තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 05, සඳුදා 13:38

සකසුරුවම අනාගතයට දායාදයකි

Written by 
අගයන්න
(0 මනාප)
ලෝක සකසුරුවම් දිනය යෙදී තිබුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය. මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කර තිබුණ ද වෙනත් ජාත්‍යන්තර දින සමරන ආකාරයේ ගැම්මක්... කතාබහක් අපේ රටේ දක්නට තිබුණේ නැත.

 

සමහර විට රටේ තිබුණු දේශපාලන වාතාවරණය නිසාවෙන් යටපත් වූවා වන්නට ද පුළුවන.

කෙසේ වුවත් මෙරට සමරන අනෙකුත් තේමා දින තරමටම “සකසුරුවම් දිනය” ද වැදගත්කමක් උසුලන බව නොකියාම බැරිය. මක්නිසා ද පවුලක, රටක ජාතික ප්‍රශ්න බවට පත්වන්නේ ජනතාව සකසුරුවම පිළිබඳ නොසලකා හැර සිටීම නිසාවෙනි. එනම් ඉතිරි කිරීමේ පුරුද්ද අප අතරින් ගිලිහී යමින් ඇති නිසායි.

ඉතිරි කිරීම ගැන කතාකරන විට අපට බුදුන් වහන්සේ දෙසූ දහම අමතක කරන්නට බැරිය.

ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ අසූ කෙළක් දහම් කරුණු කාරණා අතර ජීවත් වීමේ කලාවේදී යහගුණ සපිරි පවුලක් වෙනුවෙන් උපයන ධනයට ආර්ථික සැලැස්ම හරි අපූරුවට පහදා දුන්හ.

තමා උපයන ධනය පරිහරණය කළයුතු ආකාරය කොටස් හතරකට බෙදා විග්‍රහ කළහ.

 

*උපයන ධනයෙන් කොටසක් පරිභෝජනයට ගැනීම

*තවත් කොටස් දෙකක් ආයෝජනය කිරීම

* ඉතිරි කොටස ආපදාවක් වූ විට පරිහරණයට ගැනීම

 

බුදුන් දෙසූ ඒ ආර්ථික පාඩම ශතවර්ෂ, සියවස් දස දහස් ගණනක් ඉක්මවා වුවද වත්මන් සමාජයට පමණක් නොව ලොව පවතින තුරුම සත්‍යයක් නොවේද? සකසුරුවම නැතිනම් අරපිරිමැස්ම නොමැති පවුලක් සදා ණය බරින් මිරිකී පීඩාවිඳින හැටි අපි ඕනෑතරම් දැක ඇත.

ණය බරින් මිරිකෙන පවුල.... ණය මතම වැජඹෙන ආයතන මෙලෙස දිගින් දිගටම සැලැස්මක් නොමැතිව ණය වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටම ණයබරින් මිරිකී අපි ජාතියක් ලෙස බලවත් රටවල් හමුවේ නැතිබැරිකම් කියාපාමින් පිහිට පතන්නට තරම් නිහීන ජාතියක් බවට පත්වීමයි. අපගේ අභිමානය අපම කෙලෙසා ගැනීමය. අප එතරම් වටිනාකමක් නොදෙන, එහෙත් වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු ඉතිරි කිරීමේ පුරුද්ද අපේ ජීවිතයේ පුරුද්දක් කරගන්නට අපි හැමෝම උත්සුක වුවහොත් ඔබ මම අපි රටට කරන විශාල උපකාරයක් වේවි.

“සකසුරුවම්කමේ” පළමු පාඩම නැතහොත් මුලකුර අප උගතයුත්තේ අපේ නිවෙසින්ය.

තවදුරටත් කිවහොත් මුළුතැන්ගෙය තුළිනි. ඔබට මතකද ඔබේ අත්තම්මා නැතහොත් අම්මා බත් පිසින්නට සූදානම්ව මනින හාල්වලින් මිටක් තවත් මුට්ටියකට දමා පැත්තකින් තැබීමේ පුරුද්ද.

මේ සකසුරුවම්කම අපට ඉගැන්වූ මුල්ම පාඩමය. අද මෙන් එදා සමාජයේ අඩියක් අඩියක් ගානේ සිල්ලර බඩු කඩ “මාර්කට්” හෝ “සුපර් මාර්කට්” තිබුණේ නැත.

හිදිසියේ හෝ නිවෙසේ හාල් මුට්ටිය අවසන් වී තිබුණහොත් ගන්නට තිබුණේ එදිනෙදා පුරුද්දක් ලෙස පැත්තකින් තැබූ හාල් මිටය.

ඉතිරි කිරීමේ පුරුද්ද ගැන කතා කරන විට අප හදවත් තුළ තදින්ම කා වැදුණු වෙළෙඳ දැන්වීමක් ඔබටත් මේ මොහොතේ සිහිපත් වේවි. අද ජනපි‍්‍රය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුජානි මේනකා පුංචි සන්ධියේ “සතෙන් සතේ , රුපියලෙන් රුපියල ඉතිරි කරල ඉතිරි කරල” ඉතිරි කිරීමේ පුරුද්ද ලොකු පොඩි කාටත් හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කරන්නට සමත් විය.

සමහරු “අරපිරිමැස්ම” නැතහොත් “සකසුරුවම්කම” ගැන හිතන්නේ ලෝබකමක් ලෙසය.

නමුත් එය සාවද්‍ය අර්ථකථනයකි. නිවෙසේ මව සකසුරුවමට පුරුද්දක් නොමැති නම් ඒ පවුලට උදාවනුයේ අතිශය ඛේදනීය තත්ත්වයකි.

