තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 මැයි 28, සඳුදා 12:24

ආයුර්වේද දින චර්යාවෙන් ආකර්ෂණීය චරිතයක් වෙන්න... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ලස්සන වීමට හැම අයකු තුළම කැමැත්තක් පවතී. එහෙත් බොහෝ දෙනා ලස්සන වීමට හදන්නේ ඉතාමත් ලෙහෙසි පහසු ක්‍රම මඟිනි.

 

වෙළෙඳපොළෙන් ලබා ගන්නා ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් ලස්සන වීමට හිතන අපේ කාන්තාවන් ඒ වෙනුවෙන් වෙනත් යමක් කිරීමට නොසිතයි. ජීවිතයේ දී ඕනෑම දෙයක් ලබා ගැනීමට යම් කැප කිරීමක් අවශ්‍ය වේ. ලස්සන රුවක් සඳහා ද ඔබට යම් කැප වීමක් කිරීමට සිදු වේ.

එසේ නැතිව ලෙහෙසියෙන් පහසුවෙන් ජීවිතයේ වටිනා දේ ලබා ගත නොහැකිය. ලස්සන රුවක් සඳහා අපට අමාරු දේවල් සිදු කළ යුතු නැත. එහෙත් අපගේ ජීවිතය යම් රටාවකට හැඩගස්වා ගැනීම මඟින් රුව ලස්සන කරගැනීමට මෙන්ම නිරෝගී සිරුරකට ද හිමිකම් කිව හැකිය.

ආයුර්වේද රූපලාවණ්‍ය අනුව කෙනකුගේ නිරෝගී පැවැත්මට මෙන්ම අභ්‍යන්තර හා බාහිර සුන්දරත්වයට ද බෙහෙවින් බලපාන විශේෂ ඇවතුම් පැවතුම් පවතී. ඉන් ප්‍රධානතම අංගයක් ලෙස එදිනෙදා වැදගත් වන ආයුර්වේද දින චර්යාව ගැන කාන්තාවක් ලෙස දැනුවත් වීම ඉතා වැදගත් වේ.

විශේෂයෙන් පුද්ගලයකු විසින් අනුගමනය කළ යුතු මෙම ක්‍රමවේදය ඈත අතීතයේ සිටම පැරැණි ඍෂිවරු පවා සිදු කළ සත්කාර ක්‍රමයන් බව පැවසේ. දින චර්යාව සැකසෙන ආකාරය අපි හොඳින් පිරික්සා බලමු.

 

බ්‍රහ්ම මුහුර්ථියෙන් අවදි වීම

මෙහිදී ප්‍රථමයෙන් බ්‍රහ්ම මුහුර්ථියෙන් අවදි වීම සිදු කළ යුතුයි. බ්‍රහ්ම මුහුර්ථිය යනු විශ්ව ශක්තිය ලෝකයට මුදා හරින වේලාවයි. මෙය අළුයම 4.24 සිට 5.42 දක්වා කාලයයි.

මෙම කාලයේ දී අවදි වීම මඟින් දූෂිත වායුවෙන් තොර පිරිසුදු වාතය අශ්වාස ප්‍රශ්වාස කිරීමට හැකියාව ලැබේ. මල් පිපෙන ආකාරය බැලීමටත් කුරුළු නාදය ශ්‍රවණය කිරීමටත් හැකි වේ. මේ නිසා සොඳුරු නැවුම් පරිසරයක සිරිය විඳීමට ඔබට හැකියාව ලැබේ. මෙය සිත, දැනුම ආශි‍්‍රත ක්‍රියාවන් වල දී වැඩියෙන් ප්‍රයෝජනවත් වේ.

පිරිසුදු වීම

මෙහිදී අතීතයේ දැහැටි කූරක් ලෙස බෝඹු, කුරුඳු, කරඳ, නුග වැනි කූරක් භාවිතකර දත් පිරිසුදු කිරීම සිදු කළේය. ඒ මඟින් මුඛයේ එන්සයිම ක්‍රියාකාරීත්වය ඇති වීම, විදුරුමස් ශක්තිමත් වීම මෙන්ම මෙම කෝටුවල ඇති කහට වර්ග මඟින් හොඳ ප්‍රතිකාරයක් මුවට ලැබීම සිදු වේ.

