තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 24, අඟහරුවාදා 15:36

පළමු මනාලිය ඇන්දුවේ 10 පන්තියේ දී... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
ජනපි‍්‍රය සම්මානනීය රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ප්‍රනාන්දු     ජීවන වෘත්තීන් කොතෙකුත් සමාජයේ වේ. එක් එක් පුද්ගලයා ජීවන වෘත්තිය තෝරා ගන්නේ විවිධ අරමුණු ඇතිවයි. ජීවත් වීම උදෙසා සිදු කරන ජීවන වෘත්තිය සඳහා විවිධ වෘත්තීන් තෝරා ගැනෙන්නේ පුද්ගලයන්ගේ කැමැත්ත මතම පමණක් නොවේ.

 

ඒ සඳහා දක්ෂතාව, වෘත්තීය පිළිබඳ දැනුම, පළපුරුද්ද ආදිය පදනම් වුවද ඇතැම් විට ඒ සියල්ල පරයා දෛවය ද බලපෑම් කරයි.

ඒ කෙසේ වුවද යම් වෘත්තියක ජනපි‍්‍රයත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. රූපලාවණ්‍ය ශිල්පය අද බෙහෙවින් ජනපි‍්‍රය වෘත්තියක් වී ඇතත් එහි තම දක්ෂතාව මත ජනපි‍්‍රයත්වය දිනාගත් ශිල්පීන් සිටින්නේ සීමිත සංඛ්‍යාවකි. සමන්ත ප්‍රනාන්දු ද එවැන්නෙකි. අපි ඔහුගේ දුක සැප සොයා ගිය ගමනයි: මේ..

සමන්ත ප්‍රනාන්දු කියන්නේ ජනපි‍්‍රය රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඒත් අපි කැමැතියි සමන්ත කොහොමද මේ ක්ෂේත්‍රයට ආවෙ කියලා දැන ගන්න...

මම හිතන්නේ කලාව කියන දේ මගේ ඇඟේම තිබුණු දෙයක්. මොකද මම පාසලේ වඩාත් දක්ෂතා දැක්වුවේ සහ වැඩි කැමැත්තක් තිබුණේ නර්තනයටයි. මම කැමැත්තෙන් හිටියේ නැටුම් ගුරුවරයෙක් වෙන්නයි. ඒත් අන්තිමේ මම යොමු වුණේ වෙනත් ක්ෂේත්‍රයකට. මට අක්කලා හිටි නිසා ගෙදරට තරුණි පත්තරේ ගත්තා. ඉතිං පත්තරේ තිබුණු රූපලාවණ්‍ය ලිපි, මනාලියන් හැඩගැන්වීම ගැන ලිපි මං හරි ආසාවෙන් බැලුවා. තිලෝත්තමා යාපා, ඩෝරා අත්තනායක, හෙලන් රූබි හුලංගමුව, මොරීන් අබේරත්න, ස්ටෙෆ්නි රඹුක්වැල්ල වගේ රූපලාවණ්‍ය ශිල්පිනියන්ගේ ලිපි පළවුණා මට මතකයි.

ඉතිං මේ වගේ එකතු කරගත්ත දැනුමක් සහ මගේ සහජ දක්ෂතාව මත මට මතක විදියට මම දහය වසරේ ඉන්න කාලේ මුල්ම මනාලිය හැඩගැන්වුවා. ඒ තමයි මගේ මේ ගමනේ ආරම්භය.

ඉන්පස්සෙත් මම පාටිවලට, වෙඩින්වලට යන අයව ඇන්දුවා. මේ අතරේ ගමේ සැලකිය යුතු උසස් පවුලක විවාහ උත්සවයේ මනාලිය හැඩගැන්වීමට මට ලැබුණා.

මේකෙන් පස්සේ මං ගැන තරමක් අය දැනගත්තා වගේම මගේ ඉදිරි ගමනට පදනම සැකසුණා.

ලලිතා සුමනසේකර කියන මැහුම් ශිල්පිනිය මට ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ අඳුන්වලා දුන්නා. මම හැරිස් අයියගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. මගේ අඩුපාඩු ගැනත් ඔහු මට කියලා දුන්නා. ඉස්සර මම මල් කලඹ සැකසීමත් කළා.

93 වසරේ දී විතර ආසියානු හෝටල් පාසලෙන් මම රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා.. කොහොම වෙතත් මට කුඩා කාලේ ඉඳලම යමක් දුටුවම එය කිරීමේ හැකියාවක් ලැබිලා තිබුණා. ඉතිං ඒක මගේ මේ ගමනටත් වැදගත් වුණා. මම දැනටත් අන්තර්ජාලයෙන් දැනුම අරගෙන ඒ ආශ්‍රයෙන් මගේම වූ නිර්මාණ කරනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය නිතරම දැනුම අලුත් කරගත යුතුයි.

පසුගිය දා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

ඇත්තට ම එතනට යනකම් මම දැනන් හිටියේ නෑ සම්මානයක් තියෙන බව. අපි මේ ක්ෂේත්‍රයේ කාලයක් හිටියා.

