තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 05, සඳුදා 15:08

දුක, සතුට මැද ගෙවෙන සුන්දරයි මේ ජීවිතේ.....

ලිව්වේ  සුපුන් ජයසිංහ
අගයන්න
(0 මනාප)
කවදාවත්ම ඇස්වලින් නොහඬපු කෙනෙක් නෑ. මුවඟේ සිනාවක් නොරැඳී තිබුණ කෙනෙකුත් නෑ. ජීවිතේ එහෙමයි. දුක, සතුට, කඳුළ, සුසුම මේ හැමදේම තමයි ජීවිතේ. ගඟක් වුණත් නිශ්චලව තියෙද්දි ලස්සන නෑ නේද? බාධක, රළු පරළු මතින් ගලද්දි තමයි ගඟක වුණත් ලස්සන අපි දකින්නේ.

 

කවුරුත් ආදරය කරන දියඇලි හැදෙන්නෙත් ඒ වගේමයි. ගඟ පහළට නොවැටුණා නම් ලස්සන දිය ඇලි හැදෙන්නේ නැතිවේවි.

බාධක අසල නොහඬා ඉදිරියට නොගියේ නම්, ගඟකට කවදාවත් මහසයුර මුණ ගැසේවිද? ඉතින් සුන්දර යුවතියනි, ජීවිතයේ හමුවන ප්‍රශ්න අසල නවතින්නේ කුමට ද? විඳින්න මේ ඔබේ ජීවිතයයි.

ජීවිතයේ එක දොරක් අවහිරවන්නේ, ඔබට තව මාවතක් විවරකිරීමටයි.

ජීවිතයට බාධක පැමිණියේ නැතිනම්, ඔබ කොහොමද? ජීවිතය හඳුනාගන්නේ. බාධාවක් පැමිණ ඔබගේ ගමන් මඟ අඩාලකරනවිට ඔබ තව ක්‍රමයක් අත්හදා බලන්නට උත්සාහ කරනවා.

සොයාගත් නව ක්‍රමය ඔබේ දියුණුවේ, සාර්ථකත්වයේ මාවත වන්නට පුළුවන. ඔබට පැමිණි බාධාවෙන්, රිදුණ හදවත යළි සුවපත් වේවි. මඳක් ඉවසීමෙන් බලා සිටින්න.

සිත්රිදීම්, වැටීම් තාවකාලිකයි

ජීවිතය කියන්නේ, සතුට පමණකැයි ඔබ සිතුවොත්, සතුටට ඔබ අසලටවත් එන්නට බැරිවේවි.

ඔබ අසලට පැමිණෙන සතුට හඳුනාගන්නට බැරිවේවි. ජීවිතය තරාදියක් වගේ. සතුට, දුක සමබරව තියෙන්න ඕනේ. ඉන් එක පැත්තක් හරි බර වැඩිවුණොත් ඔබේ ජීවිත ගමනට බාධා එල්ලවෙනවා.

පුංචි සන්ධියේ ද ීඔබ වැටි වැටී නැඟිටපු හැටි මතක ද? ඔබ වැටුණ මොහොතේ නැවත උත්සාහ කළේ නැතිනම් ඔබ අද ඇවිදින්නේ නෑ නේද? ඉතින් වැටෙන්නට, හඬන්නට බියවන්න එපා. ජීවිතය දිනන්නට අවශය ශක්තිය ඔබට ලැබේවි.

කඳුළ හැමදෙයටම උත්තරයක් නෙමේ

සතුටටත්, දුකටත් කඳුළ එකවගේම වැදගත්. ඒත් නිතරම කඳුළ ඉදිරියට එනවා නම්, එහි පුංචි ගැටලුවක් තිබෙනවා. ඔබේ සිත රිදුණ මොහොතක, ඔබ වැටුණ මොහොතක කඳුළට ඔබට සරදම් කිරීමට ඉඩ දෙන්න එපා. හඬා වැටෙමින්, චෝදනා කරමින් සිටියොත් සිතේ ශක්තිය කඳුළට දියවෙලා යනවා. ඉන් ඔබේ උත්සාහය ද නැතිවෙනවා.

