තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 09, අඟහරුවාදා 10:52

වගකීමකින් තොරව හිස සම්බාහනය සුදුසු නෑ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අහන අහන හැම දෙනාම කියන්නේ මට කිසිම ඉවරයක් නෑ. ඔළුවට නිදහසක් නෑ. ඒ මදිවට හැම තිස්සෙම ඔළුව කැක්කුම ජීවිතේම එපා වෙනවා.

 

මේ කතාව නම් ඇත්ත. එහෙම කියන්න හේතුව තමයි අද වැඩිදෙනෙක් කාර්යබහුල ජීවන රටාවත් එක්ක පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටීම. මේ නිසා දැනෙන හිසකැක්කුම රෝගයක් තරමටම උග්‍රවෙලා. මේ වගේ වෙලාවට වැඩි දෙනෙක් කරන්නේ වේදනා නාශක පෙත්තක් ගිලින එක. හැබැයි ඒ අය හිතන්නේ නෑ වේදනා නාශක කියන්නේ තාවකාලික පිළියමක් විතරයි කියන එක.හුඟාක් වෙලාවට වැඩකටයුතු වැඩිවීම විවේකයක් නැතිවීම නිසා ඒ පීඩනයත් එක්ක හිසකැක්කුම ඇතිවෙන්න පුළුවන්. මෙවන් අයට තමන්ගේ මනසට විවේකයක් සැහැල්ලුවක් සුවයක් ගෙන දෙන තෙල් සත්කාරයක් වශයෙන් හිස සම්බාහනය කිරීම ඉතාමත් වැදගත් දෙයක් වනවා. මේ මඟින් හිසදෙස සහ ඉන් දැනෙන පීඩාකාරි බව මඟහරවා ගන්නට හැකි හැකියාව තිබෙනවා.

හෙඩ්මසාජ් එසේත් නැත්නම් හිස සම්බාහනය මෙතරම් වැදගත් සත්කාරයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?

අද බොහෝවිට හිසකෙස් ආශ්‍රිතව හටගන්නා රෝග නිසා නිරෝගිමත් කෙස් කළඹක් හිමි අය අපට දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ඒ විතරක් නෙමෙයි අද පවතින ජීවන රටාවේ විෂමතාවයන් නිසා හිසේ රෝග ගැනත් අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බොහොමයි. මෙම තත්ත්වයන්ට සහනයක් ලබාදෙන්නට නම් අනිවාර්යයෙන්ම නිසි සත්කාර ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක්.

අප මේ පිළිබඳව විමසා බැලුවොත් අපේ හිසකෙස් බාහිරින් පිහිටා ඇති නිසා හිසකෙස්වලට කරන ප්‍රතිකාර අතරින් බාහිර ප්‍රතිකාරද වඩාත් වැදගත්.

ආයුර්වේදයේ දක්වා ඇති ආකාරයට හිස සම්බාහනය කිරීම වගකීමකින් යුතුව සහ ඒ පිළිබඳව මනා දැනුමකින් යුතුව කළයුතු කාර්යයක් නේද?

අනිවාර්යයෙන්ම ඔව්. හිස ආශි‍්‍රතව වැදගත් මර්ම පිහිටා ඇති නිසා හිස සම්බාහනයේදී මර්ම සම්බාහනයට හිමිවන්නේ වැදගත් තැනක්. මෙහිදී නිලස්ථාන උත්තේජනයෙන් හිසකෙස් වර්ධනය වීමේ ක්‍රියාවලිය වේගවත් කෙරෙන්නට පුළුවන්. එම නිසා හිස සම්බාහනය වැනි ක්‍රියාවලියක් ඒ පිළිබඳව පළපුරුදු චිකිස්තකවරයකුලවා කරවාගත යුතුයි.

හිස සම්බාහනය වැදගත් වන්නේ එහි කුමන ප්‍රතිඵල නිසාද?

හිස සම්බාහනය හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට පමණක් සීමාවන දෙයක් නොවෙයි. මානසික ආතතියෙන් පෙළෙන අයට හිසරදය සහ ඇස් ආශ්‍රිත රෝග අවස්ථාවන්වලදි හිස සම්බාහනයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. හිසකෙස් පෝෂණය කරන්නේ එහි මූලයන්ට ලැබෙන රුධිර සංසරණය මඟින්. මෙහිදි හොඳ ආහාරවේලකට අමතරව හිස සම්බාහනය ද හිසකෙස්වලට ලැබෙන රුධිර සැපයුම ක්‍රමවත් කිරීමට වඩාත් වැදගත් වනවා.

අප මුලින් සඳහන් කළ ආකාරයට හිස දේහයේ තිබෙන ප්‍රධාන මර්මස්ථානවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. හිස සම්බාහනය මඟින් අපේ මුළු ශරීරයේම ක්‍රියා උත්තේජනය වීමක් සිදුවනවා. එමෙන්ම මෙමගින් මොළයට සැපයෙන රුධිර ප්‍රමාණයත් වැඩිවනවා. ස්නායු හොඳින් පෝෂණය වනවා. මේ හිතකර ප්‍රතිඵල නිසා හිස සම්බාහනය ඉතා වැදගත්.

