තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 ජූලි 25, අඟහරුවාදා 10:31

ෆේෂල් කිරීමේදී නිවැරැදි දැනුම හරිම වැදගත් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
ෆේෂල් සත්කාරයක් සිදුකිරීමට පෙර ඒ සඳහා ඔබතුළ තිබිය යුතු සූදානම කෙසේ විය යුතුද යන්න ගැන සහ එහිදී ඔබේ අවධානයට යොමුවිය යුතු කරුණු කාරණා මොනවාද යන්න ගැන අප මෙයට පෙර කතාබහ කළා.

 

එම දැනුවත් බව ඔබට බොහෝසේ වැදගත් වන්නට ඇති.එහෙමනම් මීළඟට ඔබ සූදානම් විය යුත්තේ ෆේෂල් සත්කාරයක් නිවැරැදිව ක්‍රමාණුකූලව සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් වන්නටයි.

මුලින්ම කළ යුත්තේ කුමක්ද?

ෆේෂල් එකක් කරන්නට සූදානම් වන ඔබ මුලින්ම කළ යුත්තේ සේවාදායකයා සමඟ හොඳින් කතාබහකර ඇය රැකියාවක් කරන අයෙක් ද නිවෙසේ රැඳී සිටින අයෙක්ද ඇයගේ වයස කොපමණද ආදිය පිළිබඳව දැනගැන්මයි. මෙහිදී වයස වඩාත් වැදගත් වන්නේ බොහෝවිට වයස අනුව සිදුකරන ෆේෂල් එක වෙනස්වන නිසයි. එමෙන්ම ඇයට තිබෙන්නේ මොන වගේ සමක්ද සමේ ස්වභාවය කෙබඳුද? යන්න ගැනත් මෙහිදී දැනගතයුතුයි. හේතුව සම අනුව ෆේෂල් එක තීරණය කිරීම ඉතාමත් වැදගත් වන නිසයි. මීළඟට ඇයගේ සම අනුව භාවිත කළ යුතු ආලේපන මොනවාද? ඇයට තෝරාගත යුත්තේ කුමන ආකාරයේ ආලේපනද යන්න ගැන සැලකිලිමත් වන්න. ඇයට ගැළපෙන්නේ කුමන ආකාරයේ ෆේෂල් එකක්ද? යන්න ගැන ඔබ මෙහිදී නිවැරැදි නිගනයකට එළඹිය යුතුයි. මෙහිදී ආවාට ගියාට ආලේපන යොදා ගැන්ම කෙසේවත් සුදුසු වන්නේ

 

නෑ. තමන් යොදාගන්නා ෆේෂල් ක්‍රමය එක වශයෙන් සහ භාවිත කරන ආලේපන දෙක වශයෙන් ද විය යුතු අතර මෙය සියයට පනහ පනහ වශයෙන් තිබිය යුතුයි. ඔබ ෆේෂල් සත්කාරයේදී භාවිතකර තිබෙන්නේ සමට ගැළපෙන ආලේපන නොවේ නම් ඔබ මේ පිළිබඳව කෙතරම් හොඳ දැනුමක් ඇති අයකු වුවත් එය වැඩක් වන්නේ නෑ. එමෙන්ම ඔබ මෙහිදී සිදුකරන ෆේෂල් ක්‍රමය වැරැදි නම් කුමන ආකාරයේ ආලේපන යෙදුවත් ඉන් ප්‍රතිඵලයක් ලබන්නට හැකිවන්නේද නෑ.

ෆේෂල් එක කරන්නේ කාටද?

ෆේෂල් එක සඳහා පැමිණෙන්නේ මනාලියක් වීමට සිටින අයෙක් නම් ඇයගේ මංගල දිනය ආසන්නයේදී ෆේෂල් කිරීම සුදුසු වන්නේ නෑ. ඇයගේ මුහුණේ කුරුලෑ, බිබිලි ආදිය වෙත්නම් ඒවා ඉවත් කරන්නට යාමෙන් වැළකෙන්න. හේතුව එම අවස්ථාවේ ඒවා ඉවත් කරන්නට යාමෙන් මුහුණේ ඉදිමුණු ස්වභාවයක් බිබිලි ආසාදනවීමක් සිදුවිය හැකි නිසයි. එමෙන්ම අනවශ්‍ය රෝම වුවත් මංගල දිනයට ආසන්න දිනවලදී ඉවත් කිරීමට යාමෙන් වැළකෙන්න.

මේ නිසා ෆේෂල් එකක් කිරීමට කලින් ඉතාමත් සුපරික්ෂාකාරීව කටයුතු කිරීම වැදගත් කළයුතු ෆේෂල් එක කුමක්ද? ඇයට ගැළපෙන්නේ කුමන ආකාරයේ ෆේෂල් එකක්ද යන්න ගැන නිවැරැදිව තීරණය ගන්න.

