තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:17

අයි මේක් අප් එකක් කිරීමේදී මේ ගැන හිතුවාද ? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
අප පසුගිය සතියේ කතාකළේ මේක්අප් කිරීමේදී මූලික වශයෙන් යොදා ගැනෙන ෆවුන්ඩේෂන් වර්ග සහ නිවැරැදිව ෆවුන්ඩේෂන් භාවිත කළයුත්තේ කෙසේද යන්න ගැනයි.

 

එමෙන්ම මේක්අප් කිරීමේදී ඉතාමත් වැදගත්වන අයි මේක්අප් එකකදී ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණාද බොහෝමයක් තිබේ. මෙය වඩාත් නිවැරැදිව නිර්මාණශිලිව කළයුතු කාර්යයක් බව අමතක නොකළයුතුයි.

යුවතියකගේ ආකර්ෂණීය බව වඩාත් මතුවී පෙනෙන්නේ ඇස්වලින්. මේක්අප් කිරීමේදී අයි මේක්අප් එක සුවිශේෂී ස්ථානයක් ගන්නා බව අප සඳහන් කරන්නේ එම නිසයි. මෙහිදී එම කාර්යය නිවැරැදිව කරන්නේ කොහොමද? අයිමේක් එකක් කරනවිට ඒ සඳහා එම ආලේපන භාවිත කළ යුතුවන්නේ කෙසේද? සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? මෙවර අපි ඒ පිළිබඳව දැනුවත් වෙමු.

ඔබ මනාලියක මේක්අප් කරනවා නම් ඇයට නිවැරැදිව අයිමේක් අප් යෙදීම සිදුකළේ නැතිනම් ඇයගේ ඇස්වල පවතින විවිධ අඩුපාඩු එනම් නිදිබරගතිය, මලානික ස්වභාවය, වපර බවක් පෙනීම, ඇස්වල ගිලුණු ස්වභාවය වැනි දේ ඉස්මතු වී පෙනෙන්නට පුළුවන්. එසේත් නොමැතිනම් ඇස්වල රැලි, අයිබෑග් ආදී දේ නිසා එහි ආකර්ෂණීය බවක් මතුවී නොපෙනෙන්නට පුළුවන්.

අයිෂැඩෝ යෙදීමේදී - වර්ණ තෝරාගත යුත්තේ කොහොමද?

අඳින ඇඳුමේ වර්ණයන් අනුව අයිෂැඩෝ සඳහා ගැළපෙන වර්ණ තෝරාගන්නට අපට හැකියාව තිබෙනවා. බොහෝ විට ගෝල්ඩ් වර්ණයෙන් සැරසෙන මනාලියකට අයිබේස් එක වශයෙන් ඩල්ගෝල්ඩ් වර්ණය භාවිත කළ හැකියි. මෙහිදී ඇස් කොනට (අයිකෝනර්) තද දුඹුරු හෝ කළු වැනි වර්ණයක් යොදා ගනිමින් එය හයිලයිට් කරගැනීමෙන් ඇස්වලට දික්වූ ස්වභාවයක් පෙන්නුම් කළ හැකියි. එමෙන්ම හැමවිටම ඇස මුලට භාවිත කළයුත්තේ ළා පැහැති වර්ණයි. මෙහිදී ඉතාමත් ළා පැහැති වර්ණ යොදාගත යුතු අතරම කිසිවිටෙකත් ඇස මුලට තද පැහැති වර්ණ භාවිත නොකළ යුතුයි. හේතුව ආසියාතික කාන්තාවන්ගේ ඇස මුල ගිලුණු ස්වභාවයක් පෙන්නුම් කරන නිසා මෙහිදී තද වර්ණ එක්කර ගැන්මෙන් එම ගිළුණු ස්වභාවය තව තවත් මතුවී පෙනිය හැකි නිසයි. ඇස මුලට වර්ණ තෝරා ගැනීමේදී පීච් ලයිට්, හෝ පීච් වැනි වර්ණ හෝ ළා රෝස වැනි ඉතාමත් සෞම්‍ය වර්ණයන් යෙදිය හැකියි.

එමෙන්ම ඇස මුලට යොදාගත් වර්ණ සහ ඇස් කොනට යෙදූ වර්ණය තනි වර්ණයකට එක ආකාරයට බ්ලෙන්ඩ්කර ගැනීමද අවශ්‍යයි. ඇසි පියන්වල (අයි ලිඩ්) උඩ කොටස හයිලයිට් වන වර්ණයක් භාවිතකර ගෝල්ඩ් හෝ කොපර් ගෝල්ඩ් එකක් භාවිත කරන්නට පුළුවන්. ගෝල්ඩ් වර්ණය ෂේඩ් එකක් ලෙසද මෙහිදී යෙදිය හැකියි.

