තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 18, සඳුදා 16:28

අපේ පවුලේ දරුවෝ 10 දෙනයි විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
අම්මාට දිරිය කාන්තා සම්මානයත් ලැබිලා තියෙනවා...     රුව ලස්සන කිරීම නැතිනම් රූපලාවණ්‍ය යැයි කියූ පමණින් අපගේ සිහියට නැගෙන්නේ කාන්තා රුවයි. ඒත් අද කාන්තා රුව ඔප් නැංවීමේ ක්ෂේත්‍රයේ ඉහළින් ම සිටින්නේ පුරුෂ පක්ෂය යැයි කීවාට වරදක් නැති තරම්.. රුව ලස්සන කිරීමේ කලාව උපතින් ම ගෙනා ඔහු මේ වන විට ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් පැමිණ මේ වන විට සම්මානනීය තත්ත්වයකට ද උරුමකම් කියන්නේය.

 

සමන්ත ගුණසේකර යැයි කී පමණින් ඔහු කවුදැයි ඔබ හඳුනනවාට සැක නැහැ. සමන්ත වසර 25කට අධික කාලයක් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ශිල්පියෙකි.

‘මම පාසල් යන කාලෙ ඉඳලා කලාවට ළැදියි. මම ඒ කාලේ මුදියන්සේ දිසානායක සර් යටතේ නැටුම් කලාව හැදෑරුවා.. මම ගියේ කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලයටයි. මේ කාලෙදී ම තමයි රත්නා ලාලනී ගුරුතුමිය පළමු පත්වීම අරන් අපේ පාසලට ආවේ.. ඇය අපේ සංගීත ගුරුවරිය විදියට පාසලේ පෙරදිග තූර්යවාදක කණ්ඩායම තෝරනකොට මමත් එහි හිටියා. මම නැටුම් කළාට බෙර ගහන්න ඒ කණ්ඩායමේ හිටියා. ඇය මට පැත්තකට වෙන්න කිව්වා.

ඉතිං මගේ හිතට දුක හිතුණා.. මම පන්තියට ගිහින් දුකින් ඉන්නකොට ළමයෙක් අතේ ටීචර් මට එන්න කියලා තිබුණා. ‘ ඔයා හරි ළමයෙක් නේ.. පැත්තකට වෙන්න කියපු ගමන් පන්තියට ගියේ.. මම ඔය ළමයට පන්තියට යන්න කිව්වෙ නෑනේ.. මම ඔය ළමයට පැත්තකට වෙන්න කිව්වේ බෑන්ඩ් ලීඩර් කරන්න ඕන නිසා...’ ඒ වෙලාවෙ මට හරි සතුටු හිතුණා.. මේ සිද්ධියෙන් පස්සේ ටීචත් එක්ක අපි ගොඩක් සමීප වුණා. පාසලේ තිබුණු කලා කටයුතුවලට අපි නිතරම සහභාගී වුණා..’

ඔහු පාසල් අවධියේ සොඳුරු මතක අවදි කරයි. එයට බාධා කරන්නට නොසිතුණ බැවින් මම ද ඒ රසවත් පාසල් අවධිය ගැන අසා සිටියෙමි.

‘මේ කාලේ පාසලේ කලා උත්සවයක් තිබුණා.. ඒකෙ ‘කැඩපත’ කියලා නාට්‍යක් අපි රඟදැක්වුවා. මේ නාට්‍යයේ මේකප් කරන්න වසන්ත විට්ටච්චි මහත්තයාවත් ටීචර්ගේ ඇඳුනුම්කම උඩ ඇවිත් හිටියා. අපිව මේකප් කළේ වසන්ත විට්ටච්චි මහත්තයත් එක්ක අපේ ටීචර්.

එදා ඒ මේකප් එක නිසා අපේ ඇති වුණු වෙනස්කම දැකපු මට ස්ටේජ් මේකප් ගැන ආසාවක් ඇති වුණා. මේ කාලෙදිම තමයි රූපවාහිනියේ ‘ඔෂින්’ ටෙලි නාට්‍යය පෙන්නුවෙත්. මම ඒකත් මුල ඉඳලම බලපු නිසා ඔෂින් දියුණු වුණෙත් කොණ්ඩා සැකසීමේ කලාව ප්‍රගුණ කරලා සැලෝන් එකක වැඩ කරලා නිසා මටත් ඒ ගැන ආසාවකුත් ඇති වුණා. මේ ආසාව නිසාම මම අක්කලාගේ ආච්චිගේ කොණ්ඩවලින් කොණ්ඩ මෝස්තර දාන්න පටන් ගත්තා.. මම ඒවා කළේ හරි ආසාවකින්. කාන්තා පත්තරවල පළවෙන කොණ්ඩ මෝස්තරත් මම හැදෑරුවා..

