තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 12:56

සියුමැලි නිකැළල් මුහුණක හිමිකාරියක් වන්නට නම් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
මලක් වගෙ සුන්දර සියුමැලි නිකැළැල් මුහුණක හිමිකාරියක් වීම සෑම කාන්තාවකගේම සිහිනයක්. කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී ඉතා වැදගත් කොට සැලකෙන්නේ මුහුණයි. කෙළිලොල් තරුණියන් මෙන්ම මැදිවියේ කාන්තාවන් ද තම මුහුණ පැහැපත්ව, ප්‍රියමනාපව තබා ගැනීමට නොකරන දෙයක් නැහැ.

 

නමුත් මුහුණේ හට ගන්නා කුරුලෑ බොහෝ කාන්තාවන්ගේ සුන්දරත්වයට බාධාවක්. යෞවනයේ රෝගය ලෙස ද හැඳින්වෙන මේ කුරුළෑ හට ගන්නේ යෞවනයත් සමඟයි. ඇතැම් විට ඔබත් මේ ගැටලුවෙන් පීඩා විඳිනවා ඇති.

කුරුලෑ හට ගැනීමට හේතු වන කරුණු හා ඒවා සුව නොවීමට හේතු මොනවාද යන්න ඔබ මොහාතක් හෝ සිතා බැලුවා ද? ඉක්මන් විසඳුම් සොයා ඔබ කරන ලද සමහර පිළියම් නිසා මෙම කුරුලෑ ආසාදන වැඩි වෙන්න පුළුවන්. ඇතැම් අයගේ කුරුලෑ සුව වුවද ඇති වූ වළවල් දිගු කාලයක් පුරාම මුහුණ අවලස්සන කරනවා.

මේ පිළිබඳව වැඩි දුරටත් ඔබව දැනුවත් කරන්නට ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී අරෝසි කෞෂල්‍යා අපත් සමඟ මෙසේ අදහස් දැක්වූවා.

කුරුළෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇතැම් අවස්ථාවලදී ඔබ වැරැදි මත දරන්නෙක් වෙන්න පුළුවන්. මොකද එම වැරැදි ප්‍රතිකාර රටා නිසා ඔබට, ඔබේ සමට හානියක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. කුරුලෑ කියන්නේ වයසත් සමඟ ඇති වන රෝගයක් නිසා ඇතැමුන් සිතන්න පුළුවන් ඊට ප්‍රතිකාර අනවශ්‍යයි කියලා. මොකද ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය අනුව කුරුළෑ ඇතිවීම පටන්ගනී. එය හෝර්මෝනමය ක්‍රියාකාරිත්වයක් වුවද එයට ප්‍රතිකාර කළ යුතුයි. එසේ නොමැති නම් ඒ නිසා හට ගන්නා කුරුලෑ වළවල්, ලප, කැලැල් දුරු කිරීම තරමක් අපහසු වන නිසයි. තරුණ වයසේ පසුවන අයට මෙම ආසාදන නිසා ඇති වන මානසික ආතතියද එමටය. කුමන වයස් මට්ටමක පසු වුවද මෙම රෝග තත්ත්වයට ප්‍රතිකාර ගැනීම අවශ්‍යමයි.

කුරුලෑ යනු සමේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථීන් අවහිර වීමෙන් ඇතිවන තත්ත්වයකි. නිසි ප්‍රතිකාර මඟින් කුරුලෑ පාලනය, කුරුළෑ නැවත ඇතිවිම වළක්වා ගැනීම සහ කුරුලෑ ලප කැළැල්, වළවල් ඉවත් කිරීම සිදු කළ හැකියි.

අපගේ සම මතුපිටට විවෘත වන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථීන් ඇති අතර මෙයින් තෙල් සහිත දියරයක් සම මතුපිටට ස්‍රාවය කරයි. මෙම ස්‍රාවය සම තෙත්ව සහ මෘදුව තබා ගනී. මෙම ග්‍රන්ථීන් අවහිර වීමෙන් සහ ආසාදන වීමෙන් කුරුලෑ ඇති වේ. සාමාන්‍යයෙන් තරුණ වයසේදී ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා කුරුලෑ ඇති වේ. එය රෝගී තත්ත්වයක් නොවුවත් එමනිසා මානසික ආතතිය, ඉදිරිපත්වීමේ මැළිකම සහ ස්ව අභිමානය අඩුවීම වැනි මානසික පීඩාකරී තත්ත්වයන් ඇතිවිය හැකියි.