ෆේෂල් එකට ප්‍රථම අප ගිය සතියේ සඳහන් කළ ආකාරයට ගෙල සහ උරහිස් ප්‍රදේශය නිරාවරණය වී තිබිය යුතු නිසා සිරුරේ උඩ කොටස නිරාවරණයකර තුවායක් ඇඳගැනීමට සලස්වන්න. ඉන්පසු සම අනුව තෝරාගත් ෆේස්වොෂ් එකක් ගෙන මුහුණ සෝදන්නට ඉඩ සලසන්න. මෙහිදී අත්ලට ෆේස් වොෂ් ටිකක් ගෙන එය වතුර ස්වල්පයක් සමඟ මිශ්‍රකර පෙණගන්වා, එම පෙණ මුහුණේ තවරා හොඳින් මුහුණ සෝදා හැර පිසදමාගන්න. දැන් ඇයව ෆේෂල් බෙඩ් එකෙහි වැතිරීමට සලස්වන්න. එසේ හාන්සි කරවීමෙන් පසු සාමාන්‍යයෙන් තිබෙන සම්මතයක් නම් ෆේෂල් එක නිමකෙරෙන තෙක් කිසිම ආකාරයකින් හෝ ඇයව නැගිටුවාලීම නොකළ යුතු බවයි.

ඩීප් ක්ලෙන්සර් කිරීම

ෆේස් වොෂ් යොදා මුහුණ සේදීමෙන් පසු ඩීප් ක්ලෙන්සර් කළයුතුයි. ඩීප් ක්ලෙන්සර් එක ද සම අනුව තෝරා ගන්නට සැලකිලිමත් විය යුතුයි. ඩීප් ක්ලෙන්සර් කිරීමේදී එය අත්ලට මඳක් ගෙන මුහුණ පුරා තැනින් තැන තිත් ආකාරයට තබන්න. පළමුවෙන්ම ඇස්වටා කිරීම දක්වා ඉන්පසු නළල ප්‍රදේශය රවුමට රවුමට පිරිමදින්න. ඇස්වටා පිරිමදින විට හතරවැනි ඇඟිල්ල භාවිතකර ඇතුළු පැත්තට පිරිමැදීමට සිදුකළ යුතුයි.

ඉන්පසු නාසය පහළ අතට පිරිමදින්න. දැන් කම්මුල් ප්‍රදේශය පිරිමදින්න. මෙහිදි ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ මාංසපේශීන් වැඩි කොටසක් අයත් වන්නේ කම්මුල් ප්‍රදේශයේ වන නිසයි. එමනිසා මාංසපේශීන්ගේ පිහිටීම අනුව මුහුණ පිරිමැදීම කළ යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ මුහුණේ මාංසපේශීන් පහත්වීමකට එල්ලා වැටීමකට ලක්වීමයි. මෙහිදී පිටතට සහ උඩට පිරිමදින්න. පපුව ප්‍රදේශය සහ බෙල්ල ප්‍රදේශය පිරිමදින විට පපුව ප්‍රදේශය ඇතුළු පැත්තටත්, බෙල්ල උඩු අතටත් පිරිමදින්න. ඉන්පසු පිස දැමීම කළ යුතුයි. මෙහිදී සමහරුන් පුරුදුව සිටින්නේ ස්පොන්ජ්වලින් පිස දැමීමටයි. ස්පොන්ජ් භාවිතයේදී තවත් අයකුට භාවිතකළ ස්පොන්ජ් භාවිත කරන්නට එපා. එසේ කිරීමෙන් කෙනකුගේ විෂබීජ තවත් අයකුට පහසුවෙන් යා හැකියි. එම නිසා වඩාත් සුදුසුවන්නේ පුළුන් භාවිතයයි. තෙත මිරිකූ පුළුන් භාවිත කරන්න. එය මෙහිදී වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි.

ස්ක්‍රබ් කිරීම

මීළඟ පියවර වන්නේ ස්ක්‍රබ් කිරීමයි. ස්ක්‍රබ් භාවිත කිරිමේදී ද සම අනුව ස්ක්‍රබ් එක තෝරා ගන්නට සැලකිලිමත් වන්න. ස්ක්‍රබ් තැවරීමේදීි ඇස්වටා නොගෑවෙන ආකාරයට මුහුණේ තවරා ඉතා සියුම් ලෙස රවුමට රවුමට පිරිමදින්න. ස්ක්‍රබ් කරන විට තදින් තෙරපෙන ආකාරයට ස්ක්‍රබ් කිරීම සුදුසු නොවෙයි. මෙහිදී සමට හානි නොවන අයුරින් මුහුණ සියුම්ව පිරිමැද එය තෙත පුළුන්වලින් ඉවත්කරන්න.

