තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 13:44

සිත සුව වඩවන රුව ලස්සන කරවන යෝගා විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
තට කිසිම සැහැල්ලුවක් නෑ. විවේකයක් ඇත්තෙම නෑ. වෙලාවකට ජීවිතේ එපාවෙනවා. ඔබ මෙන්න මේ වගේ හිතන කෙනෙක්ද? වර්තමානයේ පවතින කාර්යයබහුල ජීවිත එක්ක වැඩිදෙනකුට හිතේ සැනසීම අහිමිවෙලා.

 

දහසකුත් එකක් වූ වැඩකටයුතු සමඟින් හෙම්බත්වන ජීවිතවලට කිසිම නිවනක් නැතිතරම්. මේ වගේ වෙලාවට තමයි හිතට සැනසීමක්, සුවයක් ලබාගන්න ක්‍රමයක් ගැන වැඩි දෙනෙක් සිතන්නේ.

එවන් අවස්ථාවන්වලදී යෝගා අභ්‍යාසයන් ඔබේ ජීවිතයට සුවසහනය ළඟාකර දෙන්නට මහඟු රුකුලක් කරගන්නට පුළුවන්. ඒ මොන ආකාරයෙන් ද යන්න ගැන අප ඔබට මෙතැන් සිට උපදෙස් ලබාදෙන්නට සූදානම්. එම උපදෙස් හොඳින් අධ්‍යයනය කරන්න. එවන් යෝගාසන තුළින් ඔබේ ජීවිතයට ඇතිවන වෙනස මනසට ගෙනදෙන සුවය කොතෙක් ද යන්න ඔබට වටහාගන්නට හැකිවේවි.

යෝගා කිව් සැනින් අප මනසට පැමිණෙන්නේ යෝගා ආසන පමණි. නමුත් එය එහි එක් අවධියක් පමණයි. යෝගා යනු අප සිත දමනයකර විමුක්තිය කරා ගෙනයාම සඳහා නිර්මාණයකර ඇති ප්‍රධාන ඉන්ද්‍රීය දර්ශකයන් හයෙන් එකකි. එහිදී යෝගා වෙනස්වන්නේ ආගමික පදනමට වඩා මානසික හා ශාරීරික දියුණුව උදෙසා ක්‍රමවේදයන් සකස්කර ඇති බැවිනි.

යෝගාහි ප්‍රධාන අංග අටක් වන අතර ඒවා නම්,

* යාම - පුද්ගලයකු විසින් රැකිය යුතු ශීලයක්

* නියාම- යෝගා කිරීම සඳහා රැකිය යුතු රීති

* ආසන - ශරීරයේ නිරෝගී පැවැත්ම සඳහා

කළයුතු ඉරියවු

* ප්‍රාණයාම - හුස්ම ගැනීමේ ක්‍රමවේදයන් (ශ්වසන අභ්‍යාස)

* ප්‍රත්‍යහාර - පංචේන්ද්‍රියන් දමනය කිරීම

* ධාරණ - සිත දමනයකර එක අරමුණක

පිහිටුවීම

* ධ්‍යාන - භාවනා ක්‍රම

* සමාධි - විමුක්ති මාර්ගයට පිවිසීම

මෙම අංග අට ප්‍රගුණ කිරීම යෝගාහිදී සිදුකරනු ලබයි. මෙහි යාම හා නියාම, ආසන හා ප්‍රාණයාම ඕනෑම වයසක, ඕනෑම තලයක, ඕනෑම පුද්ගලයකුට ප්‍රගුණ කළ හැකිවෙයි.

මෙම ලිපි පෙළින්, යෝගාහි ගැඹුරු දැනුම මෙන්ම සරල අභ්‍යාස, ආහාර රටාව, යෝගී පානයන් හා මානසික හා ශාරීරික නිරෝගී බව සඳහා කළයුතු දේ පිළිබඳ ඔබට දැනුවත් බවක් ගෙනදීමට අප අදහස් කරමු.

රුව ලස්සන වන්නේ කෙසේ ද?

ඔබ නිවැරැදි ආහාර රටාවක් අනුගමනය කරන්නේ නම්, හොඳින් හුස්ම ගන්නේ නම්, හිත පිරිසුදුව තබාගන්නේ නම් ඔබේ රුව ලස්සන ගෙන දෙන අතර මුහුණ දීප්තිමත් වේ. දෙනෙත් ප්‍රභාමත් වෙයි.

යෝගාවලට අනුව නිවැරැදි දිවිපැවැත්ම ඇතිකර ගත හැක්කේ කෙසේ ද ?

ඔබ බෞද්ධයෙක් නම්, පංචශීලය රකීනම් සැබැවින්ම මෙය ඔබට අලුත් දෙයක් නොවනු ඇත. යෝගාහි පංචශීලය හා යාම බෙහෙවින් සමානය.

ඔබ සතුනට හිරිහැර නොකරයි නම්, අන්සතු දේ නොගනියි නම්, කාම මිත්‍යාචාරයෙහි (අනියම් සබඳතා හා වැරැදි ලිංගික සබඳතා) නොයෙදෙයි නම් අන් අයට ඊර්ෂ්‍යා නොකරයි නම්, අන් අයගේ වචනයන්හි (අනුන් කියන දේ හෝ කිවූ දේ ගැන සිතීම) එල්ලී නොසිට තම අරමුණු කෙරෙහි හිත යොමුකර සිටියිනම් සැබැවින්ම ඔබේ සිත පිරිසුදුය. වර්තමානයේ බොහෝ දෙනා තමන් පිළිබඳ ඉලක්ක තබා නොගනී. අනෙකකුගේ ඉලක්ක හෝ ජයග්‍රහණයන් තමා නතුකර ගැනීම සඳහා පසුපස ලුහුබඳියි. මෙය දැඩි මානසික පීඩාවකි.

