තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:27

ශරීරාංග ගැන ඇයි ළතැවෙන්නෙ

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
ලද දෙයින් සතුටුවන්නට මැළිකමක් දක්වන ඇතැමෙක් තෘෂ්ණාවම වඩවා ගනිමින් ජීවිතයට බොහෝ දේ ළං කරගන්නට වැරවෑයම් කරති. ජර්මන් ජාතිකයකුවන ඔහුට තම ලිංගේන්ද්‍රිය පිළිබඳ ද සිතුණේ එවැනි හැඟීමකි.

 

තම ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය හා ක්‍රියාකාරිත්වයේ කිසිදු අඩුවක් නොවුණත් මීට වඩා තරමක් හෝ විශාල වූවා නම් යන හැඟීම්වලින් සිත වඩ වඩාත් තෙරපවන්නට විය. ඒ අනුව අවශ්‍ය පසුබිම සකස් කරගනිමින් විශාල කරගත් ලිංගේන්ද්‍රය ඔහු සිතුවාට වඩා කිහිප ගුණයකින්ම විශාල වන්නට විය. අවසානයේ එය කිලෝ හතරක් වැනි ප්‍රමාණයක් වද්දී ඔහුට තම සාමාන්‍ය ජීවිතය පවා සුවපහසු අන්දමින් ගත කරන්නට නොහැකි විණි. විශාල මල්ලක් වැනි යමක් එල්ලාගෙන යන්නාක් මෙන් පිටතට දිස්වන්නට විය. ගමන් බිමන් යද්දී ඉදිරිපස ප්‍රදේශය බෑග් එකක් තබා ගනිමින් ආවරණය කරගෙන අපහසුවෙන් වුවත් වැඩ කරන්නට සිදුවිය.

සාමාන්‍ය පුද්ගලයකු යම් අසාමාන්‍යතාවක් හෝ රෝගී තත්ත්වයක් ප්‍රතිඵලයක් හෝ සමාජයේ යම් පෙලඹවීම්වලට අර්ථකථන දීම නිසා මෙවැන්නකට යොමුවීමට පුළුවන.

ලෝක ජනගහණයෙන් සියයට එකක්, දෙකක් පමණදෙනා මෙසේ සිතද්දී, එසේ සිතන අය අතුරින් සියයට 4 ක් 5 ක් පමණ දෙනා යම් යම් ප්‍රතිකර්ම කරා යයි. ඒ අනුව ඔවුන්ගෙන් බොහෝදෙනා ප්ලාස්ටික් සැත්කම්වලට මුහුණ දේ. මෙසේ වෙනස් කරගන්නට උත්සාහ කරන ශරීරාංග අතරට මුහුණ, නාසය, පියයුරු, තනපුඩු, ලිංගික අවයවයන් හා පාද කැපී පෙනේ. සමීක්ෂණයන්ට අනුව මෙසේ පෙලඹෙන පිරිස් අතුරින් වැඩිදෙනා අවුරුදු 20 - 30 ත් අතර අයයි.

තම ශරීරාංග පිළිබඳ සෑහීමට පත් නොවන පිරිස් අතුරින් සියයට 90 ක් පමණ දෙනා සමාජයේ ගැවසීමට ප්‍රිය නොකරයි. සියයට 50 ක් පමණ දෙනා තම අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු නිසි පරිදි කරගෙන නොයයි. ඒ අතුරින් සියයට 45 ක් පමණ දෙනා සියදිවි හානි කරගන්නට පවා උත්සාහ ගනියි.

“මගේ නාසයේ පිහිටීම එතරම් හරි නැහැ. මේ වගේ නාසයක් මටත් තිබුණා නම්.... ආදී වශයෙන් ඉන්ද්‍රීය පිහිටීම පිළිබඳ ළතැවෙයි. විටෙක මේ වගේ සිතුවිලි පහළ නොවන්නේ නම්.... යැයි සිතයි. ඔවුන් දිනකට පැයත් පැය 3 ත් අතර ප්‍රමාණයක් මෙවැනි සිතුවිලිවල කිමිදෙමින් ජීවිතය ගතකරයි. මුහුණ, නාසය, ලිංගික අවයවයන් කුඩාවීම මෙන්ම විශාල වීම ද මොවුනට ගැටලුවකි. එය ආදර සම්බන්ධයකට ගැටලුවක් වේවිද? අලුතින්ම අරඹන්නට යන වැඩක දී මේ ප්‍රශ්නය බලපාවි ද? යැයි සිතන පිරිසකුත් සිටියි.