ස්ක්‍රබ් එකෙන් පසු ස්ටීම් කිරීම

ස්ටීම් කිරීමේදී මුහුණට වඩාත් ළංකර ස්ටීම් කරන්නට එපා. පළමුවන දේ ස්ටීම් කරන විට ඇස් දෙක ආවරණය කර තබන්න.

බ්ලැක් හෙඩ් ඉවත් කරන්න

බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කිරීම සඳහා අප භාවිත කරන්නේ පිම්පල් එක්ස්ට්‍රැක්ටර් නම් වන සියුම් උපකරණයයි. මෙ උපකරණයේ තොණ්ඩුවක් ආකාරයට තිබෙන කොටස බ්ලැක් හෙඩ්එක මත තබා මඳක් තෙරපීමෙන් සමේ කාවැදි ඇති බ්ලැක්හෙඩ්ස් ඉවත් කරගන්නට පුළුවන්. ඉන්පසු තෙත මිරිකූ පුළුන් වලින් පිස දැමිය යුතුයි. බ්ලැක්හෙඩ් ඉවත් කිරීමද ඉතාමත් ප්‍රවේසමෙන් කළයුතු කාර්යක්. එසේ නොමැති වුවහොත් සමේ නැති සිදුරු වුවත් ඇතිවන්නට පුළුවන්. දැන් අප සම පිරිසුදු කරලීමේ ක්‍රියාවලිය කර අවසන්. ෆේස් වොෂ් එකකින් මතුපිට කුණු ඉවත්කිරීම ඩීප් ක්ලෙන්සර් මගින් සමට කාවැදුණු අපද්‍රව්‍ය ඉවත් කිරීම ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත් කිරිම, ඉන්පසු ස්ටීම් කර බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කිරීම ආදිය ක්‍රමවත්ව නිමකරන ආකාරය ගැන දැන් ඔබට වැටහෙන්නට ඇති.

මීළඟ පියවරේදී සම්බාහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වන්න.

සම්බාහනය

සම්බාහන ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී සමට පෝෂණය ගෙන දෙන ආලේපණයක් අපට යොදා ගන්නට පුළුවන්. මෙහිදී ඔබ මතක තබාගත යුතු දෙයක නම් සම තෙල් සහිතනම් වඩාත් තෙල් සහිත ආලේපන භාවිත නොකළ යුතු බවයි. සම්බාහන ක්‍රියාවලිය සිදුකරන විට ඔබ විසින් අනුගමනය කළ යුතු සම්මත ක්‍රම තිබෙනවා. මෙහිදී එම සම්මත ක්‍රම ඒ පරිද්දෙන්ම අනුගමනය කිරීම අනිවාර්යයි. එසේ නොමැතිව සිතෙන සිතෙන ආකාරයට මුහුණ සම්බාහනය කිරීමට තැත් කිරීමෙන් වැළකිය යුතුයි.

මෙම සම්මත ක්‍රියාවලියේදී ප්‍රධාන දේ වන්නේ සම්බාහනය කළයුතු නිවැරැදි ක්‍රමවේදයයි. එනම්, ඇතැඟිලි ඉතාමත් සියුම් ලෙස මෙහෙයවමින් මුහුණ රවුමට රවුමට පිරිමැදිම, මාංශ පේශින් පිහිටා ඇති දිසාවන්ට අනුව අත ගෙනයමින් උඩුඅතට පිරිමදින්න.

නළල ප්‍රදේශය පිරිමැදීමේදී අතේ ඇඟිලි දෙක කරුවක් ආකාරයට සම මත තබා ඒ අතරින් සම්බාහනය සිදුකරන්න.

බෙල්ල උඩු අතට ද පපුව ප්‍රදේශය ඇතුළු පැත්තට ද වනසේ සම්බාහනය කරන්න. ඇස් වටා සම්බාහනය කරන විට හතරවැනි ඇඟිල්ල භාවිත කරමින් පිරිමැදිම කළ යුතුයි. ඇසේ කුහරය වටා අටේ ඉලක්කම ආකාරයට ඇඟිල්ල මෙහෙයවමින් සියුම්ව සම්බාහනය කරන්න. මෙය අප හඳුන්වන්නේ ඡඪඨ ඥඪඨඩබ වශයෙන්. ඇහි බැමි උඩු අතට සම්බාහනය කරන්න. (සමට තදින් තට්ටුකිරීම තදින් තෙරපී නොකරන්න.

ඉන් සම ඇදීමකට ලක්වන්න පුළුවන්.) මේ ආකාරයට මුහුණ සම්බාහනය විනාඩි පහළොවක් පමණ කරන්නට පුළුවන්. මෙම සම්බාහනයේදී අනිවාර්යයෙන්ම නිල උද්දීපනය සිදුවිය යුතුයි.