විශේෂයෙන්ම අයිෂැඩෝ භාවිතයේදී ඉතාමත් හොඳ තත්ත්වයේ අයිෂැඩෝ තෝරා ගන්නට සැලකිලිමත් වීම වඩාත් වැදගත් වනවා. දැන් බොහෝ දෙනෙක් අයි මේක්අප් කිරීමේදී ෂිමරින් හෝ මැට් අයිමේක් යොදා ගැනීම දක්නට පුළුවන්. ෂිමරින් දිස්නය ගෙන දෙන ස්වභාවයෙන් වැඩි ඩස්ට් එකක් සමඟ එන අයි මේක්අප් එකක්. එසේම මැට් ෆිනිෂ් එකක් ආකාරයෙන් එන අයි මේක්අප් ද භාවිත කෙරෙනවා. විශේෂයෙන්ම මනාලියකට නම් අයි මේක්අප් එක සඳහා තරමක් මැට් ෆිනිෂ් බවක් ඇති එකක් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ඒ ඡායාරූපකරණයේදී සහ වීඩියෝ කරණයේදී මේක්අප් එකෙහි වැඩි ලස්සනක් පෙන්නුම් කිරීමට එය හේතුවන නිසයි.

මෙහිදී දිලිසෙන ස්භාවයෙන් යුත් අයි මේක්අප් භාවිතයෙන් ඇස්වල තැනින් තැන දිලිසෙන බවක් පෙනෙන්නට පුළුවන්. එය මෙහිදී එතරම් ලස්සන පෙනුමක් ගෙන දෙන්නේ නෑ. නමුත් විශේෂිත වූ උත්සව අවස්ථාවකට හෝ රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවනවිට තරමක් දිස්නයෙන් වැඩි ඩස්ට් වර්ග වලින් යුත් අයිෂැඩෝ භාවිතයෙන් අයි මේක්අප් එක සඳහා ආකර්ෂණීය පෙනුමක් ගෙනදිය හැකියි.

අනෙක් කරුණ නම් අයිෂැඩෝ භාවිතයේදී යම් යම් වෙලාවල් අනුව සහ යන ස්ථානයන්ට අනුව යම් යම් වෙනස්කම් කිරීමට සිදුවන අවස්ථා තිබෙනවා. සමහරවිට ඔබ සහභාගිවන උත්සවය එළිමහනක හෝ ශාලාවක් ඇතුළත පැවැත්වෙන උත්සවයක් වන්නට පුළුවන්. එසේම උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේදී වන උත්සවයක් විය හැකියි. මෙහිදී අවස්ථානුකූලව සහ තමන් සහභාගිවීමට යන උත්සවය අනුවත් අයි මේක්අප් භාවිතයේදී යම් යම් වෙනස්කම් කිරීමට සිදුවනවා.

ඔබ සහභාගි වන්නේ උදේ කාලයේ පැවැත්වෙන උත්සවයක් සඳහා නම් අයි මේක්අප් කිරීමේදී වඩාත් ළා පැහැති වර්ණ තෝරා ගැනීම ඉතාමත් සුදුසුයි. සමේ වර්ණයට ඉතාමත් සමීපව යන වර්ණ භාවිතය වඩාත් සුදුසුවන අතරම සමේ පැහැයට ඉතාමත් ළඟින්යන වර්ණ වශයෙන් කොෆි බ්‍රවුන් - බේජ් - ඩල් ගෝල්ඩ්, කොපර් ගෝල්ඩ් වැනි වර්ණ යොදා ගත හැකියි.

රාත්‍රි කාලයේ යෙදෙන උත්සවයක් නම් ඇස් කෙළවරේ (අයි කෝනර්) එක හැඩකර ගැනීම සඳහා කළු වර්ණය යොදාගත හැකියි. නැත්නම් කලින් සඳහන් කළ ආකාරයට ෂිමරින් වැනි තරමක් ඩස්ට් ස්වභාවයක් දක්වන දිස්නයෙන් වැඩි අයිෂැඩෝ භාවිතයෙන් ඇස්වලට ලස්සන පෙනුමක් එක්කර ගන්නට පුළුවන්.

