තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අගෝස්තු 21, අඟහරුවාදා 13:41

අනාගතයට පාර කියන NVQ Level 3,4 විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
වර්තමානයේ ඕනෑම ක්ෂේත්‍රයක් ඇරඹීමේදී හැකියාව මෙන්ම වෘත්තීය සුදුසුකම තිබීම ද වැදගත්. NVQ  පාඨමාලාව හැදෑරීම තුළින් ඒ හැකියාව මෙන්ම වෘත්තිය නිපුණත්වය ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

 

විශේෂයෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළදී වෘත්තිය ගරුත්වය රැකෙන අයුරින් ඒ ක්ෂේත්‍රය පවත්වාගෙන යන්නේ කොහොමද එයට හොඳම පිළිතුර NVQ  පාඨමාලාවයි.

ඔස්ට්‍රේලියාව, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල විදේශ පුහුණුවලත් ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා චාමලී කල්දේරා මහත්මිය විදිමත්ව NVQ  හදාරන්න අත්වැල් සපයන්න සූදානම්වන්නේ ඔබේ ආදරණීයම කාන්තා පුවත්පත වන 'තරුණී' සමඟයි.

චාමලි හෙයා ඇන්ඩ් බියුටි ඇකඩමියේ අධිපතිනිය ලෙස කටයුතු කරන චාමලි රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ වසර 25 ක පමණ පළපුරුද්ද සහිත ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පිනියකි.

සතිපතා පළවන එම පාඩම් මාලාව ඔබට පොත් පිංචක් ලෙස සකස් කරගෙන NVQ  විභාගයට අත්වැලක් කරගන්න. මෙය පුවත්පතකින් ලැබෙන මහඟු අවස්ථාවකි.

රටක සංවර්ධනයට තරුණ තරුණියන්ගේ ගුණාත්මක ඵලදායිතා සක්‍රීය කිරීම ඉතාම වැදගත්. වසරක් පාසා සමාජයට එකතුවන රැකියාලාභි තරුණ පරපුර රටේ තිරසාර සංවර්ධනයට එකතුකර ගැනීම කාගෙත් වගකීමකි. වසරකට උසස් පෙළ සමත් සිසුන් අතර 10% තරම් අඩු ප්‍රතිශතයකට පමණයි විශ්ව විද්‍යාල වලට අවස්ථාව හිමි වන්නේ.

තවත් කොටසක් පෞද්ගලික විශ්ව විද්‍යාලවලටත්, වෙනත් රටවලට යෑමත් සිදුවෙයි. ඉතුරු පිරිස ජාතික සංවර්ධනය උදෙසා නිපුණතාවලින් පුහුණුකර සක්‍රීයව දළ ජාතික නිෂ්පාදනයට සම්බන්ධකර ගැනීම අතිශයින් වැදගත් කාල වකවානුවකටයි අද අප පැමිණ සිටින්නේ.

එසේ නම් කළයුත්තේ රටේ තරුණ පරපුර රටේ සංවර්ධනය උදෙසා ගුණාත්මක ඵලදායිතාව සහ සක්‍රීය නිපුණත්වයෙන් පිරි කොටස්කරුවන් බවට පුහුණු කිරීමයි.

එම ශක්තිමත් වැඩපිළිවෙල යටතේ වෘත්තිය පුහුණු රූපලාවණ්‍ය සහ වෘත්තිය කේෂාලංකාර Level - 3, 4 හැදෑරීම සඳහා තරුණ පරපුර යොමු කිරීමෙන් ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් උදාකර ගත හැකියි.

අද තරුණ පරපුරට තම ජීවන ක්‍රමය සඳහා අනෙක් අය ඉදිරියේ නොවැටී සිටීමට NVQ  සහතිකයෙන් මනා පිටුබලයක් ලැබේ.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ නිකුත් කරන NVQ  හෙයා ඇන්ඩ් බියුටි සහතිකය හිමිකර ගැනීමෙන් ඔබට වෘත්තිකයකු වශයෙන් උසස්ම තත්ත්වයට ළඟා විය හැකියි. ඒ සඳහා අවශ්‍ය දැනුම හා න්‍යායාත්මකව දැනුවත් කිරීම මෙම ලිපි පෙලෙහි අරමුණයි.

NVQ  3, 4 යනු වෘත්තීය නිපුණතා පිරි සහතිකයකි. මෙම සහතිකය හිමිවන පුද්ගලයාට ගුණාත්මක භාවයෙන්, ප්‍රමිතියෙන්, පෞරුෂ සංවර්ධන කුසලතාවයෙන්, නායකත්වයෙන්, සැලසුම් කරණයෙන් ආදී පැතිකඩ රාශියකින් හෙබි පුද්ගලයකු නිර්මාණය කරයි. සැබැවින්ම NVQ  සහතිකය 'වෘත්තීය යතුරක්' යැයි හැඳින්වුවත් වරදක් නැත.