මුහුණේ නිලස්ථාන පහළොවක් තිබෙනවා. නිලස්ථාන පහළොවම මෙහිදී උද්දීපනය කිරීම කළ යුතුයි. මෙම නිලස්ථානය තෙරපීමේදී ඉන් ලැබෙන ප්‍රතිඵල සහ ගුණාත්මකබව එකිනෙකට වෙනස් වනවා.

එමගින් සේවාදායකයාට ෆේෂල් එකෙන් වැඩි වාසියක් අත්පත්කර දිය හැකියි.

මෙම සම්බාහනය නිවැරැදි ආකාරයට සිදුවේ නම් සේවාදායකයාට නිදිබර ගතියක් දැනෙන අතර ඔවුන්ට මෙහිදී කායිකව මෙන් මානසික වශයෙන් ද ලැබෙන සුවදායි බව අතිමහත්.

පැක් එක යෙදීම

සම්බාහන ක්‍රියාවලියෙන් පසු මුහුණේ වැඩිපුර ආලේපන ඇත්නම් එය පිසදමා නියමිත පැක් එක දැමීමට සූදානම් වෙන්න.

මෙහිදී සේවාදායකයාගේ අවශ්‍යතාවය මත ඇයගේ සමට සුදුසු පැක් එක යෙදිය හැකියි. ඇයට අවශ්‍ය තමන්ගේ සමට වැඩි පැහැයක් ලබා දෙන ආකාරයේ පැක් එකක් නම් එවන් පැක් එකක් භාවිත කරන්න. මෙහිදී මතක තබාගත යුතු වැදගත් දෙයක් නම් බ්ලීචින් අඩංගු කිසිදු පැක් එකක් මෙහිදී භාවිත කිරීමට යාමෙන් වැළැකීමයි.

අප එසේ පවසන්නේ සම්බාහනය කිරීමෙන් පසුව රසායන ද්‍රව්‍ය (කෙමිකල්) අඩංගු ආලේපන භාවිත කළහොත් ඉන් සමට ලොකු හානියක් වීමට ඇති ඉඩකඩ වැඩි නිසයි.

එමනිසා බ්ලීචින් අඩංගු නැති සමට හිතකර ප්‍රතිඵල ගෙන දෙන පැක් වර්ග භාවිත කිරීමට සැලකිලිමත් වන්න. සමට පැහැදිලි ස්වභාවයක් දීප්තිමත් බවක් පැහැයක් පෙනුමක් ලබාදිය හැකි ස්වාභාවික ද්‍රව්‍යයක් සහිත පැක් වර්ග තිබෙනවා. එවන් පැක් වර්ග සමට අහිතකරවන්නේ නෑ.

පැක් එක යොදා විනාඩි 10 - 20 දක්වා කාලයක් තබන්න. උපරිම වශයෙන් විනාඩි 30 ක් දක්වා තැබිය හැකියි. නමුත් ඊට වඩා වැඩි වේලාවක් පැක් එක තැබීම සුදුසු වන්නේ නෑ. පැක් එක යොදන විට තෙත මිරිකූ පුළුන් තට්ටුවක් හෝ සිහින්වට රවුමට කපාගත් පිපිඤ්ඤා පෙති හෝ අර්තාපල් පෙතිවලින් ඇස් ආවරණයකර තබන්න.

විනාඩි 30 කට පමණ පසුව පැක් එක ඉවත්කර අවසාන වශයෙන් ටෝනර් යොදන්න පුළුවන්. ටෝනර් කිරීමේදී එය පුළුන්වලට ගෙන මුහුණ තෙතමාත්තු කරන ආකාරයට පිසදමන්න.

ඉන්පසු මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් තවරා එයට උඩින් සන්ස්ක්‍රීම් එකක් තවරන්න. ෆේෂල් එක සිදුකිරීමෙන් පසු පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව සේවාදායකයාව දැනුවත් කරන්න. එකවරටම දැඩි හිරුඑළියට නිරාවරණය නොවිය යුතුයි. දූවිල්ලට නිරාවරණය වීම, පිහිනීම වැනි දෙයට යොමුවීම මෙසේ වැළැකිය යුතුයි.

මේ ආකාරයට ෆේෂල් එකක් නිවැරැදිව සිදුකරන්නට අවශ්‍ය දැනුවත් බව පුහුණුව ලබා තිබීමෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක වශයෙන් ඔබට වඩාත් හොඳ සේවයක් සේවාදායකයින්ට ලබාදෙන්නට හැකිවේවි.

උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
ස්විනීතා කොතලාවල
Swini Ayurvdic

914 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 25, අඟහරුවාදා 10:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න