අයි ලයිනර් භාවිත කරන විට

අයි මේක්අප් එක කිරීමේදී අයිලයිනර් එක යෙදීම ඉතාමත් සුපරික්ෂාකාරී ලෙස කළයුතු කාර්යයක්. අයි ලයිනර් එක යෙදීම සඳහා බොහෝවිට භාවිත කෙරෙනුයේ කජාල් ලයිනර් එකයි. මෙය අන්ඩර් අයිලයිනර් එකක් හැටියට අපට භාවිත කරන්නට පුළුවන්. මෙහිදී ලයිනර් එක ස්ටික් එක ආධාරයෙන් කෙළින්ම ඇස මත ඇඳගන්නට හැකියි. රුපලාවණ්‍යාගාරයේදී නම් ඒ සඳහාම යොදාගැනෙන කුඩා බ්‍රෂ් එකක් භාවිත කෙරෙනවා. කජාල් එකෙන් අයිලයිනර් ඇඳීමේදී ඇස ලොකුකර පෙන්වන ආකාරයටත් එය තරමක් සිහින්ව යෙදීමෙන් ඇස කුඩාකර පෙන්වන ලෙසත් සකසා ගත හැකියි.

ලික්විඩ් අයිලයිනර්

දැන් මේ සඳහා ලික්විඩ් අයිලයිනර් ලබාගන්නට හැකියාව තිබෙනවා. මෙය දියර වශයෙන් ඇති අයි ලයිනර් එකක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. එමෙන්ම කේක් ලයිනර්, ජෙල් ලයිනර් වශයෙන් ද අයිලයිනර් වර්ග ලබාගත හැකි අතර මේ සඳහා අයිලයිනර් පෙන්සිල් ද භාවිත කළ හැකියි. අයි මේක්අප් කිරීමේදී මේවා අපට අවශ්‍ය ආකාරයට යොදාගන්නට පුළුවන්. අප මේ කුමන අයිලයිනර් වර්ගයක් තෝරා ගත්තත් විශේෂයෙන් සැලකිලිමත් වියයුත්තේ මේක්අප් එක වැඩිවේලාවක් රඳවා ගැනීමේ හැකියාව ඇති උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරා ගැනීමටයි.

අයිලයිනර් භාවිත කරන විට එය ක්‍රමානුකූල බවකින් තොරව කිරීමට යාම සුදුසු වන්නේ නෑ. මුලින්ම ඇසේ හැඩතල හොඳින් හඳුනා ගනිමින් ඒ අනුව උචිත වන ආකාරයට එහි හැඩතල හොඳින් ඉස්මතුවන පරිදි අයි ලයිනර් එක යෙදිය යුතුයි. මෙහිදී මුලින් කුඩාවට පටන්ගෙන අගට යන විට තරමක් උසට හැඩ කෙරන ලෙස ඇඳිය යුතුයි.

අයි මේක්අප් එක හැම පුද්ගලයකුටම එකම ආකාරයට යෙදිය නොහැකි බව ඔබ හොඳින් වටහාගත යුතුයි. හේතුව මේ එක් එක් අයගේ ඇස්වල පිහිටීම හැඩය දිස්වන ආකාරය වෙනස් ස්වරූපයක් ගන්නා නිසයි. එය හොඳින් හඳුනාගෙන අයි මේක්අප් එක කිරීම ඉතාමත් වැදගත් බව අවධාරණය කළ යුතුයි. අයිලයිනර් එක කිරීමේදී ඒ ඒ සමඟම කජාල් සහ අයිලයිනර් යන දෙකම තරමක් මැට් ගතිය ඇති අයිෂැඩෝ එකක් භාවිතකර සීල්කර ගැනීමක් කරන්නට පුළුවන්.

විශේෂයෙන්ම මනාලියකට තම මංගල දිනයේදී ඡායාරූප ගතකිරීම් කරන විට හෝ එසේත් නැත්නම් පෝරුවේ චාරිත්‍ර සිදුකරන විට ඇසට කඳුළු ඒම නිසා මේක් අප් එක දියවීමෙන් ගැටලු මතුවන අවස්ථා තිබනෙවා. එවන් ගැටලු වළක්වා ගන්නට හොඳම විසඳුම වන්නේ ලෝන්ග් ග්ලාස්ට් හෝ වෝටර් ප්රූෆ් අයිලයිනර් භාවිත කිරීමයි. ලෝන්ග් ග්ලාස්ට් යෙදීමෙන් කිසිදු ගැටලුවකින් තොරව මේක්අප් එක වැඩි කාලවේලාවක් ඒ ආකාරයෙන්ම රඳවා ගත හැකියි. වෝටර් ෆෘෆ් අයිලයිනර් වතුරවලට ඉතාමත් හොඳින් ඔරොත්තුදීමේ හැකියාවකින් යුක්තයි. අප මුලින් සඳහන් කළ ආකාරයට කජාල් අයිලයිනර්, මැට් අයිෂැඩෝ සමඟ දිස්නෙත් අඩු බ්‍රවුන් හෝ බ්ලැක්, කොෆි බ්‍රවුන් අයිෂැඩෝ සමඟ සීල්කර ගැනීම තුළින් එහි බොඳවී, දියවී යන ස්වභාවය වළක්වා ගන්නට පුළුවන්.

