තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 ජූලි 25, අඟහරුවාදා 11:27

විඩාබර දෙපයට සැනසුම ගෙනෙන තෙල් සාත්තුව විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
කාන්තා ලාලිත්‍ය ඔප් නංවන ආකර්ෂණීය දෙපා යුවළකට කවුද අකැමැති. හැඩකාර සිරුරේ සුන්දරත්වය වැඩි කරන වරලස, මුහුණ, දෑත සේම දෙපා යුවළ ද තරුණියකට සැබෑම ආභරණයකි.

 

ඒ නිසාම ඕනෑම යුවතියක් සිය මුහුණට දක්වන සැලකිල්ලට හා සමාන සැලකිලිමත් බවක් සිය දෙපා කෙරෙහි ද දැක්විය යුතුමයි. නමුත් අවාසනාවකටදෝ බොහෝදෙනකුට සිය දෙපා පිළිබඳ මතකයට එන්නේ එම දෙපා විඩාබරව, වේදනා දෙද්දීය. නමුදු සුන්දර නිරෝගී දෙපයක් හිමිකර ගන්නට නම් ඔබ දිනපතා මුහුණ, දෑත සේම දෙපා ද පිරිසුදු කළ යුතු අතර සතියකට වරක්වත් දෙපා අභ්‍යංග (තෙල් සාත්තුව) කළ යුතුය.

එමෙන්ම විඩාබර දෙපයට තෛල අභ්‍යංගය හෙවත් තෙල් සාත්තුව තරම් සැනසීමක් තවත් නොමැත. මේ නිසා දෙපා සහ දෙපයෙහි නියපෙළ රැකගන්නට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලබාගන්නවා සේම ඒවායේ පිරිසුදු බව, නිරෝගී බව ආරක්ෂා කරගත යුතුයි. මෙය චර්යයාවක් ලෙසින් දෛනිකව පවත්වාගෙන යන්නටත් අප අමතක නොකළ යුතුයි.

දෙපා අභ්‍යංගය (සත්කාර)

දෙපා අභ්‍යංගය එහෙමත් නැතිනම් දෙපා සඳහා කරන සත්කාර අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි අපි පළමුව සොයා බලමු.

* සිරුරේ සම්පූර්ණ ඉන්ද්‍රියන්වලටම අදාළ ස්නායු අග්‍ර දෙපා ඇසුරෙහි පවතින හෙයින් දෙපා අභ්‍යංගය යනු මුළු සිරුරටම ලැබෙන සත්කාරයකි. උත්තේජනයකි.

* ඔබට සුවබර නින්දකට මඟ පාදා දේ.

* දෙපාවල රැඳුණු අපිරිසුදු රුධිරය නැවත හදවත වෙත මැනවින් ගමන්කර ඒවා පිරිසුදු රුධිරය බවට පත්වේ.

* මනසට සුවය ගෙනෙන හොඳම සත්කාරයක් වන්නේ ද දෙපා සම්බාහනයයි.

* ඔබ නොදැනුවත්වම ඔබගේ සෞඛ්‍ය රැකගන්නට පෙරමුණගෙන නිරෝගී බව රැකදේ.

* වියපත්වීමත් සමඟ මතුවන පාද වේදනාව, විලුඹ ආශ්‍රිත වේදනා සහ අස්ථි වේදනා අඩු වේ.

වෙනත් පුද්ගලයකුගෙන් උදවු උපකාර නොමැතිව ඔබටම ඔබගේ පාද අභ්‍යංග කරගත හැකියි. මේ සඳහා ඔබට විවේකී වේලාවක් වෙන් කරගත හැකි අතර නිවෙස තුළ හොඳින් වාතාශ්‍රය ලැබෙන නිදහස් ස්ථානයක් තෝරා ගන්න. නැතිනම් ගෙමිදුලෙහි ඉඩකඩ ඇති ස්ථානයක් තෝරාගන්න. එමෙන්ම පාද පොළොවෙහි ස්පර්ශවන මට්ටමේ තරමක් උසින් අඩු ආසනයක් තෝරා ගතයුතු අතර ඔබට කැමැති බිම වාඩිගෙන හෝ මෙම අභ්‍යංග කළ හැකියි.

* අභ්‍යංගයට වාඩිවීමට ප්‍රථම සබන් යොදා දෙපා මැනවින් පිරිසුදුකර හොඳින් පිසදා ගන්න.

* දැන් වියළි දෙපාවල මැනවින් තෙල් ගල්වන්න. මේ සඳහා ඔබ කැමැති පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල් හෝ ගැළපෙන ආයුර්වේද ඖෂධීය තෙල් වර්ගයක් තෝරාගත හැකියි.

* ඉන්පසුව (1) රූප සටහනෙහි දැක්වෙන ආකාරයට ඊතල යොදා ඇති දිශාවට දෙපය හොඳින් පිරිමදින්න. මෙහිදී එක් ඉරියව්වක් වාර 05 - 10 ක්වත් කිරීමට වගබලා ගන්න.

මෙය ඉතා හදිසියේ කලබලයෙන් කළයුතු කාර්යයක් නොවන අතර සාමාන්‍ය වේගයක් පවත්වාගෙන යමින් නිදහසේ පිරිමදින්න.

* දැන් ඔබ පාද අභ්‍යංගකර අවසන්ය. පසුගිය සතියේ අප ඉදිරිපත් කළ Foot Bath  එක මේ අවස්ථාවට වඩාත් ගැළපේ. ඒ අනුව අඟල් 06 ක් පමණ උසකට ජලය පිරවිය බේසමකට මඳ උණුසුම් ජලය පුරවා ගන්න. එයට වෙනිවැල්ගැට සහ කහ ස්වල්පයක් මිශ්‍ර කරන්න.

* අනතුරුව ඔබේ දෙපා මිනිත්තු 20 ක් වැනි කාලයක් එහි ගිල්වා තබාගන්න.

* ඉන්පසුව දෙපා ඉවතටගෙන ඉතා හොඳින් එක් පාදය බැගින් පරෙස්සමට දෙපා පිසදා වියළාගන්න.

ඔබේ දෙපයෙහි මෙන්ම දෙපයෙහි නියපෙළෙහි සුන්දරත්වය රැකගැනීමට, නිරෝගීබව ආරක්ෂා කරගැනීමටත් මෙය අපූරු සත්කාරයක් බව නොකියාම බැහැ.

 

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

 

ආර්. ජී. එස්. සාරංගා

860 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 25, අඟහරුවාදා 11:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න