තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 12:27

සුදු වෙන්න ගිහින් ප්‍රශ්නයක්... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
  ජීවත් වීමේ දී මිනිසුන්ට විවිධාකාර ගැටලු ඇති වේ. ඒ අතරින් කාන්තාවන්ට වඩාත් බලපාන ගැටලු ද ඇත. එහෙත් අද වන විට රූපලාවණ්‍ය ගැටලු කාන්තාවන්ට පමණක් නොව, ඇතැම් පිරිමි පාර්ශ්වයට ද කනස්සල්ලට හේතුවක් වී ඇත.

 

අප මේ සැරසෙන්නේ ඔබේ දිවියට අමතර බාධාවක්ව ඇති රූපලාවණ්‍ය ගැටලුවලට පිළිතුරු ලබා දීමටයි.

මුහුණේ පැත්තක කුරුලෑ..

මගේ මුහුණේ එක් පැත්තක පමණක් කුරුලෑ බිබිලි ඇති වී තිබේ. මෙයට මා කුමක් කළ යුතු ද?

කෑගල්ලේ - සමන්මලී

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු කිහිපයක් බලපානු ලබයි. ඉන් එක් හේතුවක් වන්නේ ඔබ නිදා ගන්නා ඉරියව්වයි. ඔබේ හිසේ ඉස්හොරි තිබේ නම් හෝ හිසේ තෙල් ආලේප කරන්නේ නම් ඔබ හිස තබන කොට්ටයේ ඉස්හොරි පොතු හෝ තෙල් ගෑවී තිබෙන්නට පුළුවන. එවිට පැත්තට හැරී නිදා ගන්නා විට එම දේවල් මුහුණේ සමෙහි ගෑවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය.

එමෙන්ම සමේ තැනින් තැන ක්‍රියාකාරීත්වය වෙනස්වීම ස්වභාවික ය. මෙය එවැනි තත්ත්වයක් ද විය හැකිය. මේ සඳහා ප්‍රතිකර්ම කිරීමට පෙර මෙය ඇති වීමට හේතුව සොයා ගත යුතුයි.

කෙසේ වෙතත් කුරුලෑ නොකඩා පරෙස්සමෙන් තිබෙන්නට හැරිය යුතුයි. නැතිනම් වෙනත් ආසාදන තත්ත්වයන් ඇති විය හැකිය. ඔබ මුහුණ පිරිසුදු කිරීමේ දී ෆේස් වොෂ් ආදිය ගැල්වීමේ දී මුළු මුහුණේම ගල්වනවාට වඩා පැත්තෙන් පැත්ත ගල්වා සේදීම වඩාත් සුදුසුයි. නැතිනම් කුරුලෑවල යුෂ තැවරීමෙන් අනෙක් පැත්තේ ද කුරුලෑ ඇති විය හැකියි.

කුරුලෑ බොහෝ ප්‍රමාණයක් ඇති වී තිබේ නම් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි. කුඩා ප්‍රමාණයක කුරුලෑ පවතී නම් පමණක් රූපලාවණ්‍ය ප්‍රතිකර්ම කිරීම සුදුසුයි.

ස්ට්‍රෙච් මාක් නිසා අසහනයෙන්..

මම එක්දරු මවකි. දරු ප්‍රසූතියෙන් පසුව මගේ උදරයේ සම පුපුරා ගිය ආකාරයේ කැලැල් ස්වභාවක් පවතී. මේ තත්ත්වය නැති කළ හැකිද?

වේයන්ගොඩ – අනුෂා

දරුවකුට උපත දුන් පසුව මෙවැනි ස්ට්‍රෙච් මාර්ක් උදරයේ ඇති වීම ස්වභාවික තත්ත්වයකි. මෙලෙස වන්නේ හම විශාල ලෙස ඇදීමකට ලක්වීම නිසයි. එලෙසින් සම ඇදීමකට ලක්වීමේ දී සමේ කැලැල් ඇති වේ.

මෙම කැලැල් තත්ත්වය අවමකර ගැනීම සඳහා ඇදුණු සම තද කිරීමට, ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය. සම වියළීම මේ තත්ත්වය වැඩි කිරීමට හේතු වන නිසා ඔලිව් තෙල් ආලේපකොට සමේ තෙතමනය ආරක්ෂා කරගත යුතුය. ඔලිව් තෙල් ආලේපකොට සිරුර සම්බාහනය කිරීම වඩාත් සුදුසු ය.

