තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2016 මැයි 03, අඟහරුවාදා 10:02

මංගල ඇඳුම් නිර්මාණකරණයට පිවිසෙමුද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
මංගල දිනයට සූදානම් වන මනාලිය තමන්ගේ හැඩ ගැන්වීම් ගැන වගේම මංගල ඇඳුම් නිර්මාණය කර ගැන්ම ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා.

 

 

අලුත්ම විලාසිතාවන්ට අනුව නිර්මාණය කෙරෙන මංගල ඇඳුමකින් සැරසී ලස්සන මනාලියක ලෙස හැඩවැඩ විම ඇයගේ සිහිනයයි.

බොහෝ විට මනාලියන්ගේ මංගල ඇඳුම් නිර්මාණය ගැන විවිධ ගැටලු පැන නගින අවස්ථාවන් ද අසන්නට ලැබෙන අවස්ථා තිබෙයි.

ඉරේකා මංගල ඇඳුමේ නිර්මාණය පිළිබඳව මනා පළපුරුද්දක් ඇති ප්‍රවීණ මැහුම් ශිල්පිනියක්. ජනපි‍්‍රය සිනමා නිළියන් බොහෝ දෙනෙකුගේ මැහුම් ශිල්පිනියක ලෙස ද ඇය කටයුතු කරයි. ස්වයං රැකියාවක් වශයෙන් මංගල ඇඳුම් නිර්මාණය කරනවා නම් එහිදී අවධානයට යොමු විය යුතු කරුණු ගැන ඉරේකා මෙවන් පැහැදිලි කිරීමක් කළා.

මංගල ඇඳුම් නිර්මාණය කරනවා කියන්නේ අද කාලේ හොඳ බිස්නස් එකක් කරනවා වගේ දෙයක්. ඒ වගේම කාන්තාවකට තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් හොඳම ආදායමක් උපයාගත හැකි ස්වයං රැකියාවක්.

නමුත් මංගල ඇඳුම් මැසීම වැඩ දැමීම කියන්නේ ලොකු කැපවීමක් කරමින් කළ යුතු කාර්යයක්. ඒ වගේම සාමාන්‍ය ඇඳුම් මහනවට වඩා වගකීමත් වැඩියි. හේතුව මනාලියකගේ මංගල ඇඳුම් නිර්මාණයේ දී කොතැනකවත් වැරදීමක් අඩුපාඩුවක් සිදු නොවිය යුතු නිසයි. මංගල ඇඳුම් නිර්මාණයේ පළපුරුදු ශිල්පිනියකට නම් මේ හා සම්බන්ධව ගැටලු මතු වන්නේ නෑ. ඒ මේ පිළිබඳව ඇය තුළ ප්‍රවීණත්වයක් ඇති නිසයි.

සාමාන්‍යයෙන් ඇඳුම් මැසීමට හැකියාව ඇති අය සිටියත් ඒ හැම කෙනකුටම මංගල ඇඳුම් නිර්මාණය කිරීමේ හැකියාවක් නොතිබෙන්නට පුළුවන්. හේතුව මංගල ඇඳුම් නිර්මාණයේ දී නිර්මාණශීලී බව හැකියාව දක්ෂතාවය තිබිය යුතු නිසයි.

 

මංගල ඇඳුම් නිර්මාණය විශේෂ වන්නේ ඇයි?

