තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 15:33

ලස්සන සමකට ඡවි විශ්ශෝධනය විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
සඳ වන් වුවනතක් ලබා ගැනීම හැම කාන්තාවකගේ ම පැතුමක්. සුසුදු, පැහැපත් සමක් ලබා ගැනීම සඳහා කාන්තාවන් වෙහෙසෙන්නේ ඉන් රුවට ලැබෙන මනා පෙනුම නිසාමයි.

 

කොතැනක සිටියත් කැපී පෙනෙන රුවක් සඳහා පැහැපත් සමකින් ලැබෙන්නේ විසල් රුකුලක්.

අප ඉපදුණ දා සිට ලැබුණු සුසිනිඳු බව, මටසිළුටු බව සදාකාලිකව පවත්වා ගැනීම අපහසු කටයුත්තකි. දිනෙන් දින අප වියපත් වීමත් සමඟ සම රළු වීම, ලප කැලැල් ඇති වීම, හිරුරැසින් බලපෑම් ඇති වීම, අවපැහැ ගැන්වීම, සමේ නොයෙකුත් දිලීර ආසාදන ඇති වීම වැළැක්විය නොහැකි තත්ත්වයකි. මෙවැනි ආසාදන සඳහා අද වන විට අපේ කාන්තාවන් විසඳුම ලෙස බොහෝ දෙනා විවිධ වූ කෘත්‍රිම ආලේපයන්, වෙනත් විධික්‍රම සිදු කරති. මෙය කාන්තාවන් පමණක් නොවේ, පුරුෂයන් අතරද මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතී. පැහැපත් සමක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් අවදානමක් ගැනීමට බොහෝ දෙනා පෙලඹී ඇත්තේ එහි ඇති පහසුවත් නොදන්නාකමත් නිසයි.

ඇතැම්විට පැහැපත් සමක් ලබා ගැනීමට නොසොයා නොබලා නුසුදුසු දේ සිදු කිරීමෙන් තිබෙන පැහැපත් බවද නැතිවී යා හැකිය. එපමණක් නොව ඇතැම් අයගේ සම විකෘති වී ඇති අයුරුද දකින්නට ලැබෙන්නකි.

පෙර විසූ කාන්තාවෝ මෙන්ම භාරතයේ කාන්තාවන් අදටත් තම රුව වඩවා ගැනීම සඳහා භාවිතයට ගෙන ඇත්තේ ගස්වල මල්, කොළ, ගෙඩි, වැල්, පොතු, මුල්වලින් සකසා ගත් ශාකසාර ආලේපනයන් ය. එමෙන්ම අද වන විට ශාකසාර ආලේපනවලට වෙළෙඳපොළේ පවතින්නේ ද හොඳ ඉල්ලුමකි. ස්වභාවික ලෙස සමට, සිරුරට අහිතකර නොවන ශාකසාර, චූර්ණ වර්ග බොහොමයක් ආයුර්වේදයේ සඳහන් වේ. මෙය ආයුර්වේදයේ ජීවි විශ්ශෝධනය යනුවෙන් හැඳින්වේ.

මෙහිදී සමේ ඇතිවන ලප, කැලැල් ඉවත් වීමටත්, සමේ සෞම්‍ය බව, පැහැපත් බව ඇතිකර ගැනීමටත්, වියළි බව දුරු කිරීමටත්, සම හොඳින් පිරිසුදු කරගැනීමටත් මෙය වැදගත් වේ.

මේ සඳහා,

වැල් මදට, වෙනිවැල්, කොකුම් පොතු, කොහොඹ පොතු, සැවැන්දරා, දොඩම් ලෙලි කුඩු, අමුක්කරා කුඩු යන ද්‍රව්‍යවලින් (කුඩු) මේස හැඳි 3 බැගින් ගෙන එයට එළකිරි, පිපිඤ්ඤා යුෂ, මීපැණි තේහැඳි 2 ක්, කෝමාරිකා යුෂ, නෙල්ලි යුෂ කලවම්කර ආලේපයක් සාදා ගන්න.

මෙය ආලේප කිරීමට පෙර සම තෙත්කර එම ආලේපය සිරුර පුරාම ආලේප කරන්න. එසේ ආලේපකර රවුමට හොඳින් පිරිමැදිය යුතුයි. පසුව එය සමේ හොඳින් වියළෙන්නට හැර (විනාඩි 30කට පමණ පසු) නැවත සම තෙත්කර ආලේපනය පෙර පරිදිම රවුමට සම්බාහනයකරන්න. තවත් විනාඩි 10 ක පමණ වේලාවක් මෙම ආලේපය තිබෙන්නට හැර ඇල් දියෙන් සෝදා හරින්න. මෙය අවම වශයෙන් සතියකට දින 3 ක්වත් සිදු කළ යුතුයි. මෙලෙසින් මාස තුනක පමණ කාලයක් සිදු කිරීමේ දී ඔබට පැහැපත්, නිරෝගී, කැපී පෙනෙන සමක් ලබා ගැනීමට හැකියාව ලැබේවි.

 

 

 

උපදෙස් ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

731 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 15:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න