මෙසේ කිරීමෙන් අයිලයිනර් එකක් භාවිත කර නැති ආකාරයට ස්වභාවික පෙනුම ඉස්මතු කරගත හැකියි. ඇසයට පින්තාරුකර ඇති ආකාරයට නැත්නම් ඉරක් ආකාරයට කෘත්‍රිම පෙනුමක් ගෙන දෙන අයුරින් අයිලයිනර් එක යෙදීම සුදුසු වන්නේ නෑ.

ඇස් හැඩකර ගැනීමේදී ඇතැම් යුවතියන් කෘත්‍රිම ඇස් පිහාටු (අයි ලෑෂස්) භාවිත කරන්නට වැඩි කැමැත්තක් දක්වන අවස්ථා තිබෙනවා. නමුත් මෙවන් අයිලෑෂස් තෝරාගන්නවනම් ඉතා කල්පනාකාරි විය යුතුයි. තමන්ගේ ඇස්වල හැඩය අනුව - තමන්ගේ ඇස් පිහාටුවලට සමාන්තර බවක් දක්වන ඇස් පිහාටුවල වර්ණයට ගැළපෙන අයි ලෑෂස් භාවිත කිරීම වඩා සුදුසුයි. මෙය නියම ආකාරයට සවිනොකිරීමෙන් අයි ලෑෂස් ගැලවී වැටෙන්නට ඉඩ තිබෙන අතර එය ඔබගේ ප්‍රතිරූපයටද හානියක් ගෙනදෙන්නට පුළුවන්.

මෙය සවිකිරිමේදී ඉතාමත් ආරක්ෂාකාරි ලෙස ගම් එකක් භාවිත කර ඇලවීම සිදුකරන අතර එය අයිලයිනර් එකට උඩින් තබා සවිකර ඇස් වසාගෙන මඳ වේලාවක් සිටීමෙන් එය හොඳින් වියළී සවිවෙයි.

අයි මේක්අප් එකේදී අයි ලෑෂස් භාවිත කරන්නේ නැතිනම් ඔබේ ස්වාභාවික ඇස් පිහාටු මත මස්කාරා කෝඩ් එකක් ගැල්විය හැකියි. මෙහිදී වෝටර් ෆෘෆ් ලෝන්ග් ග්ලාස්ට් මස්කාරා එකක් තෝරා ගැනීම වඩා සුදුසු වන අතර එය දිගුවේලාවක් රඳවාතබා ගත හැකි ආකාරයේ එක්ක් විය යුතුයි.

ඇහි බැමි සැකසීම

ඇහිබැමි සැකසීම බොහෝවිට කෘත්‍රිම පෙනුමක් ගෙන දී ඇති අයුරු අද දක්නට ලැබෙනවා. තමන්ගේ මුහුණට ගැළපෙන සේ ස්වාභාවික බව ඉස්මතු වන අයුරින් ඇහි බැමි සකසාගැනීමට වැඩි දෙනකුට හැකියාව ලැබී නෑ. මෙහිදී මුහුණට ගැළපෙන හැඩතලවලට අනුව ඇහි බැමිවල හැඩය මතුකර ගත යුතුයි. නාසය ළඟින් ආරම්භ කරමින් අයි පෙන්සිල් එක ආධාරයෙන් ඇහි බැමි මත කඩඉරි ලෙස ඇඳ එම කඩඉරි පාරවල් නොපෙනෙන ආකාරයට පින්සලකින් බ්‍රෂ්කරගත යුතුයි. ඉරක් ලෙස ඇහිබැමි ඇඳීම නිවැරැදි ක්‍රමය නොවේ. නිවැරැදිව මේක්අප් භාවිතකරමින් ක්‍රමානුකූලව අයි මේක්අප් එක කිරීම තුළින් ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් වැඩි ලස්සනක් මතුකරගත හැකියි. තොල් ආලේපන - බ්ලෂර් කිරීමේදී දැනුවත් විය යුතු දේ ගැන ලබන සතියේ විමසා බලමු.

උපදෙස්

ප්‍රවීණ රුපලාවන්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී

සුරේෂ් ප්‍රනාන්දු

(දකුණු කොරියාව - තායිලන්තය - ඉන්දියාව පුහුණුව ලත්)

  

1616 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න