වැඩ කොටසින් ද ඇය නිදහස් වෙලා නැහැ. එනිසා දෙපාර්ශවයේ ම බර හිසේ දරාගෙන තමයි සහෝදරියක්, නැගණියක්, මවක් ජීවත් වෙන්නේ. එනිසා කාන්තාවක් මානසිකව පීඩාවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

අද සමාජයේ විවාහ වී ස්වාමියා නැති කාන්තාවක්, දරුවෙකු සමඟ තනි වූ කාන්තාවක්, නැත්නම් විවාහ නොවූ කාන්තාවක් , හුදෙකලා වූ කාන්තාවක් දෙස අප ඉතා කාරුණිකව බලන්න ඕන. නමුත් සමාජයේ බොහෝ වෙලාවට අපට දකින්නට ලැබෙන්නේ තමන්ට අභියෝගයක් නැත්නම් පෙරලා දුර්වලයා ඉදිරියේ ප්‍රතිප්‍රහාරයන් එල්ල කිරීමයි. එනිසා පොදුවේ සතා සීපාවන්ට, මිහිමඬලේ ස්වභාවික සම්පත්වලට, මානව වර්ගයාට පවා තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් හිංසා ක්‍රියාවක් නො වන ආකාරයට, කටයුතු කිරීම අපගේ වගකීමයි.

මෙම ගැටලුව ඉදිරිපත් කර ඇත්තේ තනි වූ මෑණියන් කෙනෙක්. ඇය මවක් ලෙස අසල්වාසියෙක් ලෙස, සොහොයුරියක් ලෙස සළකල කටයුතු කිරීම හැමගේම වගකීමක්.

ඒ වගේ ම මේ මෑණියන් තේරුම් ගන්න ඕන තමන්ගේ අඩුපාඩු ඇත්නම් ඒවා හදාගන්න. ඇය රැක ගැනීම සැමගේම වගකීමක් වුවත් ලෝක පාලක ධර්මතා අපට ඉක්මවා යන්න බැහැ. අප කො තරම් හොඳින් ජීවත් වුවත්, නින්දා අපහාස ලබනවා.

බුදුරජාණන් වහ්නසේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පරිපූර්ණයි. මහා කාරුණිකයි. කුරා කූඹියෙකුටවත් අවැඩක් උන්වහන්සේ සිදුකර නැහැ. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරන සමයේදීත් උන්වහන්සේ ගුණ ධර්ම පිරූ උත්තමයෙක්. එවන් උත්තමයෙක් සමඟ පවා වෛර බැඳගත් සතුරන් සිටියා.

 

 

එදා නිගන්ඨයින් සුන්දරී කියන පරිබ්‍රාජිකාව මරලා ජේතවනාරාමයේ මිනිසුන් පූජාකරන විශාල මල්ගොඩ අස්සේ හැංගුවා. ඔවුන් ම කොසොල් රජුට පැමිණිලි කළා.

රජු ඇසුවේ සැක කොහෙද කියලා. “ස්වාමිනි, ජේතවනාරාමය සැකයි” කියා කිව්වා. රජතුමා පරීක්ෂා කළා. ඔවුන්ම මැරූ සුන්දරිය ඔවුන් සොයා ගත්තා. එසේ නිකෙලෙස් උතුමෙකුට පවා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් අපවාද කරන්න තරම් කුරිරු බවක් තිබුණා.

එනිසා මැරෙමින් ඉපදෙමින් යන සසර ගමන මහා භයානකයි. මහා දුකක්. පිළිකුල් කළයුතු දෙයක්. ඇලීමක් ඇති නොකර ගත යුතු දෙයක්.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ ලාභ, ප්‍රශංසා, සැපය, යසස පමණක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ලාභත් තිබෙනවා. අලාභත් තිබෙනවා. නින්දාවත් තිබෙනවා. ප්‍රශංසාවත් තිබෙනවා. දුකත් තිබෙනවා. සැපත් තිබෙනවා. යසස (පිළිගැනීම) තිබෙනවා. අයසත් තිබෙනවා. මේ මෑණියන් ස්වාමියා සිටින කාලයේ බොහෝම යසසින් සිටියා වෙන්න පුළුවන්. නමුත් අද ඒ සියල්ලම නැතිව ගියා. ඒ අනිත්‍ය ලෝකයේ හැටි.

