තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 අගෝස්තු 15, අඟහරුවාදා 12:44

තරුණ පෙනුම රැකදෙන බෝංචි විශේෂාංග

ලිව්වේ  මීට චාලට් නැන්දා
අගයන්න
(1 මනාපය)
අපේ ආහාරවේලට යුරෝපයෙන් එකතුවුණු තවත් රසවත් එළවළුවක් තමයි දරුවනේ බෝංචි කියන්නේ. විවිධාකාර නම්වලින් හඳුන්වන බෝංචි ලෝකෙ පුරාම වර්ග එකසිය පනහක් පමණ තියෙනවා. අපේ රටේදි නම් ඔය දරුවන්ට දකින්න ලැබෙන්නේ කොළ පාට බෝංචියි කහ පාටට හුරු බටර් බෝංචියි විතරයි. සෝයා බෝංචි, අවර ආදියත් රනිල කුලයේ බෝංචිවලට සමාන එළවළු වර්ගයි.

 

 

ඒත් ඉතිං අද ඔය දරුවන්ට කියලා දෙන්න යන්නේ පෝෂණය පිරුණු ග්‍රීන් බීන්ස්, ෆ්‍රෙන්ච් බීන්ස් ආදී නම්වලින් හඳුන්වන කොළ පාට බෝංචිවල කතාවයි.

පෝෂණය

කැලරි අඩු, ශක්තිය පිරුණු බෝංචි පිෂ්ටය, ප්‍රෝටීන්, කෙඳි හෙවත් තන්තු, මේදය ආදියෙන් අනූනයි. විටමින්වලින් සපිරි බෝංචිවල විටමින් ඒ, විටමින් බීවලට අයත් තයමින් බී1, රයිබොෆ්ලෙවින් බී2, නියැසින් බී3, පැන්ටොතෙනිස් ඇසිඩ්, ෆෝලේට් වගේම විටමින් සී හා කේ ත් අඩංගුයි. මිනරල් හෙවත් ඛනිජලවණ ගැන කිව්වොත් කැල්සියම්, යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොස්පරස්, පොටෑසියම්, සින්ක් ආදියෙන් සපිරියි.

ඔන්න එහෙම නම් දැන් ඔය දරුවො දන්නවා බෝංචිවල පිරී ඇති පෝෂණය. එහෙම නම් බාල, තරුණ, මහලු කොයි කවුරුත් බෝංචි ආහාරයට ගත්තොත් හොඳා. බෝංචිවල තවත් විශේෂිතම

ලක්ෂණයක් තියෙනවා දරුවනේ. ඒ තමයි රෝගී, නිරෝගී කොයි කාටත් වෙනසක් නැතිවම බෝංචි ආහාරයට ගත හැකි වීමයි. බෝංචි ඇටවලත් ප්‍රෝටීන් හා පිෂ්ටය බහුලයි. මේතරම් ගුණදෙන බෝංචි මස්, මාංස නොකන කවුරුත් කෑමට ගතයුතුම එළවළුවක් තමයි.

ළපටි බෝංචි අමුවෙන් සලාදවලට එකතුකර ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ස්ටීම්කර ඒ කියන්නේ දරුවනේ හුමාලයෙන් තම්බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෑංජනේට උයන්නත් පුළුවන්. මැල්ලුමටත් ගන්නවා.

තෝරාගන්නේ කොහොමද?

වෙළෙඳපොළට ගියාම නරක් නොවුණු මෝරපු නැති කරල්වලින් තෝරලා ගන්න. මෝරපු කරල්වල කොසුගතිය වැඩියි. ඒවා කෑමට අපහසුයි. ඒ හින්දා හොඳට මෝරලා තියෙන කරල්වල ඇට ආහාරයට ගන්න පුළුවන්. බෝංචි කරල දෙපසින් යන්තම් කඩලා කෙඳි ඇරලයි උයන්න පිහන්න ගන්නේ. වෙළෙඳපොළෙන් ගේන බෝංචි කවරයක ඔතා ශීතකරණයේ සතියක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

දියවැඩියාවට සහ අස්ථිවලට ගුණයි

බෝංචිවල අඩංගු කෙඳි හා පිෂ්ටය නිසා රුධිරයේ සීනි මට්ටම නියමිත පරිදි පවත්වාගෙන යනවා. ඒ නිසා දරුවනේ බෝංචි කියන්නේ දියවැඩියා රෝගීන්ට ගුණදායි එළවළුවක්.