ඉන් පසුව මුව සෝදා පිරිසුදු වතුර වීදුරුවක් පානය කිරීම ද ඉතා වැදගත් ය. ඒ මඟින් හොඳින් රුධිර සංසරණය සිදු වේ. පෙනහලුවල ක්‍රියාකාරීත්වයට ද වැදගත් වේ. එමෙන්ම සිරුරේ දූෂිත කොටස් බැහැර කිරීමට ඔබ අවදි වූ විගස ගන්නා වතුර වීදුරුව උපකාරී වේ.

මල ද්‍රව්‍ය බැහැරලීම

ඉන්පසුව වැසිකිළියට ගොස් මුත්‍ර මලපහ කිරීම මඟින් සිරුරේ ඇති දූෂිත කොටස් ඉතා පහසුවෙන් බැහැර කරලීමට හැකි වේ. ඒ මඟින් ඔබට ශාරීරිකව හා මානසිකව සහනයක් ලැබීම නිසා දවස හොඳින් ඇරඹීමට හැකියාව සලසයි. ශාරීරක අපහසුතාවකින් මෙන්ම මානසික අසහනයකින් තොරව දවස ගෙවීමට මෙය වැදගත් වන්නකි.

ස්නානය

මේ සියල්ලට පසුව උදය වරුවේ ස්නානය කිරීම වැදගත් වේ. මෙහිදී මඳ උණුසුම් ජලය භාවිත කිරීම වඩා සුදුසු ය. විනාඩි 20 ක පමණ වේලාවක් ස්නානය සඳහා ගත කළ යුතුය. ඉන්පසුව සිරුරේ තෙල් ගැල්වීම, ඇස්වලට අඳුන් ගැල්වීම, නස්න කිරීම වැනි දේ මඟින් සිරුරට සැහැල්ලුවක් ලැබෙන අතරම එය නිරෝගී බවට හා බාහිර අලංකාරයට ද වැදගත් වේ.

අද වන විට සිරුරේ තෙල් ගැල්වීම වෙනුවට නොයෙකුත් ආලේපන ගැල්වීම සිදු කරයි.

සූර්ය නමස්කාරය

පසුව සූර්ය නමස්කාරය, තමන් අදහන ආගමට අනුව එය නැමදීම සිදු කළ යුතුය. විනාඩි 10 ක පමණ වේලාවක් භාවනා කිරීම, මෛත්‍රී සිතිවිලි ඇතිකර ගැනීම, සුබවාදී ලෙස ලෝකය දෙස බැලීම වැනි දේ කිරීම මඟින් ඔබගේ මානසික තත්ත්වය නිරවුල්කර ගැනීම මානසික සෞඛ්‍යයට ද වැදගත් වේ.

ප්‍රාණ යාමය

මෙමඟින් හුස්ම ගැනීම නිසියාකාරයෙන් සිදු කරයි. නිසි ලෙස ගැඹුරින් අශ්වාස ප්‍රශ්වාස කිරීම මඟින් පෙනහලුවලට පිරිසුදු වාතය පුරවමින් අපිරිසුදු වාතය පිට කිරීම සිදු වේ. එමනිසා ශරීරයට හුස්ම ගැනීමට පහසු කරවීම සඳහා ශාරීරික ව්‍යායාම කිරීම ද වරදගති වේ.

ආහාර ගැනීම

මෙහිදී සමබල එනම් පෝෂණයෙන් යුතු උදෑසන ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් ය. අවම වශයෙන් උදේ 7-8 ත් අතර වේලාවේ ආහාර ගැනීම සිදු කළ යුතුය. රජකු ලෙසින් උදේ ආහාරය ගත යුතු බව පැරැණි ආයුර්වේද පොතපතෙහි සඳහන් වේ.

ආහාරයෙන් පසු තමා විසින් දිනය තුළ කළ යුතු කාර්යයන් පිළිබඳ මතකයට නගාගෙන ඒවා සකසා ගත යුතුය. එමෙන්ම තමාගෙන් සමාජයට ඉටු විය යුතු සේවය වඩාත් හොඳින් යහපත්ව කිරීමටත් දිනය ඉතා හොඳින් ගත කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරමින් වැඩ අරඹන්න.

නිරෝගී මෙන්ම සමාජයේ කැපී පෙනෙන සුන්දරත්වයකින් යුතු කාන්තාවක් වීමට මෙම ආයුර්වේද දින චර්යාව ඔබට වැදගත් වේ.

 

 

උපදෙස් ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

571 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 28, සඳුදා 12:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න