හිස සම්බාහනය නොකළ යුතු සහ සුදුසු නොවන අවස්ථා තිබෙනවද?

හිස හා සම්බන්ධව ඇති යම් යම් ආකාරයේ රෝග තත්ත්වයන්වලදි හිස සම්බාහනය කිරීම සිදුවන්නේ නෑ. රුධිර පීඩනය ඇතිවීම, අධික සෙම, ඇදුම ඇතිවිට අධික උණ ඇතිවිට, හිස ඇල්ලීමටවත් නොදෙන තරම් හිසරදයක් ඇතිවිට සහ ගැබිනි මව්වරුන්ගේ මුල් මාස තුන හා අවසාන මාසයේදී යන අවස්ථාවන්වලදී හිස සම්බාහනය නොකළ යුතුයි.

ස්පා ප්‍රතිකර්මයන්වලදී හිස සම්බාහනය සඳහා වැඩි විශේෂත්වයක් හිමිවනවා නේද? එහිදී මෙය ක්‍රමවත්ව සිදුකෙරෙන්නේ මොන ආකාරයෙන්ද?

මේ ප්‍රශ්නය හරිම වැදගත්. හේතුව මෙය මේ පිළිබඳව දැනුමක් පළපුරුද්දක් නැති අයට කළ නොහැකි, කිරීමට නුසුදුසු කාර්යයක් වන නිසයි. ස්පා ආයතනවල මෙම කාර්යයේ නිරතවන්නේ මේ හා සම්බන්ධව මනා දැනුමක් පළපුරුද්දක් ඇති අයයි. හිසේ රෝග තත්ත්වයන් ඇති අය මෙන්ම මානසික පීඩාවන් නිසා පීඩාවට පත්ව කායික අපහසුතාවයන්ගෙන් පෙළෙන අය ස්පා එකට එනවා. අපි මුලින්ම කරන්නේ මේ අයට කායිකව තිබෙන රෝගි තත්ත්වයන් අපහසුකාරී තත්ත්වයන් විමසා පරීක්ෂා කර බලා ඉන්පසුව ඒ අයට අවශ්‍ය පරිදි තෙල් වර්ග සහ ඖෂධීය හිස ගැල්වුම් යොදාගෙන අප ප්‍රතිකර්ම කරනවා. මෙහිදී යොදාගන්නා තෙල් වර්ග වුවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වනවා. සෙම් සහිත සහ පීනස් සහිත කෙනකුට උෂ්ණවීර්යය සහිත බටුතෙල් වැනි තෙල් වර්ගයක්, නින්ද අඩු අයට ශීත ගුණ සහිත සත්වාදී නීල්‍යාදී වැනි තෙල් වර්ගත් භාවිත කෙරෙනවා. හිසකෙස් ආශ්‍රිත ගැටලුවලදී ඒ ඒ අවස්ථාවට අනුව නිර්ගුණ්ඩි, ත්‍රිපලා වැනි තෙල් වර්ග යොදා ගැන්ම සිදුකෙරෙනවා. ඉන්පසුව හිස් කබල මත තෙල් ගල්වා ක්‍රමවත්ව නිල ස්ථාන තෙරපමින් විනාඩි 20 ක පමණ කාලයක් සම්බාහනය කිරීම සිදුකෙරෙනවා. ඉන්පසු උණුසුම තුවායකින් මදවෙලාවක් (විනාඩි 15 ක් පමණ) හිස ආවරණය කර තිබෙනවා. සාමාන්‍යවෙන් හිස සම්බාහනය කිරීම සඳහා වඩාත් සුදුසුවන්නේ උදේ 10.00 ත් හවස 2.00 ත් අතර කාලය අතරතුරදීයි. සමහරුන් නිවෙසේදී සාමාන්‍ය ආකාරයෙන් හිසට තෙල් යොදා හිස සම්බාහනය සිදුකරගන්නා අවස්ථාවන් තිබෙනවා. මෙහිදී වුවද නිවැරැදි ක්‍රමවේදයෙන් ගැන අදාළ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා එය සිදුකරගන්නවානම් වඩාත් සුදුසුයි. එසේ නොමැතිව හිතුමතේට හිස සම්බාහනය කර ගැන්මට යාම සුදුසු දෙයක් ලෙස අනුමත කළ නොහැකියි.

 

උපදෙස්

ආයුර්වේද වෛද්‍ය

චතුරිකා ප්‍රියදර්ශනී

චාම්වේ වෛද්‍ය මධ්‍යස්ථානය අනුබද්ධ ස්පා ඕරා

නාවල - නුගේගොඩ

2962 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 09, අඟහරුවාදා 12:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න