ඒත් කිසිම ඇගයීමක් කොහෙන්වත් ලැබුණේ නෑ. ඉතිං මේ සම්මානය ගොඩක් වටිනවා. මම ප්‍රේමසිරි අයියගෙන් ඇහුවා මේක ලබන්න මම සුදුසුද කියලත්.

මට මේක ඒ තරම් වටිනවා. ඇත්තට ම මේ සම්මාන උත්සවය සංවිධානය කළ හැමටත් විශේෂයෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්ටත් මම මේ පිළිබඳ ස්තුතිවන්ත විය යුතුයි. මගේ ෆේස් බුක් එකවුන්ට් එකේ වැඩිම ප්‍රතිචාර ලැබිලා තිබුණෙත් සම්මානය ගන්න පින්තූරයටයි.

මේ වටපිටාව නගරයක වුණත් හරිම නිස්කලංකයි. සමන්ත ගොඩක් ආගමට ළැදියි වගේ..

ඔව්. මම උපතින් කතෝලිකයෙක්. ඒත් මම බෞද්ධාගමට ළැදියි. භාවනා කරනවා. පෝයට සිල් ගන්නවා. මම ධර්මයේ මාර්ගයේ තමයි දැන් ගමන් කරන්නේ. මනස සැහැල්ලු කරන්නයි, ජීවිතේ සත්‍ය අවබෝධ කරගන්නයි මම ධර්මයට යොමු වුණා. මේ නිසා කතාවක් පැතිරුණා මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා කියලා.

ඒත් එහෙම වුණේ නෑ. ඒත් මම සල්ලි පස්සේ හඹා යන්නේ නෑ. මේක මගේ වෘත්තිය. පින් දහම් කරන්නත් සල්ලි ඕන කරනවනේ. ඇත්තට ම ධර්මයට නැඹුරු වුණාම පුදුම සැනසිල්ලක් දැනෙනවා. ඒ නිසා මගේ බාහිර පෙනුම වුණත් ඉස්සරට වඩා වෙනස් කියලා මගේ යාළුවො පවා කියනවා.

ඔබ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්. දැන් ඔබේ වැඩ කටයුතු කොහොමද?

මම එක දවසට වැඩ ගොඩක් බාරගෙන ඉවක් බවක් නැතිව වැඩ කරන්නේ නෑ. එහෙම වැඩ කරපු කාලයකුත් තිබුණා.

ඒත් දැන් මම එක දවසට එක වැඩක් වගේ තමයි බාරගන්නේ.. වැඩ දෙකක් බාරගන්නෙත් නොකරම බැරි, ආයෙත් හරවලා අරින්න බැරි අවස්ථාවල දී විතරයි. අනිත් එක මම මනමාලියක් සැබෑ ස්වරූපය වෙනස් කරලා අන්දන්න කැමැති නෑ. මම කැමැති මගේ දුව අද අඳුනන්නත් බෑ කියනවට නෙමෙයි, මගේ දුව අද හරි ලස්සනයි කියලා මවුපියන් කියනකොටයි. මම සාර්ථකයි කියලා මට හිතෙන්නේ එතකොටයි. තාමත් මම අන්දන මනාලියන්ට බොකේ එක මගේ අතින් ම හදනවා.

පවුලේ විස්තරත් කියමු නේද?

මගේ පවුලේ ඉන්නේ අක්කලා තුන්දෙනයි, එක අයියා කෙනකුයි විතරයි. ඒ කවුරුවත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ. ඒත් එයාලගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා.

අලුත් පරපුරට දෙන්න පණිවුඩයක් තියෙනවද?

මේක ජොබ් එකක් විදියට නැතිව සේවයක් විදියට හිතනවා නම් හොඳයි කියලා මම හිතනවා.

කෙනෙක් ආවට වඩා ලස්සන කරනවා මිසක් අවලස්සන කරන්න හොඳ නෑ. සමහරු තමන් දන්න වැඩ පෙන්වන්න ගිහින් ඒ මෝස්තර සේවාදායකයාට ගැලපෙනවාද කියලවත් බලන්නේ නෑ. ඒ වගේම තමාට සුදුසු මොන විදියට ද කියලා සේවාදායකයාට පැහැදිලි කරලා දෙන්නත් රූපලාවණ්‍ය ශිල්පියාට හැකි විය යුතුයි.

ඔබ සේවාදායකයා වෙනුවෙන් වෙන්කරන්නේ පැය 3 ක් නම් අනිවාර්යයෙන් ඒ පැය තුන ඒ සඳහාම යොදවන්න. ඒ අතර අනිත් වැඩ කරන්න යන්න හොඳ නෑ. සම්ප්‍රදායට ගරු කරන්න. මේ දේවල් එක්ක ඉදිරියට යනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන්.

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස ජනපි‍්‍රය වූ සමන්ත අද ගමන් ගන්නේ නිරාමිස සුවය සොයා ය. ඔහු සමඟින් කතා කළ බොහෝ දේ තුළ ගැබ් වූයේ එයයි. අපි දුටු ඔහුගේ වෙනස ද එයයි. ඔහු ප්‍රාර්ථනා කරන ඒ මානසික සුවය නොඅඩුව ලැබේවායි අපි ද ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

 

 

 

 

ඡායා - ශාන් රූපස්සර 

2356 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න