තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:56

පවුල රැකෙන රහස දැනගන්න විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
කසාදය තිත්ත කසායක් ලෙස පෙනෙන මොහොතකදී අපේ දූලා පුතාලා දික්කසාදය මිහිරැති විසඳුමක් ලෙස හිතනවා. ඒත්, කසාදය රැකගැනීමට ඉවසිලිමත්වීම මිසෙක දික්කසාදයට ඉක්මන්වීම සිදුවිය යුත්තක් නොවෙයි.

 

දෑඟිලි බැඳුණු රන්කෙන්ද ලිහෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීත් යළිත් එකතු කළ පවුල් බොහොම ලස්සනට ඉදිරියට ඇදෙනවා. ඒ නිසාම ඔහු ගැන ඈ ගැන හිත බිඳුණු පමණින් විවාහය අහවර කරගන්න හිතන්න එපා. කොන්දේසි විරහිතව අනෙකාට සමාව දියහැකිනම් එය විවාහ ජීවිතයේ ප්‍රීතිමත් ඉදිරියක් වෙනුවෙන් ගන්නා රත්තරං වටිනා පියවරක් වනවා.

මගේ ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයෙන් පිටවී අවුරුදු දහයකට පස්සේ මා හමුවීමට පැමිණියා. ඇගේ දෙපස තවමත් පාසල් නොයන වයසේ සුරතල් පුතුන් දෙදෙනකු හිටියා. ඇගේ දෑතේ වූ මාස ගණනක බිළින්දිය හීනෙන් හිනැහෙනවා. ඒත් මේ පුංචි දරුපැටවුන් ඔවුන්ගේ අම්මා මා සමඟ කතා කරන්නේ තාත්තාගෙන් වෙන්වෙන්න හිත හදාගන්න බව දන්නේ නැහැ. සැබැවින්ම මගේ ශිෂ්‍යාව මට කියන්නේ මේ ලෝකයේ නෑසිය යුතුම කතාවකුයි.

“සර්, මගේ මහත්තයා මටයි දරුවන්ටයි හොඳට සලකනවා. විවාහ වුණාට පස්සේ අපි ජීවත්වෙන්නේ අපේම ගෙදරකයි. බබාලා හම්බවෙන හැම අවස්ථාවකම දුරබැහැර ඉන්න මගේ අම්මා අපට උදව්වට අපේ ගෙදර එනවා. මගේ බබාලා තුන්දෙනාම සීසර් සැත්කමෙනුයි බිහි වුණේ. මට දුකක් නොවෙන්න කියලා මේ තුන් අවස්ථාවේම මහත්තයා මාව පෞද්ගලික රෝහලකයි නැවැත්තුවේ. ඩොක්ටර් මට ගෙදර යන්න පුළුවන් කිවුවත් මහත්තය වැඩියෙන් ගෙවලා තවත් දවස් දෙක තුනක් රෝහලේ තියලා තමයි මාව ගෙදර අරගෙන ආවේ.

මං දූ ඉපදිලා ගෙදර ආවේ සති දෙකකට පස්සේදීයි. මගේ අම්මා ගෙදර කටයුතු බලාගත් නිසා මගේ හිතට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් මං ගෙදර ඇවිත් දෙවැනි දවසේ රෑ හදිසියේම අවදි වී බලද්දී මගේ මහත්තයා ඇඳේ හිටියේ නැහැ. මං අම්මා නිදාගෙන හිටිය කාමරයේ දොර රෙද්ද ඈත්කරලා බැලුවේ අම්මාව ඇහැරවන්නයි. ඒත් දෙවියනේ, මං දැක්කේ දුවක් දකින්න ඕන දෙයක් නෙමෙයි.

මගේ හුස්ම ටික නතර වුණා වගේ දැනුණා. ඒත් මං කෑගැහුවේ නෑ. කෑ ගැහුවොත් ඒ වෙලාවේ මගේ මහත්තයා මාව මරයි හිතුණා. අනේ සර්, දරුවන්ව තුරුලු කරගෙන මං ඉකි බිඳ බිඳ ඇඬුවා. ඒත් මගේ දුක කලකිරීම කඳුළුවලින් දියකරන්න බෑ.

පස්සේ මං මේ ගැන අහද්දී මහත්තයා කිව්වේ මට පිස්සු කියලයි. අම්මා කිව්වේ මං හීනයක් දැකලා කියලයි. මේ දරුවන්ට තාත්තාව නැතිව බෑ. ඒත් මට මගේ මහත්තයා එක්ක තවත් නම් ජීවත්වෙන්න බෑ. මට කසාදය නෙමෙයි ජීවිතයම එපා. අනේ සර්, මට ඒ සිදුවීම අමතක කරන්න බේතක්වත් තියනවාද?”

මේ දුගේ ප්‍රශ්නයට පිළිතුර වුණේත් කොන්දේසි විරහිතව සමාව දීමේ ඖෂධයයි. ඒ ගැන ඒ දූට පැහැදිළි කළේ මෙහෙමයි.

“දුවේ, මේ දේ මනුෂ්‍ය ලෝකයේ සිද්ධවිය යුතු දෙයක් නෙමෙයි. ඒත් ජාතක කතා පොතෙත් දුගේ කතාවම තියනවා. මේ ප්‍රශ්නයට මුහුණදුන් එකම ගැහැනිය දුව නොවෙයි. කොහොම වුණත් දුවේ, දික්කසාදය නම් දරු තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ගන්නට හොඳ තීරණයක් නෙමෙයි. ආයෙමත් දූ කවමදාකවත් අම්මාව ගෙදරට ගෙන්වා ගන්න එපා. ඒ සිදුවීම හිතට එද්දී මහත්තයාගේ හොඳ ගතිගුණ ගැන හිතන්න, හිතට බල කරන්න. කාලයත් එක්ක දූගේ කලකිරීම තුනීවෙලා යාවි. ඔයාට ලස්සන පවුල් ජීවිතයකුත් ඉතිරිවේවි.”

