තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

2017 නොවැම්බර් 06, සඳුදා 13:14

එදා තිබුණ ගුරු ගෞරවය අදටත් එහෙමයි... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ලියක් සොඳුරු මනාලියක් කිරීම සෑම අයකුට ම සිදු කිරීම අපහසු ය. එහෙත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන ඔහුට මනාලියක් හැඩගැන්වීම ඉතාමත් පහසු කටයුත්තක්.

 

ක්ෂේත්‍රයේ සෙමෙන් සෙමෙන් ඉදිරියට පැමිණි ඔහු තම දක්ෂතා මඟින් තම නම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථානයක රඳවා ගැනීමට සමත් විය.

තමා උගත් දේ මතු පරම්පරාවටත් ලබා දෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියකුට අමතරව ගුරුවරයකු ද වේ. මුල අමතක කරන මූසිලයන් සිටින රටක ඔහු තම ගුරුවරුන් මතක තබා ගත් අවංක සිසුවෙකි.

 

 

 

 

මේ නිසාම දශක දෙකකට ආසන්න වූ වෘත්තීය ගමන් මඟක සාර්ථකත්වය ළඟාකර ගැනීමට ඔහුට හැකි වී තිබේ.

ඔබගේ වෘත්තීය ගමන් මඟේ ආරම්භය සිදු වූ ආකාරය....

මම මේ ක්ෂේත්‍රයට වෘත්තියමය ලෙස පිවිසෙන්නේ 2000 වසරෙදි. මට රූපලාවණ්‍ය ශිල්පය ගැන මුලින් ම ආසාවක් ඇති වුණේ 1992 වසරේ දී ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවැති නාට්‍ය හා රංග කලා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවයි. මොකද එම පාඨමාලාවේ දී වේශ නිරූපණය ගැනත් අපිට ඉගැන්වුවා. එහිදී මට රූපලාවණ්‍ය විෂයය ඉගෙනීමට ආසාවක් ඇති වුණා.

ඒ නිසා මම පසුව ගාල්ලේ තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගම් ශාලාවේ අසෝකා පල්ලියගුරු ශිල්පිනිය යටතේ පැවැති රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරුවා... ඉන්පස්සේ ආසියානු ලංකා රූපලාවණ්‍ය පාසල, ටෙලිවීව් රූපලාවණ්‍ය ඇකඩමිය (එහිදී වේශ නිරූපණය, අධ්‍යක්ෂණය) ආදියෙන් වැඩිදුරටත් මේ විෂයය ඉගෙන ගත්තා.

ඉන් පස්සේ....

ඊට පසුව මම නිවෙසේ ම පොඩියට සැලෝන් එකක් කළා.. පසුව එය ක්‍රම ක්‍රමයෙන් දැන් තිබෙන තත්ත්වය වන තෙක් පියවරෙන් පියවර ගොඩනගා ගත්තා. දැන් මම රූපලාවණ්‍ය ශිල්පියෙක් වගේම රූපලාවණ්‍ය විෂයය උගන්වන ගුරුවරයෙක්.

තුසිත ඇගයීම්වලටත් ලක්වුණා නේද?

ඔව්, මම 2009 වසරේ දී ගාලු දිස්ත්‍රික්කයේ හොඳම සිත් ගත් රූපලාවණ්‍ය ශිල්පියාට හිමි සම්මානය දිනා ගත්තා. ඒ වගේම නවලිය පුවත්පතින් ලබා දුන් නැගී එන දක්ෂතම රූපලාවණ්‍ය ශිල්පියා සම්මානයත්, තරුණී පුවත්පතේ රූපලාවණ්‍ය ශිල්පී ටොප් 10 වලටත් තේරුණා.. මට දේශබන්ධු සම්මානයත් ලැබුණා.

තමා ලබා ගත් දැනුම නව පරපුර අතරේ ඔබ බෙදා දෙන්නේ කොයි ආකාරයෙන් ද?

මගේ රූපලාවණ්‍ය ආයතනයේත් සිසු සිසුවියන් පිරිසකට මම අධ්‍යාපනය ලබා දෙනවා. ඊට අමතරව ලයනල් ප්‍රේමසිරි පදනම, ගාල්ල බන්ධනාගාරය, ගාල්ල-කලේගාන සම්පත් මධ්‍යස්ථානය, තරුණ කාන්තා ක්‍රිස්ත්‍රියානි සංගමය, සේවා ලංකා පදනම වැනි ආයතනවල රූපලාවණ්‍ය උපදේශන කටයුතු නොමිලේ සිදු කරන්නේ එය සමාජ සේවාවක් ලෙස සලකාගෙනයි.

මෙවර ඔබ පවත්වන්නේ 20 වැනි මනාලියන් දැක්ම.. එය යම් සන්ධිස්ථානයක්?

ඔව්, ඇත්තට ම මනාලියන් දැක්ම 20 ක් පවත්වනවා කියන්නෙත් සුළුපටු දෙයක් නොවෙයි. ඒක කරන අය හොඳින් ම දන්නවා.. මම ත් දශක දෙකකට ආසන්න කාලයක් තුළ මනාලියන් දැක්ම 20 ක් පවත්වන්නට තරම් ශක්තිමත් හා වාසනාවන්ත වීම ගැන සතුටුයි.

මට මේ මනාලියන් දැක්ම සඳහා එදා මෙදා තුරාවට උදවු උපකාර කරන ආයතන හා පුද්ගලයන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝට ම මම ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.. මෙවරත් ගාලු නගර ශාලාවේ දී 12 වැනි ඉරු දින ‘ගාලුපුර මනාලියෝ 2017’ මනාලියන් දැක්ම පැවැත්වෙනවා.. ඒ සඳහා හැමටම විවෘත ආරාධනාවක් ද මම තරුණී වෙතින් ම කරන්න කැමැතියි.

ඔබ ආ ගමන් මඟ දෙස බැලීමේ දී මොකද හිතෙන්නේ..

මම ඉතාමත් අසීරුවෙන්, අමාරුවෙන් තමයි මේ ගමන ආවේ.. ඇත්තට ම අවස්ථා වුණත් අපට එතරම් තිබුණේ නෑ.. ඒත් දැන් මම ඉන්න තත්ත්වෙ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්. මේ තත්ත්වෙට එන්න මට මගේ මවුපියෝ, සහෝදර සහෝදරියෝ වගේම මගේ ආදරණීය බිරියත් උදවු කළා..

අලුතෙන් ක්ෂේත්‍රයට එන අයට දෙන උපදෙස..

දැන් ගොඩක් අයට මුල අමතක වෙන ගතියක් මම දකිනවා. ඒත් එහෙම යන ගමනේ දුර අඩුයි. ඒ නිසා තමාගේ ගුරුවර ගුරුවරියන්ට සලකන්න. ඒ අයවත් මතක තියාගෙන ඔවුන්ගේ සිත් සතුටු කිරීමෙන් දුර ගමනක් යන්න ආශීර්වාද ගන්න පුළුවන්. එහෙම අයට පහසුවෙන් අරමුණ කරා යන්නත් හැකිවෙනවා.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවකයන්ට පමණක් නොව ඔහුගේ මෙම උපදෙස සෑම ක්ෂේත්‍රයක ම අයට වටිනා ඔවදනක් වේවි. තුසිත ගාල්ලට පමණක් නොව ඔබේ සේවය මේ මුළු දිවයිනට ම ලබා දීමට ඔබට හැකි වේවායි තරුණී ඔබට මෙලෙසින් සුබපැතුම් ගෙන එන්නී ය.

389 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 13:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න