මෙයට අමතරව අසාමාන්‍ය ලෙස ශරීරයේ හෝර්මෝන වෙනස්වන රෝගී අවස්ථා කිහිපයකදී කුරුලෑ අධික ලෙස ඇතිවිය හැකි අතර එම කුරුලෑ පාලනය කිරීමද අසීරුය. මෙම රෝගි තත්ත්වයන් වන්නේ ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍යය හෝර්මෝන වෙනස්කම්, ඩිම්බකෝෂයේ අධිවෘක්ක ග්‍රන්ථියේ ඇතිවන ගෙඩි වර්ග ආදියයි.

අවුරුදු 12 - 18 වැනි වයස්වල දරුවන්ට වැඩි වශයෙන් කුරුළෑ ඇති වීමට හේතුව වන්නේ හෝර්මෝන වර්ධනය වීමම පමණක් නොවෙයි. එවැනි වයස්වල පසුවන බොහෝ දරුවන් රාත්‍රි 12 පසුවන තෙක්ම පාඩම් කටයුතු කරයි. සාමාන්‍යයෙන් ශරීරයේ අලුත් සෛල නිපදවීම සිදුවන්නේ රාත්‍රි 12 ත් පාන්දර 3 ත් අතර දක්වා කාල සීමාවේදීය. එම කාලය අතරතුර නිදි වැරීම හෝ කර්යයක නිරතව සිටීමෙන් අලුත් සෛල නිපදවීමට බාධා ඇති කරයි. එවිට එම ක්‍රියාවලිය නිසි ලෙස ඉටු නොවෙයි. මෙය කුරුළෑ ඇති වීමට තවත් එක් හේතුවකි. එම නිසා කුරුලෑවලින් තොර පැහැපත් මුහුණක හිමිකාරියක් වීමට සුවදායක නින්දක් ද අවශ්‍යයි.

ඒ වගේම මාසික ආර්ථවය සිදු වන විට දී, අධික ආතතියෙන් පෙළෙන අයට, ප්‍රමිතියෙන් තොර ආලේපන පාවිච්චි කරන අයට වගේම ජානමය හේතු නිසා ද කුරුලෑ ඇතිවිය හැකියි.

කුරුලෑවලින් පීඩා විඳිනවානම් බාහිර ආලේපනවලින් පමණක් නොව ඔබ ශරීරයට ලබා ගන්නා ආහාර පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. තක්කාලි, දැල්ලෝ, කැෆේන් අඩංගු පාන වර්ග, චොකලට් වැනි උෂ්ණාධික ආහාර පාන වලින් වැළකී සිටින්න. විශේෂම කරුණ වන්නේ ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වීමයි. ශරීරයට ලබා ගන්නා ජලය තුළින් අභ්‍යන්තර පෝෂණය වගේම බාහිරව ද මනා පෝෂණයක් ලැබේ. එය කුරුලෑ ඇතිවීම පාලනයට ද හේතුවක් වේ.

කුරුලෑවක් ඇති වු විට ඔබ කරන පළමු වරද වන්නේ එය නිතර අතින් ඇල්ලීමයි. ඒ වගේම බොහෝ දෙනා කුරලෑවක් ඇති වු විට එය අතින් කඩා දමනවා. එයින් වන්නේ දිගුකාලීනව පවතින වළවල් ඇතිවිමයි. මේ වළවල් ඔබේ මුහුණ අවලස්සන කරන අතර ඇතැම් විට ඒවා සදාකල්ම ඔබගේ මුහුණේ රැඳී තිබේවි.

එහෙමත් නැත්නම් කුරුළෑවක් ආ විටම ඔබ කරන්නේ වෙළෙඳපොළට ගොස් කුරුලෑ සඳහා ඇති කුමක් හෝ ආලේපනයක් මිලදී ගැනීමයි. සොයා බැලීම් නොකර ඔබ සමට භාවිත කරන එවැනි ආලේපන භාවිත කිරීම තුළින් සිදුවන්නේ කරුලෑ තවදුරටත් වර්ධනය වීමයි.