NVQ  3 සහතිකය අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකයට සමානය. NVQ  4 සහතිකය අ. පො. ස. උසස් පෙළ විභාග සහතිකයට සමානය. NVQ  3, 4 සහතිකයන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල පිබිදීමක් ඇති කළ සහතිකයකි. ඒ ආකාරයට NVQ  සඳහා යොමුවීමෙන් 22 වැනි ශතවර්ෂයට පා තබන ඔබේ දරුවා යොමු කෙරෙනුයේ දැනුමෙන්, කුසලතාවයෙන්, නිපුණත්වයෙන් පිරි සක්‍රීය පුද්ගලයකු වශයෙනි.

අතීතයේ ඕනෑම රැකියාවකදී සම්මුඛ පරීක්ෂණයේදී අවධානය යොමු කරනුයේ සහතික ගොනුව දෙසට පමණයි. නමුත් වර්තමානයේ දී හැකියාවත් වෘත්තිය පළපුරුද්දත් අනිවාර්යයි. ඒ පළපුරුද්ද හැකියාව NVQ  පාඨමාලාව මඟින් ඔබට ලබා ගන්නට පුළුවන්.

අද රූපලාවණ්‍ය කියන්නේ මොහොතින් වෙනස්වන ක්ෂේත්‍රයක්. ඒ දැනුම නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ක්‍රියා කිරීම තුළින් වෘත්තීය ගරුත්වය රැකීමට හැකි පුද්ගලයකු බිහි වෙයි.

රූපලාවණ්‍ය සහ කේශාලංකරණය යනු ඉතා පුළුල් විෂය ධාරාවකි. මෙය ක්‍රමානුකූලව පුහුණු කළ යුතුයි. මෙම වෘත්තිය සම්පූර්ණයෙන්ම දෑතේ නිර්මාණශීත්වය මත පදනම් වූ වෘත්තියකි. මෙය වයස් භේදයකින් තොරව ලබා ගත හැකියි.

ඇතැම් විට ඔබ දැනටම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයකු වන්නට ඇති. ඔබට මෙම විෂය ගැන පුළුල් දැනුමක් කුසලතාවයක් ඇති. නමුත් ඔබේ දැනුම මැනීම සඳහා සහතිකයක් අවශ්‍ය වේ. එය මැනිය හැකි එකම සහතිකය NVQ  Level - 3, 4 සහතිකයයි.

දැන් රූපලාවණ්‍ය ආයතනයක් ආරම්භ කිරීමට රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස ලියාපදිංචි කළ යුතුයි. ඒ සඳහා ඔබට NVQ  සහතිකය තිබීම අත්‍යාවශ්‍යයි. NVQ  සහතිකය නොමැතිව ඔබට සැලෝන් එකක් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාමයි මේ සහතිකය මෙතරම් වැදගත් වන්නේ.

ඒ වගේම ඔබ NVQ  සහතිකය ලබාගැනීමේ අරමුණින් යොමුවන රූපලාවණ්‍ය පාසලද අධ්‍යාපන කොමිසම් සභාව යටතේ ලියාපදිංචි කර ඇත්දැයි බලන්න. නැතිනම් ඔබේ අරමුණ ඉටු නොවේවි.

මේ පාඨමාලාව තුළ සම්පූර්ණ කළයුතු ඒකක ගණනාවකි. ඒ විෂය නිර්දේශය පිළිබඳව අන්තර්ජාලය තුළින් ද ඔබට බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 6 ක් පුරාවට එය ක්‍රමානුකූලව හැදෑරිය යුතුයි. මේ NVQ  පාඨමාලාව තුළින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සිද්ධාන්ත දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුමත් ලබාගන්න පුළුවන්.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළදී න්‍යායාත්මක දැනුමට වඩා අවශ්‍ය වන්නේ ප්‍රායෝගික දැනුමයි. ඒ දැනුම මේ පාඨමාලාව තුළින් ලබාගත හැකි නිසා තමන්ටම රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් වී වඩාත් හොඳ අනාගතයක් ගොඩනගා ගත හැකියි.

NVQ  සහතිකය ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරය තුළ පවා පිළිගත් සහතිකයක් නිසා ඔබට විදේශ රටවල ද රැකියාවන් කිරීමට අවස්ථාව සැලසෙනවා.

තිං මෙවන් වූ වටිනාකම් රැසක් හිමිවන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවන නවකයන්ට මෙන්ම ක්ෂේත්‍රයේ නියැලෙන ශිල්පීන් හටද වැදගත් NVQ  පාඨමාලාව ලබන සතියේ සිට තරුණී වෙතින් බලාපොරොත්තු වන්න.

 

 

 

NVQ  Level - 3, 4 රූපලාවණ්‍ය සහ කේෂාලංකාර පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට තරුණි හරහා NVQ  Level - 3, 4 පාඩම් මාලාව ලබන සතියේ සිට ඔබට ගෙන ඒමට රූපලාවණ්‍ය ශිල්පිනී

චාමිලි කල්දේරා සූදානම්

1715 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 21, අඟහරුවාදා 13:42
මේ යටතේ එන අනෙකුත් ලිපි: « රංජනා සේතුංග කුසුම්සිරි ජයවීර »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න