තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 14:44

හිසකෙස් විලාසිතා ආවාට ගියාට එපා විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය කටයුතු කරන අය මෙන්ම සේවා දායකයින් වුවත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අප විශේෂයෙන්ම මෙම රූපලාවණ්‍ය පාඨමාලාව තුළින් වැඩි අවධානයක් යොමුකරනු ලබන්නේ රූපලාවණ්‍ය ක්‍රම සහ සත්කාර පිළිබඳව මෙන්ම වෘත්තිමය වශයෙන් මෙහි නියැලෙන ආධුනික ඔබටත් මේ පිළිබඳව නිවැරැදි මඟපෙන්වීමක් කරන අටියෙන්.

 

එම නිසා රුපලාවණ්‍යයේදී ඔබගේ අවධානය යොමු වියයුතු වැදගත් කරුණු කාරණා බොහෝමයක් මේ තුළින් ඔබ හමුවේ තබන්නට අප අදහස් කරනවා. රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස මෙම වෘත්තියේ නියැළීමේදී බොහෝවිට හිසකෙස් සත්කාර මෙන්ම කේෂාලංකරණ කටයුතු කෙරෙහි නියැලෙන්නට ඔබට සිදුවෙනවා. මෙවන් අවස්ථාවන්හි බොහෝවිට අවධානය යොමුකරන්නේ කේශාලංකරණය පිළිබඳව පමණයි.

එය නිවැරැදි දෙයක් නොවෙයි. හේතුව කේෂාලංකරණය ගැන මෙන්ම හිසකෙස්වල ස්වභාවය එහි නිරෝගිමත් බව සහ කෙස්ගසෙහි ආරක්ෂාව පිළිබඳව මනා දැනුමක් හා අවබෝධයක් ඔබ තුළ තිබීම ඉතාමත් වැදගත් කොට සැලකිය යුතු වෙයි.

මෙහිදී නිරෝගී කෙස් කළඹක ලක්ෂණ මෙන්ම රෝගී කෙස් කලඹක ඇති ලක්ෂණ ගැනත් නිවැරැදිව වටහා ගැන්ම අවශ්‍යමයි. අප කෙස් ගස ගතහොත් එය අපට කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.

ඒ හෙයා බියුටිකල්, කෝටෙක්ස් සහ මෙඩියුලා වශයෙන්. මෙහි කියුටිකල් එක හොඳින් ඝනව තිබීම ප්‍රෝටීන් හා විටමින් ආදියෙන් ශක්තිමත්වීම, කොණ්ඩයේ හොඳින් ඇදෙන ගතිය එමෙන්ම මොයිස්චර් ගතිය, එනම් තෙතමන ස්වභාවයකින් යුක්තවීම, කොණ්ඩයේ සුසිනිඳු බව සහ දිදුලන ස්වභාවයකින් යුක්තවීම. එවන් කොණ්ඩයක් අපට නිරෝගිමත් කොණ්ඩයක් ලෙස සලකන්නට පුළුවන්.

එහෙමනම් රෝගී හිසකෙස් අපට හඳුනාගත හැක්කේ එහි කුමන ලක්ෂණ අනුව ද?

කෙස් ගස් කැඩී, කෙස් ගස අග පැලී වඩාත් වියළී ඇති ස්වභාවයක් දැක්වීම.

කෙස් ගසෙහි ඇදෙන සුළු බවක් නොමැතිවීම, ඉක්මණින් කෙස් ගස කැඩීයාම, හිසකෙස්වල බර ගතියක් නොමැතිවීම. කෙස් ගස් ශක්තිමත් බවක් නොදැක්වීම ආදී ලක්ෂණ මඟින් අපට රෝගී වූ හිසකෙස් මෙන්ම හානි වී ඇති හිසකෙස් හඳුනාගත හැකියි. මේ ආකාරයෙන් දුර්වල වූ හිසකෙස් වෙත්නම් හිසකෙස් අලංකාර කිරීමට යාමට පෙර අප කළයුත්තේ සේවාදායකයාව දැනුවත්කර හිසකෙස්වල ශක්තිමත් බව නිරෝගිමත් බව රැකදෙන ආකාරයෙන් අවශ්‍ය පෝෂණය සහ නිසි සත්කාර ලබා ගැන්මට උපදෙස් ලබාදීමයි.