ඒ කාලේ ගාමිණී පණ්ඩිතරත්න කියන රූපලාවණ්‍ය ශිල්පියාව අඳුරගන්න ලැබුණා. ඔහු හරි හොඳ පුද්ගලයෙක්. මම ගාමිණී අයියගේ බොරැල්ලේ තිබුණු සැලෝන් එකට නිතර නිතර ආවා ගියා.. මට සාමාන්‍ය පෙළින් පස්සේ ඉක්මනින් ම රස්සාවක් කිරීමේ වුවමනාව තමයි තිබුණේ.. ඉතිං දවසක් මම ගාමිණී අයියගේ සැලෝන් එකේ ඩමියකට කොණ්ඩ මෝස්තරයක් දැම්මා.. ඒක දැකපු ගාමිණී අයියා මට එයා ළඟ වැඩ කරන්න එන්න කිව්වා.. මම ගාමිණී අයිය ළඟ ඇසිස්ටන් විදියට අවුරුදු පහක විතර කාලයක් වැඩ කළා. පස්සේ මම වෙනම සැලෝන් එකක් පටන් ගත්තා.. ඒකටත් ගාමිණී අයියා ආශීර්වාද කළා..

කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති රූපලාවණ්‍ය තරගාවලියකින් මට 10 වැනි තැන ලැබුණා.. 2000 හෙයා ඒෂියා, හෙයා වර්ල්ඩ් වගේම 2001 ලංකාවේ පැවැති හෙයා වර්ල්ඩ් තරගයටත් ඉතාලියේ පැවැති හෙයා වර්ල්ඩ් තරගවලට මම ඉදිරිපත් වෙලා ටොප් ටෙන් අතරට ඇවිත් තියෙනවා..

ඔබේ පවුලේ විස්තර...

මගේ පවුලේ මට සහෝදර සහෝදරියන් නවයක් ඉන්නවා. ඒ කියන්නේ අපේ අම්මටයි තාත්තටයි දරුවො දහදෙනයි. පිරිමි ළමයි පහයි. ගෑනු ළමයි තුනයි. මගේ එක අයියා කෙනෙක් හමුදා සේවයේ ඉඳලා මුලතිවුවලදී යුද්දෙන් නැති වුණා.. තවත් සහෝදරයෙක් මහණ වුණා.. මගේ තවත් සහෝදරියක් රූපවාහිනී සංස්ථාවේ වැඩ කරනවා.. මේ විදියට නොයෙක් තැන්වල ඉන්න සහෝදර පිරිසක් මට ඉන්නවා.. මේ නිසාම අපේ අම්මට දිරිය කාන්තා සම්මානයක් හිමි වුණා.

පුතෙක් මේ ක්ෂේත්‍රයට එනවට ගෙදරින් තිබුණේ මොනවගේ ආශීර්වාදයක් ද?

මම හැදුණේ ආච්චි ඒ කියන්නේ අම්මගේ අම්මා ළඟ. ආච්චිත් මගේ පුංචිලා මාමලා එහෙම මම රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙනවට අකමැති වුණේ නෑ. මොකද එයාලා ගාමිණී අයියා ගැන දැනගෙන හිටියේ. ඒ වෙනකොට එයා රටේ ජනපි‍්‍රය චරිතයක් නේ.. මමත් ඒ තත්ත්වෙට එයි කියලා එයාලා ඒකට ආශීර්වාද කළා. ඒත් මගේ අම්මා නම් ඒ තරම් කැමැති වුණේ නෑ. මම මුදියන්සේ සර්ගේ බැලේ එකේ සර්ත් එක්කම නැටුවා. සර්ගේ ළඟම චරිතය තමයි මට ලැබුණේ.. ලේසියට එහෙම චාන්ස් එකක් කෙනකුට ලැබෙන්නේ නෑනේ.. ඉතිං මේ දක්ෂතා නිසා අම්මයි තාත්තයි හිතුවෙ මම මුදියන්සේ සර්ගේ අඩිපාරේ ගිහින් නැටුම් ගුරුවරයෙක් වෙයි කියලා...

ඔබට නළු නිළියන් හැඩ ගැන්වීමේ අවස්ථාත් උදා වුණා නේද?