අස්ථිවල නිරෝගිබවට ද බෝංචි හොඳයි. එයට හේතුව වෙන්නේ බෝංචිවල කැල්සියම් අඩංගුවීමයි. අස්ථි ශක්තිමත් වුණාම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් වැළකෙන්නත් පුළුවන්. බෝංචිවල තියෙන විටමින් ඒ, කේ වගේම සිලිකන් මගින් ද අස්ථි නිරෝගී කරනවා. සිලිකන් මගින් අස්ථි ප්‍රතිජනනය කරනවා. මේ පෝෂ්‍ය පදාර්ථ හිඟ වුණොත් අස්ථි ක්ෂයවී දුර්වල වී යනවා.

ඒ වගේම තමයි දරුවනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් බෝංචි විශාල මෙහෙයක් ඉටුකරනවා. ඒකට හේතුව වෙන්නේ බෝංචිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය. ඒ වගේම සිරුරේ ඇති විස ඉවත්කරනවා. සිරුරේ ඇති පටකවලට හානිකරන රෝග කාරක සිරුරෙන් ඉවත් කරනවා.

ඇස්වලට හොඳයි

ඇස් රෝග සඳහාත් බෝංචි ගුණදෙනවා. බෝංචිවල බීටා කැරොටීන් අඩංගුවීම ඒකට හේතුවයි. ඇසේ ඇති කහ ලපය නිරෝගී කරන නිසා හොඳ පෙනීමක් ලබාදෙනවා.

හෘද වාහිනී ප්‍රකෘතිමත් කිරීමේ ගුණයත් බෝංචිවල අඩංගුයි. ධමනිවල ලේ කැටි ඇතිවීමත් වළක්වනවා. ඒ නිසා හෘද රෝගත් වළකනවා.

මලබද්ධය වළකනවා

බෝංචිවල කෙඳි හෙවත් තන්තුත් බහුලයිනේ. ඒ නිසා හොඳින් මල පිටකරනවා. මලබද්ධය වළකනවා. ඒ නිසා මලබද්ධය ඇති කවුරුත් නිතර නිතර බෝංචි ආහාරයට ගන්නවා නම් එයින් වැළකෙන්න පුළුවන් දරුවනේ.මෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නේ බඩවැල්වල පිළිකා ඇතිවීමේ අවදානමත් බෝංචි ආහාරයට ගැනීමෙන් වළක්වාගත හැකිවීමයි. ඒකට හේතුව වන්නේත් බෝංචිවල අඩංගු අධික කෙඳි බහුලබවයි. ඒ විතරක් නෙමේ වෙනත් ආන්ත්‍රික රෝගත් වළකනවා.

ගර්භණී මවුවරු ආහාරයට එක්කර ගත යුතුම එළවළුවක් ලෙසත් බෝංචි හඳුනාගන්න පුළුවන්. බෝංචි ආහාරයට එකතුකර ගත්තොත් අලුතින් උපදින දරුවන්ගේ ස්නායු පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒවගේම ළදරු සිරුර වෙනත් ආසාදනවලින් ආරක්ෂා කරනවා

සම ලස්සන කරනවා

දිදුලන, දීප්තිමත් සමක් හිමිකර ගැනීමටත් බෝංචි ගුණයි. සම රැලිවැටීම වළකන අතරම ඉක්මනින් වයසට යාමත් වළක්වන්න බෝංචිවලට පුළුවන්. වැඩිහිටි අයගේ මාංසපේශී දුර්වලතාවලටත් බෝංචි ගුණයි. සිරුරේ ඇති සෛල ආරක්ෂා කරනවා.

මේ විදිහට සුපිරි පෝෂණයක් ගෙන දෙන බෝංචි ආහාර ලෙසින් එකතුකරගන්න පුළුවන් මොන ක්‍රමවලට ද කියලත් බලමුකෝ

පානයක්

බෝංචි යුෂ ලෙස සකසා පානය කරන්න පුළුවන්. මෙය දියවැඩියා රෝගීන්ට වගේම අනෙක් අයටත් ගුණයි. ඒ සඳහා බෝංචි ග්‍රෑම් 200 ක්, නිවිති කොළ ග්‍රෑම් 200 ක්, පිපිඤ්ඤා ගෙඩි 2 ක් හා ලෙමන් ගෙඩියක් අවශ්‍ය වෙනවා. මේ සියලු ද්‍රව්‍ය හොඳින් සෝදාගන්න. ලෙමන් ගෙඩිය පොතු ඉවත්කර ගන්න. ඊට පස්සෙ සියලුම ද්‍රව්‍ය කැබලිවලට කපා ජූසරයකට හෝ බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ්කර පානය කරන්න. ලෙමන් ගෙඩිය වෙනම යුෂ මිරිකා එකතු කරනන්නත් පුළුවන්.

