තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූනි 12, අඟහරුවාදා 15:45

මුදල් තැන්පත් කරන්න ද යන්නේ? විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
මුදලට රැකවරණයක් ලැබෙන ක්‍රම ගැන හොඳින්ම හිතන්න මුදල් සුරක්ෂිත කරගන්න හිතන ඔබට න්දර ජීවිතයක සිහිනය සිත දරාගත් ඔබ කුසට හරි හැටි අහරක් නොගෙන මුදල් ඉතිරි කරයි. අඳින්නට හොඳ ඇඳුමක් ගන්නේ ද ඒ නො ගෙනම බැරි අවස්ථාවක දී පමණි. දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට, හෙට දින මුහුණ දෙන මහලු විය වෙනුවෙන් කිසිවකුට අත නොපා ජීවත් වීමට මෙලෙස මුදල් ඉතිරි කරන්නේ මහ හුඟක් මුදල් තියෙන නිසා නොවේ.

 

 අප ඒ ද්වල් කළ යුතු නිසාය. ඒ හෙට දවස සැනසීමෙන් ගත කරන්නටය. 

එහෙත් අපි දුක් මහන්සියෙන් හම්බකරගත් ධනය අපිට අහිමිව ගියහොත්..... දැනෙණ අසරණකම අමුතුවෙන් කිව යුතු නැහැ නේද? එදවස අප ප්‍රාර්ථනා කළ සැනසීම වෙනුවට හදට දැනෙන්නේ දරාගත නො හැකි කම්පනයකි. සමහරකුට මේ කම්පනය දරාගත නො හැකිව ජීවිතය අහිමිවන අවස්ථා ද නැතුවා නොවේ. ඒ නිසායි අප ඔබට කියන්නේ හෙට දවසේ සැනසීම වෙනුවෙන් අද ඔබ ගන්නා තීරණ බොහෝ නිවැරැදි විය යුතුබව. ඔබේ තීරණ නිවැරැදි වුවහොත් අද ඔබ ගන්නා තීරණය නිසා හෙට දවස ඔබ සිතූ පැතූ ලෙසම සතුටෙන් ගත කළ හැකි වේවි. එය වැරැදි තීරණයක් වුවහොත් සදාකාලික සතුටක් වෙනුවට දුකම පමණක් ජීවිතයට හිමිවනු ඇත. එහෙත් අපි අතර හිඳින බහුතරයක් මුදල් තැන්පත් කරන්නේ නිසි දැනුවත් වීමකින් තොරවයි. ඒ හින්දා මුදල් ටික තැන්පත් කරපු දවසේ ඉඳන්ම සමහර අයට විවිධ ගැටලු. සමහර අයට ටිකක් නෙමේ ගැටලු කෝටියයි. සමහර අයට දාපු මුදල අහිමි වෙන්නේ වාෂ්ප වුණා වගේ.

ඉතින් අපි ගිය සතියේ ඔබට පහදා දුන්නා මුදල් තැන්පත් කරන්න ඉස්සෙල්ලා ඔබ සිතට ගත යුතු කරුණූු කිහිපයක් පිළිබඳ. අද අපි ඒ ඔස්සේ තවත් ඉදිරියට දැනුවත් වෙමු. 

තැන්පතු සහතික 

අපි ස්ථාවර තැන්පත් ගැන කිව්වනේ. එහි දී තැන්පතු සහතික ගැනත් කිව්වා. මේකත් ස්ථාවර තැන්පත් වර්ගයක්. ඔබ තැන්පත් කරන මුදල යම් නිශ්චිත කාලයකදී සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් සමඟ නැවත ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තැන්පතු සහතික සල්ලි තියෙන කාටත් ගන්න පුළුවන්. මෙහිදී බැංකු විසින් අවම මුදලක් තීරණය කරනවා. අපි ළඟ තියෙන මුදල යම් නිශ්චිත කාලයකට නිශ්චිත පොලියකට තැන්පත් කිරීම සිදුවනවා. හැබැයි මේ පොලිය වෙනස් වෙන්න පුළුවන්.   ඒත් විවිධ වංචා නිසා ඇතිවන ගැටලු අවම කරගෙන ස්ථාවර තැන්පතු සහතිකවලින් අපේ ජීවිතවලට සහනයක් ලබාගන්න පුළුවන්. එහෙම බැලුවාම මෙය මුදල් ආයෝජනය කරන්න හොඳ එක් ක්‍රමයක්. මෙය දිගුකාලීන ආයෝජනයක් කරන්න හිතන අය වෙනුවෙන් ද හොඳ මාර්ගයක්.

