තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 11:39

දැන් තියෙන්නේ මඟුල් ගෙවල් නෙමෙයි, තොවිල් ගෙවල්... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
මනාලියක වීම සෑම යුවතියකගේ ම සුන්දර ම සිහිනයයි. සෙල්ලම් ගෙවල් තනා සෙල්ලම් කිරීමේ දී පවා බොහෝ දැරියන් මනාලියක ලෙස හැඩ වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ මනාලියක් වීමේ දී වඩාත් සුන්දරත්වයක් ඔප් නැංවෙන බව පුංචි හිතට පවා දැනී ඇති නිසයි.

 

එහෙත් අද මනාලියන් ඇත්තට ම සුන්දරදැයි නැවතත් සිතා බැලීමට අපට සිදු වේ.

ඒ සඳහා හැඩ වැඩ කලාවේ ප්‍රවීණතම ශිල්පියකු වන හැරිස් විජේසිංහයන්ගෙන් අපි අදහස් විමසුවෙමු. ඒ ප්‍රවීණතමයන්ගේ දැනුම අපට වඩාත් වටිනාකමක් එක් කරන බැවිනි.

මනාලියක් වෙන්න කලින් තරුණියක් එයට සූදානම් වෙන්නේ කොහොමද?

මනාලියක් වෙන්න කලින් මාස කිහිපයේ රූපලාවණ්‍ය ශිල්පීන් කරන විකාර වැඩවලට නම් මගේ කිසිම කැමැත්තක් නෑ.. මම එහෙම කරන්නෙත් නෑ.. වයිට්නිං ෆේෂල් හෝ සුදුවෙන ක්‍රීම්ගාලා, බෙහෙත් බීලා මූණු සුදු කරනවට මම අකැමැතියි. මොකද මෙහෙම සුදු වුණාම එම්බාම් කරපු මරණයක් වගේ පෙනුමක් ලැබෙන්නේ.. කෘත්‍රිම සුදක්. එහෙම කෙනකුගෙන් ස්වභාවික පෙනුම තියෙන මනාලියක් බලාපොරොත්තු වෙන්න බෑ.. දැන් බොහෝ දෙනෙක් ලස්සන වෙන්න හදන්නේ කෘත්‍රිම දේ කරලා.. ගොඩක් අය හිතන්නේ සුදු වුණාම තමයි ලස්සන කියලා.. මේ මානසිකත්වයෙන් මිදෙන්නේ නැතිව කොහොමත් ලස්සන වෙන්න අමාරුයි.

කොටින්ම මම මුහුණේ රෝම ගලවනවාට වගේම ඇස් බැමි ත්‍රෙඩිං කරලා ඉරටු වගේ හදනවාට අකැමැතියි. සමහරු ඇස්බැමි දේදුන්න වගේ රවුමට හදනවා. මේ විදියට ඇස් බැමි හැදුවමත් ස්වභාවික පෙනුම නැතිවෙලා කෘත්‍රිම පෙනුමක් තමයි ලැබෙන්නේ.. ඇත්තම කියනවා නම් මනාලියක් වෙන්න කියලා අමුතුවෙන් සූදානමක් අවශ්‍ය වෙන්නේ නෑ. එම දිනයට සූදානම් වීම පමණක් ප්‍රමාණවත්. තමන්ගේ සිරුරට ගැළපෙන හරි ඇඳුමක් තෝරාගෙන මේ සඳහා සූදානම් වීම ප්‍රමාණවත් කියලයි මම හිතන්නේ.. මනාලියක් වඩාත් ලස්සන වෙන්නේ ස්වභාවිකත්වයත් සමඟින් හැඩගැන්වූ විටයි.

එතකොට ඇඟ සිහින්කර ගැනීමටවත් යම් කිසි උපක්‍රමයක් භාවිත කිරීම සුදුසු ද?

මම නම් ඒකට වුණත් ඒ තරම් කැමැත්තක් නෑ. තමන්ගේ සිරුර නිරෝගීව තබා ගැනීම තමන්ගේ වැඩක්. ඉක්මනින් සිරුර සිහින්කර ගන්න ගියොත් වෙන්නේ සිරුර සිහින් වෙනවාට වඩා වැහැරී යන එකයි. වැහැරුණු සිරුරටත් වඩා මෙහිදී ගැටලුවක් වන්නේ වැහැරුණු මූණ. මූණක් පිරිපුන් බවක් නැතිව හකු පෑදිලා තියෙනකොට ඒකේ ලස්සනක් නෑ.. කොයිතරම් පාට ගෑවත් තවත් වයස පාට එනවා මිසක් සාමාන්‍ය මූණක තියෙන ලස්සන එහෙම මූණකින් මතුකර ගන්න බෑ.