මැල්ලුමටත් රසයි

ඒ සඳහා බෝංචි ග්‍රෑම් 200 ක්, රතු ලූනු ගෙඩි 2 - 3 ක් අමුමිරිස් කරල් 2 - 3 ක්, කරපිංචා, අබ, පොල්තෙල්, රස අනුව ලුණු, ගාගත් පොල්, කහ කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය කරනවා.

බඳුනක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වෙන කොට අබ, ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා දමා තරමක් බැදගන්න. එයට සිහින්ව ලියාගත් බෝංචි, ගාගත් පොල් දමා කලවම් කරන්න. මිරිස් කුඩු, කහ කුඩු හා රස අනුව ලුණු එකතුකර තරමක් මැලවෙන කොට ළිපෙන් ඉවත්කර කෑමට ගන්න.

රසවත් වෑංජනයක්

බෝංචි ග්‍රෑම් 450 ක්, ලොකු ලූනුගෙඩි 1/2 ක්, සිහින්ව ලියාගත් සුදුලූනු මේස හැඳි 2 ක්, තළාගත් ඉඟුරු මේස හැඳි 1 ක්, සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 2 - 3 ක්, බටර් මේස හැඳි 1 ක්, ඔලිව් තෙල් මේස හැඳි 1 ක්, සෝයා සෝස් මේස හැඳි 2 ක්, තලතෙල් තේ හැඳි 1/2 ක් (කැමැති නම්) රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු, සැරසීමට තල ඇට ඕනෙ කරනවා. බෝංචි හොඳට සෝදලා නූල් ඇරලා අඟලක් පමණ දිග කෝටස්වලට කඩාගන්න. වතුර බඳුනක් ළිය තබා හොඳින් උතුරන විට කපාගත් බෝංචි දමා විනාඩි 2 - 3 ක් තබා වතුර බේරාගන්න. උණු ජලයෙන් බේරාගත් බෝංචි ඇල් ජලයට දමා පසුව එම වතුරත් බේරා ඉවත්කර ගන්න. තාච්චියක් හෝ එවැනි බඳුනක් ළිප තබා එයට බටර් සහ ඔලිව් තෙල් දමන්න. තෙල් රත්වෙන විට ලියාගත් ලොකු ලූනු සුදුලුනු, අමුමිරිස්, ඉඟුරු දමා විනාඩි 2 - 3 ක් බැදගන්න. එයට දිය බේරාගත් බෝංචි දමා තවත් විනාඩි 2 - 3 ක් හැඳිගාමින් පිසගන්න. එයට සෝයා සෝස් සහ තලතෙල් එකතුකර තවත් විනාඩියක් පමණ පිස ළිප නිවන්න. එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු එකතු කරන්න. ළිපෙන් පිටතට ගෙන තල ඇට එකතුකර පිළිගන්වන්න.

බෝංචි සලාදය සඳහා

ළපටි බෝංචි ග්‍රෑම් 200 ක්, ලොකු ලූනු ගෙඩියක්, කුඩා තක්කාලි ගෙඩි 2 - 3 ක්, ගම්මිරිස්, ලුණු, ඔලිම් තෙල් ස්වල්පයක්, බෙල්පෙපර් 1/2 ක් හෝ අමුමිරිස් කරල් 1 - 2 ක් අවශ්‍ය වෙනවා.

බෝංචි කෙඳි හැර සෝදාගන්න. එය දෙකට කපා නටන උණුවතුර බඳුනක් මත හිල් සහිත බඳුනක් තබා විනාඩි 2 - 3 ක් ස්ටීම් කරගන්න. ස්ටීම් කරගත් බෝංචි ඇල් දිය බඳුනකට දමා පිටතට ගෙන හොඳින් දිය බේරාගන්න. එයට ලූනු, අමුමිරිස්, තක්කාලි සිහින්ව ලියා එකතුකරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා ඔලිව් තෙල් එකතුකර කලවම්කර කෑමට ගන්න. අවශ්‍ය නම් දෙහි ස්වල්පයක් ද එකතුකරගත හැකියි.

දැන් ඔය දරුවෝ කටට රසට බෝංචි හදන්නත් දන්නවානේ. මීට අමතරව සුප් විදිහට වගේම තවත් ගොඩක් ක්‍රමවලට සකසා බෝංචි රස විඳින්න පුළුවන් දරුවනේ.

 

 

748 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න