මගේ උපදේශනය පිළිගත්තු මේ දුවට අද බොහොම හොඳ පවුලක් තියනවා. “සර් අප්පච්චි කෙනෙක් වාගේ මට දුන්නු උපදේශය නිසා අද මගේ දරුවන්ට ආදරණීය තාත්තෙක් ඉන්නවා.”

“ඇය කොහේදී හමුවණත් මා ළඟට ඇවිදින් කියනවා.”

අපේ සමාජයේ බොහෝමයක් පවුල් ඉහිරෙන්න එදා වගේම අදත් නැන්දම්මා ලේලි ගැටුම හේතුවන අවස්ථා නැතුවා නොවෙයි. නැන්දම්මාත් සැමියාත් අතර තිබෙන බැඳීම ගැන හිතින් කරදර උපදවා ගත් තවත් මගේ ශිෂ්‍යාවක් දික්කසාද තීරණයට එළඹී සිටියා. ඇය ඒ ගැන කීවේ මෙවැනි කතාවකුයි.

“මං විවාහ වුණේ යෝජනාවකිනුයි. මගේ හස්බන්ඩ් පවුලේ එකම පුතා. තාත්තාගේ අකල් වියෝවෙන් පස්සේ එයාව උස්මහත් කරන්න උගන්වන්න අම්මා නොසෑහෙන්න වෙහෙසුණාලු. ඒ නිසාම මේ පුතායි ඒ අම්මායි අතරේ ලොකු බැඳීමක් තිබුණා.”

පුතා වැඩ ඇරිලා එනකල් අම්මා මඟ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ පුතාට තේ එක හදලා දෙන්නේත් අම්මාමයි. අම්මා පුතා කෑම ටික කනතුරාත් ළඟට වෙල ඉන්නවා. ඊළඟට මේ දෙන්නා තවත් පැයක් දෙකක් ආගිය තොරතුරු කතා කර කර ඉන්නවා. මං කාමරයට වෙලා තනිකම විඳවනවා. හස්බන්ඩ්ට මාව තේරෙන්නේ නැහැ. නිදාගෙන ඉන්න මට කරදරයක් නොවෙන්න එයාත් පාඩුවේ නිදාගන්නවා.

කසාද බැඳලා අට මාසයක් වෙනවා. මට මේ දීගයෙන් වැඩක් නෑ. මං දික්කසාදවීමේ වරදක් නැහැ නේද?”

මේ දූගේ කඳුළේත් මානුෂීය පැතිකඩක් තිබෙනවා. ඒත් මෙවැනි ගැටලු කිසිසේත්ම දික්කසාදයක් දක්වා ගෙන යායුතු නැහැ. ඇත්තටම අම්මාට ආදරය කරන පුතකුව බිරිඳගේ පැත්තට හරවා ගැනීම කිසිසේත්ම අපහසු වන්නේ නැහැ. කළ යුත්තේ ඔහුගේ අම්මාට ගරුකරමින්ම සැමියාව දිනා ගැනීමයි. ඒ නිසාම මගෙන් ඒ දූට මෙවැනි උපදේශයක් ලැබුණා.

“දුවේ, ඒ අම්මාටවත් ඔයාගේ මහත්තයාටවත් බණින්න යන්න එපා. මහත්තයා රෑ කීයට හරි ඔයාගේ ඇඳට එනවා නේද කියලා ඉස්සරවෙලාම හිතන්න. ඇත්තටම ඒ වෙද්දී ඔයාගේ හිත තරහින් පිරිලා නේද? ඔයා ඉන්නේ තරහින් නිදාගෙන නේද? ඔය දෙදෙනාව තව තවත් ඈත් කරන්නේ මේ තරහවයි. අද ඉඳලා දූ මහත්තයා ඇඳට ආවාම එයාගේ හිස ආදරයෙන් අතගාන්න. මහත්තයා මොකවත්ම නොකිව්වත් ඊළඟ දවසේත් මහත්තයාගේ හිස ආදරයෙන් පිරිමදින්න. ඔයාගෙ ආදරය දැනෙද්දී මහත්තයාට පවුල් ජීවිතය මතක් වේවි.”

මගේ උපදේශනයෙන් තෙමසකට පස්සේ ඒ දුව මට දුරකථනයෙන් කතා කළා.

“ඇත්තමයි සර්, දැන් මගේ හස්බන්ඩ් හරි හොඳයි. අම්මටයි එයාටයි දෙන්නාටම රසම රස තේ දෙකක් හදන්න කියලා මහත්තයාම මට කියනවා. ඒත් එයාගේ අම්මා නම් දැන් මං වැඩිය මහන්සි වෙනවාට කැමතිත් නැහැ. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි මං අම්මා කෙනෙක් වෙන්න යන නිසායි.”

දික්කසාද කඳුළකට වඩා රැකගත් පවුල් ජීවිතයකින් ගලන මේ සතුට මොනතරම් මිහිරිද? පවුල් ජීවිතයක් ශක්තිමත් වන්න ගැහැනියකගේ ඉවසීමයි - සමාවදීමයි බොහොම වටිනවා.

  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත්

තරුණීට පමණක්ම ලබාදෙන ජීවිතයට 

807 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න