මෙය තනි තීරණයට අනුව සිදුවෙන දෙයක් නෙමෙයි. මංගල ඇඳුම් නිර්මාණයේ දී මනාලිය හැඩගන්වන ශිල්පියා හෝ ශිල්පිනියගේ අදහස් දැනගැන්ම හරිම වැදගත්. මනාලියගේ හැඩ ගැන්වීම් අනුව ඇයට තෝරා ගත යුතු විලාසිතා මොනවාද? ඇඳුම් නිර්මාණය විය යුත්තේ කොහොමද වර්ණ යොදා ගත යුත්තේ මොන ආකාරයටද කියන එක ගැන බොහෝ විට තීරණය කරන්නේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියයි. මනාලියගේ මංගල ඇඳුම් නිර්මාණය විය යුත්තේ ඒ අනුවයි. සමහර මනාලියන් ඒ අයට කැමැති විලාසිතා මහන්න දෙන අවස්ථා තිබෙනවා. නමුත් ඔවුන්ගේ සිරුරේ හැඩය අනුව පෙනුම අනුව එම විලාසිතාව ඇයට නොගැළපෙනවා නම් එය ඔවුන්ට වටහා දීමේ හැකියාවක් මැහුම් ශිල්පිනියක තුළ තිබිය යුතුයි. ඇඳුම් මැසු පසු එහි නොගැළපීමක් පෙනුණොත් දෝෂාරෝපණයට ලක්වන්නේ මැහුම් ශිල්පිනියයි. එක් එක් අයගේ සිරුරේ හැඩයන් වෙනස්. සමහර අයගේ සිරුරේ යම් යම් අඩුපාඩු වෙනස්කම් තිබෙනවා. නිවැරැදි මිමිවලට මහනවා වගේම කෙනකුගේ සිරුරේ අඩුපාඩු නොපෙනෙන ආකාරයට මසන්නට හැකි ක්‍රම තිබෙනවා. විශේෂයෙන්ම මංගල ඇඳුම් නිර්මාණයේ දී මෙය වටහා ගෙන කටයුතු කිරීම හරිම වැදගත්.

සමහරුන්ගේ උරහිස් පලල්, නැත්නම් පටුයි. අත් මහතයි. උදරය මහතයි. පිට ප්‍රදේශය මහතයි. නමුත් ඇඳුම් මැසීමේ පළපුරුදු අයකුට කෙනකුගේ සිරුරේ හැඩය වටහා ගෙන එම අඩුපාඩු නොපෙනෙන ආකාරයට මහන්නට පුළුවන්. විශේෂයෙන්ම මැහුම් ශිල්පිනියක ලෙස කටයුතු කරනවා නම් තමන්ගේ දැනුමෙන් අත්දැකීම්වලින් මෙම පළපුරුද්ද ලබා ගැන්ම වැදගත්.

ස්වයං රැකියාවක් වශයෙන් මංගල ඇඳුම් නිර්මාණය කිරීමට යොමුවන අයට දිය හැකි උපදෙස් මොනවාද?

අනිවාර්යයෙන්ම මංගල ඇඳුම් නිර්මාණය ගැන හොඳ දැනුමක් පුහුණුවක් ලබා ගන්නට ඕන.

සාමාන්‍ය වශයෙන් ඇඳුම් මහන කෙනෙක් නම් මංගල ඇඳුම් නිර්මාණය කිරීම වැඩ දැමීම ගැන වැඩි දැනුමක් පුහුණුවක් ලබා ගැන්ම වැදගත්.

එසේ නොමැතිව මංගල ඇඳුම් මැසීම භාර ගැන්ම නොකළ යුතුයි.

මංගල ඇඳුම් නිර්මාණය කරන අයකු තුළ ඉතා හොඳ නිර්මාණශීලී බවක් තිබිය යුතුයි. හේතුව මෙහිදී විවිධ විලාසිතාවන්ට අනුව ඇඳුම් නිර්මාණය කිරීමට සිදුවන නිසයි.

ඇඳුම් නිර්මාණයේ යෙදී සිටින ඔබට කිසියම් උපදෙසක් අවශ්‍ය නම් එය ලබාදෙන්න ඉරේකා සූදානම්. එමෙන්ම තරුණී පාඨක ඔබගේ මංගල ඇඳුම් විශේෂ මිල අඩු කිරීමක් යටතේ නිර්මාණයකර දෙන්නටත් ඇය සූදානම්. වැඩි විස්තර අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංකයට කථා කරන්න. 0773615222 

උපදෙස් - මංගල ඇඳුම් නිර්මාණ ශිල්පිනී 
ඉරේකා නිශාමනී 
Salon I and I 

කෝට්ටේ

6437 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න