පියයුරුවල ප්‍රමාණය

පියයුරු ඉතාම කුඩා වීම ඇතැම් යුවතියන්ගේ සිතට වධදෙන කාරණාවකි. පිරිමි පාර්ශ්වයේ ආකර්ෂණයක් තමාට නොලැබේවි දැයි නිරතුරුවම සිතයි. එහෙත් ලෝකයේ පිරිමින් සමඟ කළ පර්යේෂණයන්ට අනුව පිරිමින් ගැහැනුන්ගේ පියයුරුවල ප්‍රමාණය පිළිබඳ එතරම් වධ නොවෙයි. ඔවුන් ආකර්ෂණය වන්නේ එහි හැඩය හා පිහිටීම වෙතයි.

මෙවැනි කතුන් ප්ලාස්ටික් ශල්‍යකර්ම වෙත යොමුවේ. ඉන්ප්ලාන්ට් ක්‍රමය මෙහිදී සිදුවේ. එහිදී කැළැලක් සමේ ඇතිවීමට පුළුවන. එසේ වුවහොත් එය පිරිමියකුගෙන් සඟවා තැබිය හැකි නොහේ. මස් ගොබවල කොටස්, මේද කොටස් ගෙන සම්බන්ධ කිරීම්, ජෙල් අඩංගු ද්‍රව්‍ය ප්ලාන්ට් කිරීමක් එහිදී සිදුවේ. විටෙක මෙය සාමාන්‍ය පියයුරකට වඩා පිරිපුන් බව, හැඩය ඝනත්වය අතින් වෙනස් වේවි. තවත් සමහරකුට පිටතින් පෙනෙන පරිදි ජෙල්වලින් පුරවා ගත් බ්‍රෙසියරයක් ඇඳ බාහිරින් සාමාන්‍ය පෙනුමක් ගෙනදිය හැකියි.

එසේම පියයුරේ වැඩියෙන් මේදය තැන්පත් වී ප්‍රමාණයට වඩා විශාල වී නම් එල්ලා වැටේ නම් දෙපැත්තේ මාංසමය කොටස් වැඩි නම් එය ද ශල්‍යකර්මයක් ඔස්සේ ප්‍රමාණයෙන් කුඩා කළ හැකියි. මේවා රජයේ රෝහල්වල පවා සිදුකෙරෙන අතර සුදුසුකම් ලත් අත්දැකීම් බහුල, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු තෝරා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

හෝර්මෝන ස්‍රාවය වීම වෙනසකට ලක්කරමින් ද මෙවැනි දේ සිදුවේ. මාංසපේශි අතරට විදුලිය යවා කරන ප්‍රතිකර්ම ද තිබේ. එහෙත් සම්බාහන ක්‍රමවලින් බලාපොරොත්තුවන ප්‍රතිඵලය එලෙසම ලැබේවි දැයි සිතිය හැකි නොහේ.

කාන්තා පාර්ශ්වය මෙවැනි වෙනස්කම් කරද්දී එය රූපලාවණ්‍ය පැත්තට වඩා, සෞඛ්‍යය පැත්තට වැඩි බරක් පටවමින් කිරීම ගුණදායක ය.

පුරුෂයන් සඳහා

පුරුෂයන් බොහෝදෙනකුට තම ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය සිත දවන කාරණයකි. මෙය යෞවනයේ සීමා මායිම් බිඳ තරුණ වියට එළැඹෙද්දී හටගන්නා සිතුවිල්ලකි. පිරිමින් තම නිරුවත හුවා දක්වන්නට කැමැත්තක් දක්වද්දී මෙසේ අඩුපාඩුවක් ඇතැයි සිතන පිරිමින් නිතරම සමාජ ආශ්‍රයෙන් පිටමංව සිටියි. එසේ වන්නේ සහෘදයන් අතරේ තමා සමච්චලයට ලක්වේවි යැයි බිඳුණු සිතිනි.

අප රටේ මෙවැනි තත්ත්වයක් දක්නට නැතත් විදෙස් රටවල ක්‍රීඩා කටයුතු ව්‍යායාම් කටයුතුවල නිරතවන පිරිමින් තමන් ඇඟලා සිටින ඇඳුම් සම්පූර්ණයෙන්ම ඉවත් කොට නා ගනියි. මෙහිදී එකිනෙකා ඔවුනොවුනගේ නිරුවත දකියි. යම් හෙයකින් කුඩා ලිංගේන්ද්‍රයක් පිහිටි අයෙක් වෙත්නම් ඔහු නිතැතින්ම හාස්‍යයට ලක්වේ. එතැන් පටන් ඔහු තම ලිංගේන්ද්‍රය විශාල කරගැනීමේ උත්සාහයේ යෙදෙයි.