කුරුලෑ වර්ධනය වීම පාලනය කිරිමට ඕනෑ තරම් රූපලාවණ්‍ය ප්‍රතිකාරයන් තිබෙනවා. ඇතැම් ප්‍රතිකර්මය ඔබට නිවෙසේදීම කළ හැකියි. දෙහි, කහ, කෝමාරිකා, සුදුහඳුන් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය මේ සදහා යොදා ගන්න පුළුවන්. නමුත් ඔබේ සමෙහි ස්වභාවය අනුව කළ යුතු ප්‍රතිකර්මයන් වෙනස්. ඒ නිසා පළමුව ඔබේ සම තෙල් සමක් ද, වියළි සමක් ද, නැතිනම් සාමාන්‍ය සමක් ද එසේත් නැතිනම් මිශ්‍ර සමක් ද යන්න හඳුනාගත යුතුයි. ඒ අනුව එක් එක් සමෙහි ස්වභාවය අනුව ප්‍රතිකාර සඳහා යොදන අමුද්‍රව්‍ය වෙනස් වේ. ඔබ මුහුණට සත්කාරයක් කිරීමට පෙර ඒ සඳහා පුහුණුව ලත් පළපුරුදු රූලාවණ්‍ය ශිල්පිනියකගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

බොහෝ තරුණ තරුණියන්ට තිබෙන ගැටලුවක් වන්නේ කුරුලෑ හටගත් වළවල් සහ කැළැල් දිගු කාලයක් යනතුරුත් නොමැකී පැවතීම. මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා සුදුසු රූපලාවණ්‍ය ශිල්පිනියක් තෝරා ගන්න.

එහිදී පළමුව ඔබේ සම පරීක්ෂා කර සමෙහි ස්වභාවය වටහා ගැනීම සිදු කරයි. එනම් සම වියළි ද, තෙල් සහිත ද, මිශ්‍ර සමක් ද, කුරුළෑ හට ගෙන ඇත්තේ කෙතරම් ගැඹුරක සිටද, හට ගෙන ඇති වළවල්වල ස්වභාවය ආදී සියල්ලම පරික්ෂා කරයි. එම පරික්ෂාවේදි කෙතරම් වාර ගණනක් ප්‍රතිකාර කළයුතු ද යන්නත් තීරණය කරනු ඇත.

මුහුණ සඳහා ප්‍රතිකාරයක් කරන විට දෙවනුව කළ යුත්තේ මැරුණු සම ඉවත් කිරිමයි. නැතහොත් ඔබ කෙතරම් ප්‍රතිකාර, අලේපන භාවිත කළත් ඒවා සමට උරා ගැනීමක් සිදු නොවන නිසා ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබී යාවි. ඉන් පසු යොදාගන්නා ඉලෙක්ට්‍රික් උපකරණ මඟින් මුහුණෙ වළවල්වල නැවත සෛල වර්ධනය කිරීම සිදු කරනවා. ඒ සඳහා යොදා ගන්නා සීරම් එක එයට උපකාරි වෙනවා. ඉන් පසුව පැක් එකක් යොදනු ලබනවා. මේ ප්‍රතිකර්මය මඟින් සෛල වර්ධනය වී වළවල් ක්‍රම කමයෙන් දුරු වී යනවා. නමුත් එක වතාවක් පමණක් කළ සැණින් 100% ක්ම ප්‍රතිඵල ලබාග නොහැකියි. මුහුණේ ඇති වළවල්වල ස්වභාවය අනුව මෙම ප්‍රතිකර්මය සතියකට වරක් බැගින් කිහිප වතාවක් කිරීමට සිදුවේවි. එසේ අවසානයට ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට 100% ක්ම ළඟා විය හැකියි.

ඒ ප්‍රතිකර්මය සිදු කරන අතරම තමාගේ පෝෂණය ගැන සැලකිලිමත් වීම ද වැදගත්. ඔබ බාහිරින් ලබා ගන්නා සත්කාරයන් සේම අභ්‍යන්තරයටද පෝෂණය අවැසි වේ. ඒ සඳහා පලතුරු වර්ග මෙන්ම තන්තු බහුල පෝෂ්‍යදායි ආහාර වේලක් වගේම ජලය පානය කිරීම ද එක සේ වැදගත්.

මේ ආකාරයට ඔබගේ රූ සපුව ගැන වැඩි අවදානයක් යොමු කරනවා නම් කුරුලෑ වලින් තොර පැහැපත් මුහුණක හිමිකාරියක් වීමට ඔබට ද හැකි යි.

 

 

උපදෙස් - ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයිනේ සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, රූපලාවණ්‍ය ශිල්පිනි

ආරෝෂි කෞශල්‍යා

256 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 12:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න