එමෙන්ම ව්‍යායාම කිරීම මඟින් ඇදුණු සම යථා තත්ත්වයට පත්කර ගත හැකිය. එමඟින් සමේ ශක්තිමත් බව ඇති කරයි. කෙසේ වුවද මේ සියල්ලෙන්ම සිදු කළ හැකි වන්නේ සමේ ස්ට්‍රෙච් මාක් අවම කරගැනීම පමණකි.

සුදු වුණත් බිබිලි ඇවිත්...

මම උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකි. තද තළෙළු පැහැති සමක් තිබුණු බැවින් සම සුදුකර ගැනීම සඳහා වෙළෙඳ පොළේ ඇති මිල අධික ක්‍රීම් වර්ගයක් ආලේප කළෙමි. එමඟින් සම සුදු විය. එහෙත් අව්වේ ගියපසුව සමේ කුඩා බිබිලි වගයක් ඇතිවීම නිසා මුහුණ විරූපී වී ඇත. මේ සඳහා මා කුමක් කළ යුතු ද?

නුවර – මැණික්

ඔබ පවසා ඇති තත්ත්වය හිරු එළිය නිසාම සිදු වූවක්දැයි නිශ්චිතව දැනගත යුතුය. එසේ නැතිනම් මෙම ක්‍රීම් වර්ගය ඇලජි වීම නිසා ඇති වූ තත්ත්වයක් ද විය හැකිය. සාමාන්‍යයෙන් හිරු එළියට නිරාවරණය වූ විට ඇති වන්නේ පිග්මන්ටේෂන් ලෙස හඳුන්වන පැල්ලම් ය.

එහෙත් සම සුදු වීමට සිදු කරන ක්‍රියාවල දී සමේ මෙලනින් සංයුතිය අඩුවන බව ඔබ දැන සිටිය යුතුයි. මක්නිසාද සමට හිරු එළිය පතිත වීමේ දී ඇතිවන හානිකර තත්ත්වයන් අවම කරන්නේ මෙලනින් මඟිනි. එමනිසා සමේ මෙලනින් සංයුතිය අඩු වීමෙන් හිරු එළියෙන් සිදු වන හානි වැඩි විය හැකියි.

කෙසේ වුවත් ඔබ සිහි තබා ගත යුතු තවත් කරුණක් වන්නේ වර්ණය කෙසේවත් රුවට බලනොපාන බවයි.

සම එල්ලා වැටිලා..

මම කාලයක් තරමක ස්ථූල ශරීරයක් තිබූ තරුණියකි. මම එක් පාන වර්ගයක් ගැනීමෙන් ඉතා ඉක්මනින් සිරුර අඩු විය. එහෙත් අත්වල සම එල්ලා වැටෙන ස්වරූපයක් ගන්නා නිසා පෙර තිබූ තත්ත්වයට වඩා අවලස්සනක් දිස් වේ. මේ සඳහා ප්‍රතිකර්මයක් පවසන්න.

මාතලේ - රුවිනි

ස්ථූලව පැවැති සිරුරක් සිහින් කිරීමට යාමේ දී වඩාත් පරෙස්සම් විය යුතුය. එක්වරම සිරුර සිහින් වීමේ දී හම නිසි පරිදි ශක්තිමත් බව සමඟින් මේදය ඉවත් වෙනවා වෙනුවට මේද ස්ථරය පමණක් අවම වීමෙන් සම එල්ලා වැටීමට හැකියාව ඇත.

මේ නිසා සිරුර සිහින්කර ගැනීමේ දී කොතරම් ක්‍රම පැවතියත් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ ව්‍යායාම කිරීමයි. එයද නිසි පරිදි ක්‍රමානුකූලව සිදු කළ යුතුයි. එසේ නැති වූ විට මෙවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වීම ස්වභාවික විය හැකිය.

දැන් ඔබ කළ යුත්තේ සම සිරුරේ ප්‍රමාණයට සකසා ගැනීම සඳහා තෙල් වර්ගයක් ගල්වා සිරුර සම්බාහනය කිරීමයි. මෙය ද දැනුම ඇති ස්ථානයකින් සිදුකර ගත යුතුයි.

වෛද්‍යවරු ළඟ සිරුර සිහින් කිරීම සඳහා තවත් උපක්‍රම පවතින බැවින්. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ද ඔබට හැකියාව ඇත.

 

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

හසිනි ගුණසේකර

 

 

 

 

639 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 12:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න