සමහර නිවෙස්වල අමුමිරිස් ග්‍රෑම් 250, කරපිංචා මිටිය රැගෙන එන්නට ත්‍රීවිලරයෙන් යන අම්මාවරු ද ඇත. තවත් සමහර නිවෙස්වල ඉඳුල් අහවර කරන භාජනයේ ඉවතලන බත් හොදි, මාළු පිනි කොපමණ ද? එවැනි නිවෙස්වල අරපිරිමැස්ම ගැන ඔබට අමුතුවෙන් කිව යුතු ද ?

සමහර අම්මාවරු, කාන්තාවන් සාප්පු සවාරියේ දී යම් යම් දේ මිලදී ගැනීමේ දී හැසිරෙන විදිය ගැන කල්පනා කර බැලුවොත් සැබැවින්ම ඔවුන් මිලදී ගන්නේ අත්‍යවශ්‍ය දේද? යන්න ගැටලු සහගතය.

අලුත් අවුරුදු සමයේ වගේම සිංහල අලුත් අවුරුද්දටත් ඇඳුම් පැලඳුම් මිලදී ගන්නා විට ඒ බව මැනැවින් දක්නට ලැබේ.

“ලාභ කළ”, “සේල්” පුවරු අසල පොරකමින් බදාගනිමින් මිලදී ගන්නා බොහෝ සළුපිළි නිවෙසට ගොස් බලන විට “ඇඟට” වගේම හිතට ගැළපෙන්නේ ද නැත.

සුපර් මාර්කට් යන කාන්තාව ද එසේමය. දරුවන්ගේ කීමට දකින දකින දේ මල්ලට දමා ගනී. නිවෙසට පැමිණ බලන විට අත්‍යවශ්‍ය දේ මඟ හැරී ඇත.

පොකට්ටුව හිස් වුවද නිවෙසේ මදි අඩුපාඩුකම් බොහෝමයි.

දැන් ඔබට දැනෙනවාද ? පවුලේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වය අපගේ පුරුදු මූලිකවම බලපෑම් කරන බව. තමන් දිවාරෑ නොබලා කොයිතරම් වෙහෙස මහන්සි වී කැප වී මුදල් හරිහම්බ කළත් එය සැලැස්මක් නොමැතිව, පාලනයකින් තොරව වියහියදම් කළොත් සදාකාලිකවම සිද්ධවන්නේ දරිද්‍රතාවයෙන්, ණයබරින් පීඩා විඳිමින් කල්ගෙවන්නට ය. ආර්ථික ප්‍රශ්න කරදර නිවෙසට ඇතුළු වන විට සතුට ආදරය, සැනසිල්ල පෑල දොරින් පිටට යයි.

එසේ සතුට සැනසිල්ල ආදරය අපට හැමදාමත් උරුම කර ගන්නට නම් හම්බ කරන මුදල් පාලනයකින් තොරව වියදම් කිරීමේ ක්‍රමයට තිත තැබිය යුතුමය.

මෙය පවුලේ සියලු දෙනාම කළයුතුය. අම්මා පමණක් අරපිරිමැස්මෙන් කටයුතු කළත් දරුවොත් තාත්තාත් නාස්ති කරන්නේ නම් එතැන ඉතුරුවක් නැත.

මවගේ, බිරියගේ “අරපිරිමැස්ම” දෙස බලමින් ස්වාමිපුරුෂයා, දරුවන් ඒ මඟ යමින් ඉතිරි කිරීම කෙසේ වෙතත් නාස්තිය අවම කිරීමට කටයුතු කිරීම පවුලේ දියුණුවට ප්‍රධාන සාධකයක් වේවි. ආදායමට සරිලන ලෙස ජීවත්වීම වර්තමාන සමාජයේ තරමක අසීරු වුවත් සැලසුමක් ඇතිව මූල්‍ය පාලනය කළ විට ඉතිරියක් නොවුණත් ණයක් නොවී ජීවත් වීමට ඉඩපාඩුව සලසා ගන්නට හැකිනම් එයද සහනයකි.

බොහෝ පවුල් ජීවිත දික්කසාදයෙන් කෙළවර වන්නටත්, පවුල් ජීවිත අස්ථාවර වන්නටත් මුදල් කළමනාකාරීත්වයෙහි පවතින දුර්වලතා ප්‍රධාන සාධකයක් වී ඇත.

එබැවින් ලැබෙන මුදලට ජීවත් වීමේ කලාව උගෙන ගැනීමටත් ලද දෙයින් සතුටු වීමටත් පුළුවන් නම් ඔබට සතුටින් ජීවිතය ගතකරන්නට හැකිවේවි.

එසේ නොමැතිව සැලසුමකින් තොරව මූල්‍ය ගනුදෙනු සිද්ධ වේනම් සදාකාලයටම ඔබ ණයකාරයකු වීම වැළැක්විය නොහැකිය. වැඩිහිටි ඔබ ආදර්ශයට ගන්නා, බාල දරුවෝද එවිට නොමඟ යැවෙනු මිස දරුවන්ට ද යහපතක් නැත.

පවුලේ සතුªට වෙනුවෙන් ධනය උපයන ඔබ උපයන මුදල අරපරිස්සමින් පරිහරණය කරමින් කතාවෙන් නොව ක්‍රියාවෙන්ම සකසුරුවම පුරුදු පුහුණු කොට සාර්ථක පුද්ගයකු වන්නට හැකිනම් ඔබ සැබෑම ගෘහමූලිකයෙකි.

210 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 13:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න