ඒ වගේම පවුලට අලුත් සාමාජිකයෙක් ලැබුණා. දරුවෙක් ඉපදුණා කියන්නේ වටිනාකම මිල කරන්න බැරි දෙයක්නේ. ඒ වුණාට අපි දරුවා වෙනුවෙන් බොහොමයක් දේවල් කළ යුතුයි. ඒ සඳහා අනාගතයේ දී අපිට මුදල් ඕනේ. ඒ හින්දා  දරුවා ඉපදුණු වෙලවේ ඔබේ අතේ සල්ලි තියෙනවා නම් දරුවා නමින් කැමැති මුදලක තැන්පතු සහතිකයක් අරන් තියන්න පුළුවන්. ඒ තැන්පත් සහතිකය ඔබට ඔබේ නමින් ගන්න පුළුවන්. එය ඔබේ නමින් ගත්විට දරුවා පාසලට ඇතුළත් වීමේ දී  දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතාවක දී දරුවා වැඩිවියට පත්වීමේ දී ලෙස කැමැති අවස්ථාවක ගන්න පුළුවන්. ඒත් එතකම් එය සුරක්ෂිත කරගන්න එකත් ඔබේ ලොකුම වගකීමක්. ඒබව නම් අමතක කරන්න එපා. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට

අද පෙන්ෂන් පඩියට වඩා තියෙන්නේ විශ්‍රාම යන කොට එකවර වැඩි මුදලක් හිමිවන ආයතනයි. ඒ මුදල ඔබ ගන්නේ විශ්‍රාම දිවිය සුවෙන් ගත කරන්නයි. ඒත් අපේ රටේ බොහොමයක් ආයතන, විවිධ පුද්ගලයන් මේ මුදල් ටිකත් ඩැහැගන්න මානබලනවා. ඒ නිසා වියපත් පුද්ගලයකු ලෙස හොඳ සෝදිසියකින් ඔබේ මුදල් රැකගන්න හිතට ගන්න. ඒ සඳහා විශ්වාසවන්ත බැංකුවකට හැරෙන්න වෙනත් ආයතනයකට යන්න එපා. ඔබට ලැබුණු මුදල එකම ගිණුමක නොදා එම මුදල කොටස් කරලා ගිණුම් දෙක තුනක දාන්නත් පුළුවන්. මෙහිදී යම් මුදලක් ඉතුරුම් ගිණුමක තැන්පත් කරලා තවත් කොටසක් ස්ථාවර තැන්පතුවක් ලෙස තැන්පත් කරන්න ඔබට පුළුවන්. හදිසි අසනීපයක දී පවුලේ අවශ්‍යතාවක දී එම ඉතුරුම් ගිණුමේන් මුදල් ගන්න ඔබට පුළුවන්. ස්ථාවර තැන්පත් සහතික ද මෙම මුදල් ආයෝජනය කරන්න හොඳ මාර්ගයක්.

මෙම තැන්පතු සහතික වැඩිහිටියන්ටත් මිලදී ගන්න පුළුවන්. එහිදී වැඩිහිටියා මියගියහොත් එම මුදල නැවත ලබාගැනීමට කැමැති පුද්ගලයකු නම් කරන්නත් පුළුවන්. අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බැංකු හා විවිධ මූල්‍ය ආයතන විවිධ ගිණුම් හා ආයෝජන ක්‍රම හඳුන්වා දී තිබෙනවා. වාණිජ බැංකු විසින් ද මෙම ක්‍රම හඳුන්වා දී ඇති නිසා අපි හොඳට දන්න බැංකුවකට ගිහින් මෙම ගිණුම් අරඹන්න පුළුවන්. වැඩිහිටියන් ලෙස වැඩි පොලී ගැන නොහිතා තමන් සන්තකයේ තියෙන මුදල රැකගන්න හිතට ගන්න. වැඩි පොලියට ගිජු 