විශේෂයෙන්ම කාන්තා ඔබට එයට වඩා විශාල වගකීමක් පැවරී තිබෙයි. ඔබ උදෑසන අවදි වී මිනිත්තු පහක් දවස කළමනාකරණය සඳහා යොදාගන්න.

* මුලින්ම මුහුණ කට දොවා සීතල වතුර වීදුරුවක් හෝ දෙකක් පානය කරන්න.

* හොඳින් ගැඹුරු හුස්මක් ගෙන පිටකරන්න.

* දවසේ වැඩකටයුතු මොනවාදැයි හැකිනම් කොළයක සටහන් කරන්න. (සිතෙන් මෙනෙහි කිරීම අපහසු නම්)

* එකික් එක සඳහා වෙලාව වෙන්කර ගන්න.

* එම වෙලාව තුළ සටහන් කරගත් කාර්යය නිමකිරීමට උත්සාහ කරන්න.

මෙහිදී ඉතාමත් වැදගත් වනුයේ “මේ වැඩකටයුතු” මොනවාදැයි හඳුනාගැනීමයි. ඔබ රාජකාරියක නිරත වෙයිනම් එම කාලය තුළ පෞද්ගලික කටයුතු පටලා නොගත යුතුයි. නමුත් රාජකාරිය තුළත් ඔබට විවේකය ඇතිනම් කළහැකි වැඩ සටහන් කරගන්න. මීළඟට ඔබ ඔබ වෙනුවෙන,් ඔබේ දියුණුව වෙනුවෙන් කළහැකි එක් වැඩක් හෝ සටහන් කරගැනීමට අමතක කරන්න එපා. ඊළඟට දරුවන්ගේ, ස්වාමියාගේ වැඩකටයුතු සඳහා ඔබෙන් ඉටුවිය යුතු ප්‍රධාන යුතුකම් ඊට ඇතුළු කරන්න.

මීළඟට ඔබේ නිරෝගී සුවය රැකීම සඳහා අවශ්‍ය ශාරීරික අභ්‍යාස, පිහිනීම, ඇවිදීම, යෝග අභ්‍යාස, භාවනාව සඳහා ද කාලයක් වෙන්කරගන්න. මෙලෙස දවස කළමනාකරණය කරගැනීම මඟින් ඔබ අතින් කිසිදු දෙයක් මඟ නොහැරෙනු ඇත. එසේම අනවශ්‍ය දෑ සිතමින් කාලය නාස්ති කිරීමට සිදුනොවනු ඇත. ඇතැම් ඊර්ෂ්‍යාකාර සිතුවිලි සහිත පුද්ගලයන් ඔබව බිඳ දැමීමට කටයුතු කළත් එය සිතට නොගෙන අත්හැර දමන්න. ඔබ සිතට ඇතුළු කරගත යුත්තේ ඔබේත්, ඔබේ පවුලේත් දියුණුව උදෙසාත් සිත සැහැල්ලු ලෙස තබාගැනීම උදෙසාත් වැදගත් වන දේ පමණි.

දැන් ඔබේ සිත සැහැල්ලුය. පිරිසුදුය. මෙය යෝගාහි පළමු ඉලක්කය අනුව ඔබ ලබාගත් ප්‍රතිඵලයකි. එසේම ආහාර සහ පානයන් ද සිරුර නිරෝගීකර ගැනීමට ඉතාම වැදගත් වේ. එම නිසා ඔබට සිත සැහැල්ලු කරදෙන පහසුවෙන් නිවසේ දී සාදාගත හැකි පානයක් පවසන්නම්,

උදෑසන අවදිව වතුර වීදුරුවක් බීම වෙනුවට මෙම පානය ලබාගැනීම මඟින් තරබාරු අයකුට නම් තරබාරුකම අඩුකරගැනීමට එය වැදගත් වන අතර සිරුරේ ඇති විෂ සහිත බව අඩුකර ආහාර මාර්ගය පිරිසුදුකර ගැනීමට මෙම පානය ඉතාමත් වැදගත් වෙයි.

1. යාන්තම් රස්නය ඇති උණුවතුර මිලිලීටර් 200 කට මීපැණි මිලිලීටර් 20 ක් (තේ හැඳි 2 ක්) එක්කර හොඳින් දියකරන්න.

2. දෙහි මිලිලීටර් 10 ක් පමණ මිශ්‍රකර (මේ සඳහා පෝච්චි දෙහි වඩාත් සුදුසුයි) පානය කරන්න.

මෙය එකවිට පානයකර හොඳින් ගැඹුරු හුස්මක් ගෙන පිටකර සිත සැහැල්ලු කරගන්න.

ඉන්පසුව ඔබේ උදෑසන වැඩකටයුතු සාමාන්‍ය පරිදි අරඹන්න. පැය දෙකකට පසු යෝගා ආසන සඳහා යොමුවිය යුතුයි. ඔබ රාජකාරියට යාමට පෙර ඒ සඳහා සරල ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාස (පවන මුක්ත ආසන මාලාව) අනුගමනය කළහැකියි.

පවන මුක්ත ආසන මාලාව පිළිබඳ සහ එහි යෙදෙන ආකාරය ලබන සතියේ විමසා බලමු.

 

උපදෙස්

නිමාලී තක්ෂිලා විතානගේ

පශ්චාත් උපාධි යෝග හා මනෝවිද්‍යාව

(අන්ද්‍රා විශ්වවිද්‍යාලය - ඉන්දියාව)

1133 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 13:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න