සාමාන්‍යයෙන් පිරිමින් අතරේ විශාල ලිංගේන්ද්‍රයක් පිහිටීම අභිමානයට කරුණකි. එය ඔවුන් කාන්තාවන් අතර පවා ජනප්‍රිය වීමට හේතුවකි. කාන්තාවන් තමාව පහසුවෙන්ම සුරතාන්තයට පත්කිරීමට මෙවැනි පිරිමින්ට හැකිවේ යැයි සිතයි.

විශාල ලිංගේන්ද්‍රයක් ඇති අයකු ලෙස ලෝක ප්‍රසිද්ධ අයෙකි රුසියානු ඉතිහාසයේ කූප්‍රකට රස්පුටින්. රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් නුවර පිහිටි කෞතුකාගාරයක ඔහුගේ ලිංගේන්ද්‍රය කෞතුක භාණ්ඩයක් ලෙස තැන්පත් කොට තැබීම සුවිශේෂී කරුණකි.

ප්‍රාණවත් නොවූ විටකදී ශිෂ්නයේ ප්‍රමාණය අඟල් හතරකට වඩා වැඩිවූයේ නම් එහි ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් නැත. මෙය මනිනුයේ උකුළු ඇටයට අඩිකෝදුවේ එක් කෙළවරක් තබාගෙනය. පුරුෂයකුගේ රහසඟෙහි සාමාන්‍ය අගය ලෙස ගැනෙන්නේ අඟල් 5.4 ක දිග ප්‍රමාණයයි.

මෙසේ රහසඟේ ප්‍රමාණය අඟල් 4 කට වඩා අඩුවූයේ නම් පමණක් යම් විකල්පයක් කරා යෑමට පෙලඹිය හැකියි. එහිදී පුරුෂ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන්නේ නම් යම් තැන්පත් කිරීමක් හරහා විශාල කරගැනීමේ විකල්පය වෙත යාහැකිවේ. මෙහිදී අසාත්මිකතාවක් නොවේ නම් ලිංගේන්ද්‍රයේ බිත්තිය වටා ශල්‍යකර්මයකින් ජෙල් වැනි දෙයක් තැන්පත් කෙරේ. මෙය පිරිමින් අතර බහුලව භාවිතවන සාර්ථක ක්‍රමවේදයකි.

සිලිකන් ජෙල් ආශ්‍රයෙන් කරන මෙවන් ප්‍රතිකර්මවලද අදාළ අංගයන් ගුවන් යානයක යද්දී පුපුරා යාවී යන බියක් තිබුණත් වත්මනේ මේ සඳහා යොදා ගන්නා නවීන තාක්ෂණය ඊට උචිත පරිදි සාදා තිබේ.

වායු රික්තකයක් ඇතිකර ප්‍රමාණය වැඩිකළ හැකි වුවත් ඒ පිළිබඳ ප්‍රමාණාත්මක සාධක නොමැත.

ටෙස්ටෙස්ටෙරෝන් හෝර්මෝනය ලබාදීම ඔස්සේ පුරුෂ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය පිළිබඳ තීරණයකට එළැඹීම තරුණ වයසේදී කළ හැකි නොවේ. මෙය කුඩා පිරිමි දරුවකුව සිටියදී කළ හැකි පිළියමකි.

තැන්පත් කිරීම්වලදී අප්‍රාණික නොවීම, සංසර්ගයේ දී වේදනා ඇති නොවීම, අනවශ්‍ය ලෙස කැළැල් ඇතිවීම වළක්වාගත යුතුවේ. මේ සියලු දේ සපුරාලීම සඳහා අත්දැකීම් බහුල, සුදුසුකම්ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීම, පහසුකම්වලින් අනූන වූ ශල්‍යාගාරයකදී මෙම සැත්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවීමෙන් මුළු ජීවිත කාලයම විඳවන්නට සිදුවේවි.

කරුණු මෙසේ වුවත් ලද පමණින් සතුටු නොවන ඇතැමෙකු තම ලිංගේන්ද්‍රය තිබෙන ප්‍රමාණයටත් වඩා විශාල විය යුතු යැයි සිතා නොයෙකුත් ප්‍රතිකර්ම කරා යෑමට සිතීම නම් නුවණට හුරු නැත. අපේක්ෂා බිඳවැටී ඉච්ඡාභංගත්වයට පත්වූයේ නම් නොසෑහෙන ලෙස පසුතැවිලි වන්නට සිදුවේවි.

  

උපදෙස්

මනෝ විශේෂඥ වෛද්‍ය

එච්.ඒ. බුද්ධි ජයසේකර

1152 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න