ඒ නිසා කඳුළට තිත තබා අලුත් යමක් අරඹන්න. වැරදුණ තැන හදාගන්න උත්සාහ කරන්න.

ඔබේ විශ්වාසය, හීනය සැබෑකරගන්නට උත්සාහ කරන්න. කඳුළ අතරින් මතුවන හීනය දුටුවිට ඔබේ සිතේ සතුට උතුරා යාවි.

වේදනාව කියන්නෙත් ජීවිතයට ශක්තියක්. කිසිදිනක වේදනාවක් නොවිඳි කිසිවෙක් මෙලොව නෑ.

ඔබ මෙලොවට පැමිණියෙත් විශාල වේදනාවක් සමඟයි.

ඔබේ මව ඔබව බිහිකරන්නට වේදනා විඳිනවිට ඔබ මෙලොවට පැමිණීමට වේදනා වින්දා. ඉතින් වේදනාව කියන්නේ අපි උපතින්ම ගෙනෙන දායාදයක්.

ජිවිතය දිනන්නට ඇවැසි ශක්තිය කැටිවෙලා තිබෙන්නේ වේදනාව තුළයි. ඉතින් වේදනාවකට පුළුවන් ද ඔබව නවත්වන්න . බැහැ නේද? වේදනාවත් අපූරු රසයක් යැයි සිතමින් එය වින්දනය කරන්න. ඉවසීමෙන් වේදනාව දුරුවන්නට ඉඩදෙන්න. කිසිදිනක හදිසි වන්නට එපා.

ඔබේ වේදනාවට නිසි පිළියම් සොයන්න තමාගේ සමීපතම මිත්‍රයකු, මාපියන්, වැඩිහිටියන්ගේ උපකාරය පතන්න. උපදෙස් පතන්න. ඔබේ ශක්තිය අසල වේදනාව බියෙන් පලායාවි.

ඍණාත්මක ආකල්ප හැරයන්න

කෙනකු වැටුණහම අතදෙන්නට මිනිසුන් දුර්ලභ වුණත්, හිනාවෙන්නට ඕනෑතරම් මිනිසුන් සිටිනවා.

තරහ ගන්නට එපා. මිනිස් ස්වභාවය හඳුනාගන්න. මෙලොව අයහපත් හෝ යහපත් මිනිසුන් නැත.

ඇත්තේ මිනිසුන් පමණයි. හොඳ, නරක මිශ්‍රව ඇති මිනිසුන් පමණයි. වෙනසකට ඇත්තේ හොඳ, නරක අඩු වැඩියෙන් ඇති මිනිසුන් සිටීම පමණයි.

ඉතින් ඔබ ඔබට අවශ්‍ය දේ පමණක් ලබාගන්න. මිනිසුන්ගේ ගුණයන්ට, චරිතයන්ට චෝදනා කිරීමෙන් වළකින්න.

ඔබ ඔබම වන්න.

ඔබේ සිතේ ඇති ශක්තිය හඳුනාගන්න. ධනාත්මක ආකල්පය පමණක් ළඟාකරගන්න.

මෙලොව සාර්ථක වූ සෑම පුද්ගලයෙක්ම යම් දිනක අසාර්ථක වූ කෙනෙක්.

අසාර්ථක මොහොතේ නැඟී සිටියේ නැතිනම්, අද ඔවුන් ලොව ප්‍රකට පුද්ගලයන් නොවේ.

අලුත් සොයාගැනීම් ලෝකයට දායාද කළ අය, ආදරයෙන් පැරදිලා ලේඛකයන් වූ අය, පාසල් නොගිහින් දක්ෂ ව්‍යාපාරිකයන් වූ අය ලෝකයේ ඕනෑ තරම් සිටිනවා. බලන්න, ඒ ප්‍රශ්න අතර ඔබට තිබෙන ප්‍රශ්නය බොහොම සුළු වන්නට පුළුවන.

227 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 15:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න