මම මගේ ළඟට එන අයට කියන්නේ ඔයා මහතයි කියලා ඔයාට හිතෙනවා නම් ඇඟ ටිකක් අඩුකර ගන්න හිතනවා නම් ඇවිදින්න කියලයි. හොඳ ගුණදායක ආහාර ගැනීම ඇඟට වගේම සෞඛ්‍යයටත් හොඳයි. එක එක බීම වර්ග බොනවට වඩා වතුර වැඩි ප්‍රමාණයක් බොනවා නම් ඒකත් සිරුරට හැම අතින්ම ප්‍රයෝජනවත්.

ගොඩක් මනාලියෝ මඟුල් දිනයට පෙර දවස වෙනකල් ම ගොඩක් මහන්සි වෙනවා. මංගල දිනයේ මනාලියක් විදියට සැරසෙන්න පටන් ගන්නේ පාන්දර 1ට 2ට විතර. ඉන්පස්සේ රඟපාන්න යනවා. කන්දේ, ලන්දේ රවුම් ගහලා මංගල උත්සවය තියෙන තැනට එනකොට මනමාලි ඉන්නේ හෙම්බත් වෙලා... කන්නවත් වෙලාවක් නෑ. එතකොට මුහුණේ තෙහෙට්ටු ගතියක් එනවා. මේ වෙනකොට මනමාලි ඉන්නේ මේ අපහසුතාත් එක්ක අසහනයකින්.. මොකද උත්සවයට පැය 4-5 කට කලින් ඇඳුම් අඳින්නේ.. වෙහෙසයි.

බෞද්ධ අයගේ මංගල උත්සවයක් නම් උදේ කාලයේ තමයි පැවැත්වෙන්නේ.. ඉතිං මනමාලි නිදිමරාගෙන ඉන්නේ.. බොහෝ මනාලියන් මංගල උත්සවේ ප්ලෑන් එකත් තමන්ගේ ඔළුවේ තියාගෙන ඒ පීඩනයත් දරාගෙන ඉන්නවා. මේ දේවල් අනිත් අයට බාරදීලා මනස නිදහසේ තියාගෙන ඉන්න තරමට මනමාලි සුන්දර වෙනවා.. ඒ නිසා මම බොහෝදෙනකුට කියන්නේ ‘ප්ලෑන් විත් ලීව්’ කියලයි. මනාල යුවළ විවේක සුවයෙන් සිත තියාගන්න ඕනේ.. ඒ නිසා උත්සවයට කලින් සියල්ල සැලසුම් කරලා, මංගල දිනයට ඒ සියල්ල අනෙක් අයට බාර දීලා හිත නිදහස් කරගන්න.

අද මේකප් එකෙන් පස්සේ මනාලිය ලස්සනයි. ඒත් කවුද කියලා අඳුනගන්න අමාරුයි..

ඔව් ඉතිං සුදු වෙන්න ක්‍රීම් ගාලා මළ මිනී වගේ.. මම අන්දන්නේ රමණී නම් ඇන්දුවායින් පස්සේ පේන්නේ ශිරාණි වගේ නම් ඒ ඇන්දිල්ලෙන් ඇති වැඩක් නෑ.. කොයිතරම් ලස්සන වුණත් ඒ ඉන්නේ ශිරාණි කියලයි දකින අය හිතන්නේ.. රමණී ඇන්දුවායින් පස්සෙත් රමණීම නම් ඒක තමයි සාර්ථකත්වය. දැන් බොහෝ දෙනෙක් ඇස්බැමි පවා අලුතින්ම අඳිනවා. මේකප්වලින් වෙනස් කරන පෙනුම ඡායාරූප ශිල්පීන් තවත් වෙනස් කරනවා. බොහොමයක් ඡායාරූප ශිල්පීන් ෆොටෝ එඩිටිංවලින් තමන්ට අවශ්‍ය විදියට මේකප් එකත් වෙනස් කරනවා.