ඔව්, වැඩියෙන් ම පත්තරවල කවර සඳහා වන නිරූපණයන්ට මම ගොඩක් ජනපි‍්‍රය තරු හැඩගැන්වුවා.. මේ අතරින් අපේ නිළි රැජිණ විශේෂයි. මාලනී අක්කට 2002-2003 වසරවල දී හැඩගැන්වීම් කළේ මම. දැනටත් විශේෂ අවස්ථා සඳහා මම ඇයව හැඩගන්වනවා. සරසවි සම්මාන උළෙල වැනි සම්මාන උත්සව සඳහා යාමේ දීත් බොහෝ නළු නිළියන් හැඩගැන්වීමට මට සිද්ධවෙනවා. ඒ අයට ඇඳුම් නිර්මාණ කටයුතුත් මම සිදු කරනවා. පස්සෙ මම විදේශගත වුණා. 2006 දී තමයි නැවත ලංකාවට ආවේ.

ඒ වගේම මට තවත් සතුටු වෙන්න පුළුවන් කාරණයක් තමයි මගේ ගෝලයෝ. මගෙන් රූපලාවණ්‍ය කලාව ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් අද ක්ෂේත්‍රයේ නමක් දිනා ගත්ත ශිල්පීන්. ඒක ඇත්තට ම මට ලොකු සතුටක්. ඒ අය අතරේ සුරංග දිනේෂ්, අංජන පෙරේරා, දිල්රුක් පෙරේරා, ජොනී ගුණසේකර, උපුල් හේමන්ත, මධුමලී වැනි ශිල්පීන් පෙරමුණේ ඉන්නවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් බොහෝ පිරිසක් හඳුන්වා දෙන්න මට පුළුවන් වුණා. ඒ අතරින් කෙනෙක් තමයි පසුගිය දා අප අතරින් සමුගත්ත දසුන් නිෂාන්.

මේ ලැබුණ ජනාධිපති සම්මානය ගැන මොකද හිතෙන්නේ...

මේ ජනාධිපති සම්මානය මට ගොඩක් වටිනවා. මම දැකපු දෙයක් තමයි අපේ ක්ෂේත්‍රයේ අය රටට, පවුලට බරක් නැතුව මේ රස්සාව කරන්නේ.

සමාජයේ හැමෝට ම රූපලාවණ්‍ය හා කොණ්ඩ සැකසුම් ශිල්පීන් ප්‍රයෝජනවත් වුණත් අපි ගැන ඇගයීමක් කරන්න කාටවත් වුවමනාවක් තිබුණේ නෑ. මේ නිසා කොහොමටත් සම්මානයක් ගැන බලාපොරොත්තු තිබුණේ නෑ. වේෂ නිරූපණ ශිල්පීන්ට සම්මාන උත්සවවල දී සම්මාන ලැබුණත් අපිට එහෙම දෙයක් තිබුණේ නෑ.

මේ සම්මාන උත්සවේ වෙලාවේ මට ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් වන ජැනට් බාලසූරිය, කීර්ති ශ්‍රී වගේ අය මතක් වුණා. මීට කලින් මේ වගේ දෙයක් ආරම්භ කළා නම් එයාලටත් සම්මාන ගන්න තිබුණා නේද කියල හිතුණා.

ඒත් අදටත් ප්‍රේමසිරි හේවාවසම් නොහිටින්න අපිට ජනාධිපති සම්මාන උත්සවයක් ලැබෙන්නේ නෑ. මේ කරපු දේට ප්‍රේම්ටත් ඩ්‍රීම්රොන් ආයතනයටත් හදවතින් ම කෘතවේදී වෙනවා. සම්මාන උත්සවය කරනකොට ප්‍රේම්ට ගොඩක් කරදර විඳින්න සිදු වුණා.. අඩුපාඩු හොයන අයත් නැතුවාම නෙමෙයිනේ.. ඇත්තට ම මේක ප්‍රේම් අයියම කළා මිසක් වෙන කෙනෙක් නම් කරන්නේ නෑ.

මේ සියල්ල කරදර මැද්දේ වුණත් අපි ගැන හිතලා හොඳින් කැපවීමෙන් කළාට අපි හදවතින් ම ප්‍රේම්ට සම්මානයක් දීලා ඉවරයි. ජනාධිපති සම්මාන උළෙලේ කමිටුවටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම නැවතත් අපව අගයන තරුණී පත්තරටයත් ස්තුතියි...

 

ජනපති සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි

සමන්ත ගුණසේකර

3400 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 18, සඳුදා 16:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න