තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:43

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයටත් ජනාධිපති සම්මාන උළෙලක්... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ඔහු රූපලාවණ්‍ය කලාවේ සිටින ආදරණීය ගුරුවරයා ය. නොමසුරුව තම දැනුම සිසු පරපුර වෙත ලබා දෙමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට දක්ෂයන් රැසක් බිහි කළ ඔහු ගැන අටුවා ටීකා අවැසි නොවේ. ඒ, ප්‍රේම් ශ්‍රී නැතිනම් ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේෂාලංකරණ ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් බව ඔබ දන්නවා.

 

ඔහුගේ රූපලාවණ්‍ය කලාවේ වපසරිය මඳින් මඳ පුළුල් වී එය සමාජ මෙහෙවරක් බවට ද පත් වී ඇත. විවිධ වූ සමාජ සේවයන් සිදු කරන ඔහු මෙවර තම ශක්තිය යොදවන්නේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙනි.

මේ රූපලාවණ්‍ය කලාව පෙරටත් වඩා දැන් ප්‍රචලිතව පවතින කාලයකි.රූපලාවණ්‍ය ශිල්පීන් හා ශිල්පිනියන්ට වඩාත් හොඳ ස්ථානයක් ලොව පුරාම ලැබී තිබේ. අපේ රටේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ද දැන් පරිණත ය. වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස සමාජගත වන්නන් ද වසරින් වසර ඉහළ යයි. එහෙත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇගයීමට කිසිවකුත් ඉදිරිපත් නොවේ. එතැන හිඩැසක් පවතී.

අද වන විට ලංකාවේ රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස ව්‍යාපාර කරන පිරිස අති විශාල ය. ඒ පිරිස් ධෛර්යවත් කිරීමත් ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් ඇගයීමත් අරබයා රූපලාවණ්‍ය හා කේෂාලංකරණ ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය අපේ රටට අලුත් ම අත්දැකීමකි. වෙනත් ක්ෂේත්‍ර සඳහා විවිධාකාර වූ සම්මාන උත්සව, ඇගයීම් උත්සව තිබුණ ද මේ ක්ෂේත්‍රය සඳහා එවැන්නක් නොතිබිණි. ඒ අඩුපාඩුව මකාලමින් ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රූපලාවණ්‍ය හා කේෂාලංකරණ ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් කොතෙකුත් සිටිය ද මේ ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් ගුරුවරුන් සිටින්නේ අතලොස්සකි. ඒ අතර සිටින රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ආදරණීය ගුරුවරයා වන ප්‍රේමසිරි හේවාවසම් මෙහි නිර්මාපකයා වෙයි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා ඔහු ඉල්ලීම් දිනාගැනීමේ දී ද පෙරමුණේ සිටියි. ඒ අන් කිසිවක් නිසා නොව තම පරපුරේ ඉදිරිය වඩාත් දිදුලවීම සඳහා ය.

මේ මස 20 වැනි දින සවස 6.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගී වීම ද විශේෂත්වයකි.

ශී‍්‍ර ලාංකේය රූපලාවණ්‍ය හා කේෂාලංකරණ ක්ෂේත්‍රයේ වසර 25 ක් ඉක්ම වූ ශිල්පීන් හා ශිල්පිනියන් උදෙසා මෙම ජනාධිපති සම්මාන ලබා දෙන අතර මෙවර සම්මාන සඳහා නිර්දේශ වී සිටින්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ශිල්පීන් හා ශිල්පිනියන් ය. කෙටි කාලීනව සිදු කළ සම්මාන උත්සවයක් නිසා මේ සඳහා නම නිර්දේශ නොවුණ ක්ෂේත්‍රයේ වසර 25 ඉක්ම වූ ශිල්පීන් හෝ ශිල්පිනියන් සිටියි නම් ඒ පිළිබඳ තමා දැනුවත් කිරීමෙන් මීළඟ සම්මාන උත්සවවලදී ඔවුන්ව ඇගයීමට හැකි වන බව ප්‍රේමසිරි හේවාවසම් මහතා පැවසී ය.

විශාල වියදමක් දරා සිදු කරන මෙම කාර්යය සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ ප්‍රකට හා විශ්වසනීය රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම්රොන් ලංකා ආයතනය මඟිනි. ඒ සඳහා තමා ඔවුනට විශේෂයෙන් ම ස්තුතිවන්ත වන බවත් ජනාධිපතිතුමා හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට මෙම සම්මාන උත්සවය සඳහා ලබා දුන් සහයෝගය ගැන ද තමා හද පත්ලෙන් ම කෘතඥතාව පළ කරන බවත් ප්‍රේමසිරි හේවාවසම් මහතා වැඩිදුරටත් පැවසී ය.

90 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:45
මේ යටතේ එන අනෙකුත් ලිපි: « රංජනා සේතුංග
අදහස් එක් කිරීමට ලොග් වෙන්න