ඒත් අද ගොඩක් අය කැමැති තමාගේ අනන්‍යතාව නැති වුණත් මේ විදියට ඉටි රූපයක් වගේ වෙන්න...

ඔව්, ඒක නොදැනුවත්කම වෙන්න ඇති. ඒත් කියන්න සතුටුයි මගේ ළඟට මනාලියන් විදියට හැඩවෙන්න එන්නේ වැදගත් පවුල්වල අය. එයාලා ඉල්ලන්නේ ඉටි රූප වෙන්න නෙමෙයි. ස්වභාවිකව ලස්සන මනාලියක් කරන්න කියලයි. මොකද මනාලියක් කියන්නේ විලාසිතාකාරියක් නෙමෙයි. මනාලියක් කියන්නේ රටක සංස්කෘතිය හා බැඳී පවතින අනන්‍යතා ලක්ෂණයක්. ඕපඪඤතඥ ජ්චඵඩඪධද ඪඵ බඪථඥතඥඵඵ මනාලියකගේ විලාසිතාව එක කාලයකට පමණක් අදාළ විය යුතු නෑ.. මනාලියකගේ විලාසිතාව සදාකාලික විය යතුයි. නැත්නම් මනාලිය පරණ විලාසිතාවක් වෙනවා. ඒ නිසයි සාමාන්‍ය පෙනුම තියෙන මනාලියක් කවදාවත් පරණ වෙන්නේ නැත්තේ.. ලංකාවේ උසස් සමාජය කියලා හිතන පහත් දේවලට කැමැති අයත් ඉන්නවා.. ඒ වගේම වැදගත්, උගත් අයත් ඉන්නවා..

මනාලියකගේ මල් බොකේ එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා..

මල් බොකේ එක වුණත් කාලෙන් කාලෙට වෙනස් කළත් වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතන්න ඕනේ විලාසිතාවට වඩා මනාලියට පහසුවක් ඇති කරන විදියේ බොකේ එකක් ඇයට දෙන්නයි. වැඩි බරක් තියෙන බොකේ එකක් ඔසවාගෙන පැය ගානක් ඉන්න ගියාම මනාලියට අමතර වෙහෙසක් දැනෙන්ට පුළුවන්. එයින් සිදු වෙන්නේ මනාලියට තවත් අමතර පීඩනයක් එකතු වීමයි. මෙම පීඩනය හා වෙහෙස මනාලියගේ මුහුණින් දිස් වීම වළක්වන්නට බැහැ. ඒ නිසයි මම ඹ්ඥඵඵ ඪඵ ඡඥචභබඪටභත කියලා කියන්නේ..

ඒ විතරක් නෙමෙයි අද තියෙන්නේ මඟුල් ගෙවල් නෙමෙයි තොවිල් ගෙවල්.. ඒ තරමටම කලබලකාරී, ඝෝෂාකාරී, විකාරරූපී තත්ත්වයක්. ලොකු හෝටල්වල උත්සවේ ගත්තත් ඒවයේ මේස උඩ පවා සිප්පිකටු විසුරුවලා.. දැන් වෙඩින් ගන්නේ තීම්වලටනේ.. එතකොට විවාහ මංගල්‍ය කියන තීම් එක ගන්නේ කවදද කියලා ප්‍රශ්නයක් හිතට එනවා.. ඇත්තට ම මේවා අනවශ්‍ය දේවල් විදියටයි මම දකින්නේ..

මනාලියන් හැඩ ගැන්වීමේ කලාවේ ප්‍රවීණතම ශිල්පියකු වන හැරිස් විජේසිංහයන් පැවසූ මෙවදන් කොතරම් ප්‍රායෝගිකද යන්න ඔබට වැටහෙනවා ඇති. ඇත්තටම මංගල උළෙලක තිබිය යුතු වටිනාකම අද පවතින විලාසිතා රැල්ලට ගසාගෙන යන බවක් අපට පෙනෙන්න ඇත. මෙය තව දුරටත් පවත්වාගත යුතු දැයි ඔබේ බුද්ධිමත් සිතෙන් විමසා බලන්න.

 

 

 

 

ඡායාරූප - මහේෂ් මාන්නප්පෙරුම

410 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 11:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න