 

වෙලා මුදල් තැන්පත් කරලා ඒ මුදල් අහිමි වුණොත් දරාගන්න වෙන්නේ ඔබටයි. සමහරවිට එතකොට නැවත මුදල් උපයන්න කාලයක් ඔබේ ජීවිතේ ඉතුරුවෙලා නො තිබේවි. අපි මේ පිළිබඳ මොනතරම් දැනුවත් කළත් හොඳ පසුබිමක්, අවබෝධයක් තියෙන වැඩිහිටි අයත් තණ්හාව සහ මුදල් ගිජුකම නිසා නො දන්න, විශ්සාසවන්ත බවක් නැති ආයතනවල ආවට ගියාට මුදල් තැන්පත් කරනවා. ඔබ හොඳටම හිතන්න. වැඩි වශයෙන් ඔබට ආකර්ෂණීය ලෙස ඔවුන් කරුණු පහදා දේවි. ඔබව ඒකට ඇදලා ගන්න හරිම ආදරණීය විදිහට කතා කරාවි. විවිධ පහසුකම් දෙනවා කියාවි. ඒත් ඒ දේවල් ගැන නෙමෙයි ඔබ හිතන්න ඕනේ. ඔබ සතු මුදල රැකගන්න විදිහයි ඔබේ තෙවැනි ඇසට පෙනෙන්න ඕනේ. අවුරුදු ගාණක් දුක්විඳලා මහන්සිවෙලා ඔබ උපයාගත් ධනයයි මේ. “මේ මගේ දහදිය කඳුළු. මම මොනතරම් දුක් විඳලා ද මේ සල්ලි මට ලැබුණේ. ආයෙ මට රස්සාවක් කරන්න බැහැ. ඒ හින්දා මම උපයාගත් මේ මුදල් පූර්ණ රැකවරණයක් තියෙන විදියට ආයෝජනය කරනවා.” කියලා හිතට ගන්න. එහෙම නම් තැන්පතු සහතික, ස්ථාවර තැන්පතු කියන්නේ ඔබට හොඳ ආයෝජනයක්.

මෙම තැන්පතු සහතික කල්පිරෙන කාලය විවිධයි. සමහර බැංකුවල අවම කාලය මාස තුනයි. ඒත් සමහර බැංකුවල අවම කාලය මාස හයයි. සාමාන්‍යයෙන් අවුරුදු පහක උපරිම කාලයක් සඳහා මෙම තැන්පතු සහතික මිලදී ගන්න පුළුවන්. මේවායේ තැන්පත් කරන මුදල මත හා කාලය මත පොලී මාසිකව ලබාගන්නත් පුළුවන්. 

ඉතුරුම් සහතික

මෙහි ඉතුරුම් සහතික කියලා දෙයකුත් තියෙනවා. ඒවායේ මුහුණත අගයක් සඳහන්වන අතර එම මුහුණත අගයට අපට මිලදී ගන්න පුළුවන්. මෙය කෙටි කාලීන ආයෝජනයක්. අදාළ බැංකුවේ ගිණුම් හිමියකු වීම අවශ්‍ය වෙන්නේත් නැහැ. කලින්ම පොලී ගෙවනවා. නාමිකයන් නම් කරන්නත් පුළුවන්. මේවා අපිට දරුවන් වෙනුවෙන් මිලදී ගන්නත් පුළුවන්. රැපියල් 500 වැනි මුදලටත් ඉතුරුම් සහතික තියෙනවා.

අපි මේ දැන් පැහැදිලි කරලා දුන්නා වගේ බැංකු ගිණුමක මුදල් තැන්පත් කරනවා වගේ අපේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. ඒවා ණයකර, භාණ්ඩාගාර බිල්පත්, වරණීය කොටස්, සාමන්‍ය කොටස් ආදී ලෙස විවිධයි. අපි මේ පිළිබඳ ඉදිරියේ දී  දැනුවත් වෙමු.

 

 

පාලිකා දිල්රුක්ෂි

1398 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 15:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න