යසස මෙන්ම අයස ඉදිරියේත් අකම්පිත මනසකින් සිටීමයි අප කළ යුත්තේ. අනෙක් පිරිස බනිද්දී, ගල්මුල්වලින් පහර දෙද්දී ඉවසීම කියන උතුම් ගුණය තමා තුළ දියුණු කරගත හැකිනම්, ඒ ගල්මුල් මල් බවට පත්වෙලා තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් කරනවා. එයට හේතුව තමන්ගේ සිත ඉවසන විට පුළුල් වෙනවා.එනිසා මේ මෑණීයන් කල්පනා කරන්න නිකෙලෙස් ශාස්තෘන් වහන්සේට පවා අපවාද, උපවාද ලැබුණානම්, රහතන් වහන්සේලාට පවා ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා උරුම වුණානම්, මම වගේ අය කවර කතා ද? කියා සිතන්නට පුළුවන්නම් සිත සංසිදී යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ නිතර වඳිමින් පුදමින් නින්දා අපහාස ඉදරියේ සිනාමුසු මුහුණනින් තමාගේ සිත හදා ගත්තොත් ඇයට මෙලොව මෙන්ම පරලොව ද දිනිය හැකි වේවි. මේ දහම් කරුණ ඉවසීමෙන් වරක් දෙවරක් නොව සිතට වැටහෙන පරිදි කිහිප වරක් කියවා සිතේ තැන්පත් කර ගත්තොත් මානසික දුක්වලින් බොහෝ සේ මිඳිය හැකියි. ඒ වගේම සිතට පූර්ව යෝජනාවක් දී තියන්න කවුරු මට මොනවා කිව්වත් මගේ සිත මම වෙනස් කර ගන්නේ නැහැ කියලා.

මුලින් එය කරන්න අපහසු වේවි. නමුත් ඒ අවස්ථාවක ධර්ම කරුණක් මෙනෙහි කළොත් සිත සංසිඳීමකට පත්වේවි. කාලයක් එසේ කරනවිට සිත හොඳින් මෝරලා ඕනෑම දෙයකට ඔරොත්තු දෙන සිතක් බවට පත්වෙනවා.

එවිට නින්ද නො යන ප්‍රශ්න, හීනෙන් භයවීම ආදි දී ඉබේම නැතිව යනවා. තමන් ධර්මයේ හැසිරෙන විට ධර්මය විසින් තමන්ව රකිනවා. ඒක සත්‍යයක්.

ඒ වගේ ම අපේ සිතට කේන්තියක් එන්නේ නිතරම මම, මම, මගේ, මට ආදි ලෙස කල්පනා කිරීමෙන්. එසේ නොකොට සිදු වූ දේ මොහොතක් නැවති නැවත නැවත කල්පනා කළහැකිනම්, සමහර විට තමාගේ වැරැද්දක් තිබුණත් එය වැටහේවි. ඇත්ත තත්ත්වය තේරුම් ගත්තොත් සිත ගැටීම ඔස්සේ පුපුර පුපුර යන එක නතර වෙනවා. අපට ගැටීමක් තරහාවක් ඇති වූ විට ඇත්ත නැත්ත තේරුම් ගන්න බැහැ. බුබුළු දමා, බුබුළු දමා පෑහෙන ජලයෙන් මුහුණ බලන්න බැහැ. නමුත් පිරිසුදු භාජනයක ඇති ජලයෙන් ලෙහෙසියෙන් මුහුණ පෙනෙනවා. එනිසා අසවලා මට මෙහෙම කළා, මෙහෙම කළා සිතමින් අතීතය මුල්කරගෙන, නැත්නම් වර්තමානය මුල්කරගෙන, නැත්නම් ඉදිරියේදීත් මට මෙහෙම කරයි සිතමින් අනාගතය මුල්කරගෙන තරහ ඉපදෙන ආකාරයට කේන්ති ගන්නවා. එවිට තමාගේ ඇති ගැටලුව තමාට ම තේරෙන්නේ නැහැ.

ඒනිසා මේ ලෝක ස්වභාවය කියා තේරුම් ගෙන සංසිඳුනාට පසුව ටික ටික මෛත්‍රී භාවනාව වගේ දෙයක් පුරුදු කරන්න පුළුවන්නම් ඒක යහපත් වෙනවා.

එසේ නො මැතිනම් මා මෙන්ම “සියලු සත්ත්වයෝ සුවපත් වේවා” කියා නිතර නිතර හිතනවා. අතුගාන විටත්, රෙදිපිළි සෝදන විටත්, උයන පිහන විටත් සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියමින් ඒ වැඩේ කරනවා. එලෙස එකම සිතිවිල්ලක් නිතර නිතර කළොත් ද්වේෂය ඇති කරන්න මුල් වූ කරුණ අපට අමතක වී අයහපත සිතෙන වෙලාට යහපතක් සිතුවොත් ඒක යහපතක් වෙනවා. සිතිවිලි දෙකක් එකවර සිතක වැඩ කරන්නේ නැහැ. එනිසා නිතර ම සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියා සිතන්න පුළුවන්නම් එය හොඳ ආරම්භයක් වේවි.

මුලින් අමාරු වුවත් ටික ටික කරනවිට එයට සිතේ ආස්වාදයක් ඇතිවෙනවා. එවිට නරක සිතිවිලි හිතන්න වෙලාවක් නැහැ. මේ දේ හරියට ම කළොත් බොහෝ ප්‍රශ්න අපෙන් ටික ටික ඈතට යනවා.

204 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 13:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න