ඒ ආකාරයෙන් නිරෝගිමත් කෙස්

කළඹක් ලබාගත් පසු ඔවුන්ට අවශ්‍ය හිසකෙස් විලාසිතාවන්ට යොමුකරවන්නට හැකියාව තිබෙනවා. නමුත් අද බොහෝ විට හිසකෙස්වල ආරක්ෂාව ගැන නොතකා හෙයාර් කලර් ස්ට්‍රේට්, පර්මින්, රීබොන්ඩින් ආදිය සිදුකරන්නට යාම නිසා හිසකෙස් ගැටලු බහුල වී තිබෙනවා. මෙන්න මේ නිසයි අප ඉහත කී කරුණු කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වන්නේ.

අනවශ්‍ය ලෙස හිසකෙස් සඳහා ඇති ආලේපන ඖෂධ පාවිච්චියේ හානිකර බව වටහා දෙන්න රූපලාවණ්‍ය ශිල්පීන් වශයෙන් මෙවන් දේ පිළිබඳව සේවාදායකයින් දැනුවත් කිරීම අපේ වගකීමක් බව අමතක කරන්නට එපා.

ප්‍රචාරණයට වහල් වී මුදල්මය ලාභ ලැබීමේ තත්ත්වයන්ට නතුවී යම් යම් ආලේපන ගැනීමට සේවාදායකයින් පෙළඹීමද සුදුසු දෙයක් නොවේ. හේතුව ප්‍රමිතියක් නැති ආදේශක ඖෂධ නිසා බොහෝවිට හානිකර තත්ත්වයන්ට මුහුණපෑමට ඔවුන්ට සිදුවන නිසයි.

අප හිසකෙස් සත්කාර කළ යුත්තේ හිසකෙස්වල ස්වභාවය සහ එහි නිරෝගිමත් බව කෙරහි සැලකිලිමත්වීමෙන් පසුවයි. හිසකෙස් සඳහා ස්වාභාවික සත්කාර කෙතරම් තිබුණත් අද කාර්යය බහුලතාවය නිසා බොහෝ දෙනෙක් විවිධ ආයතන නිෂ්පාදනය කරනු ලබන විවිධ ආලේපන භාවිතයට පෙළඹී තිබෙනවා. මෙවන් ආලේපන තෝරා ගැනීමේදී මේවා අප රටේ දේශගුණයට ගැලපෙන

නිෂ්පාදනයක්ද, අපේ ශරීරයට හිසකෙස්වලට ඔරොත්තුදෙන

නිෂ්පාදනයක්ද? එහි අඩංගු ද්‍රව්‍යයන් අපට හානිකර බලපෑම් ගෙනදෙන ආකාරයේ ඒවාද, උසස් ප්‍රමිතියකින් යුතුව වෛද්‍ය අනුමැතියලත් සහතිකයක් මත කර ඇති නිෂ්පාදනයක්ද යන්න ගැන සැලකිලිමත්වීම වඩාත් වැදගත් කොට සැලකිය යුතුයි.

විශේෂයෙන්ම සත්ත්ව තෙල් අඩංගුව ඇති නිෂ්පාදන භාවිත කිරීමෙන් නොයෙක් ආකාරයේ ආසාදන අහිතකර තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්.

එවන් දේ පිළිබඳව අවධානයක් නොදක්වමින් හිසකෙස් සඳහා වන යම් යම් ආලේපනයන් භාවිතයෙන් සිදුවන්නේ තමන් විසින්ම තම කෙස් කලඹට හානිකර ගැන්මයි.

එමෙන්ම දැන් හිසකෙස්වල වර්ධනයට දිදුලන පෙනුමකට උපමා ගෙනදෙමින් විවිධ පෙති - කරල් එනම්, විකෘති හෝමෝන අඩංගු ටැබ්ලට් - කැප්සියුල්ස් ආදිය විවිධ වූ

නිෂ්පාදන යටතේ වෙළෙඳපොලට ඉදිරිපත් කර තිබෙනවා. මෙවන් දේ කිසිදු විමසුමකින් තොරව හිතුමතේ භාවිත කිරීමට යාම නිසා විවිධ හානිකර බලපෑම්වලට මුහුණ දෙනවා.

ඇතැම්විට මෙහි ප්‍රතිඵලයක් ලෙස එක් අතකින් හිසකෙස් වර්ධනය වීමක් වනවා වන්නට පුළුවන්. නමුත් තවත් අතෙකින් අභ්‍යන්තර වශයෙන් අහිතකර බලපෑම් ගෙන දෙන්නට පුළුවන්.

සමහරවිට මෙවන් ටැබ්ලට් කැප්සියුල්ස් ආදිය නිසා දරුඵල නොමැතිවීම, ඔසප් ක්‍රියාවලිවලියේ අක්‍රමිකතා ඇතිවීම, සිරුර මහත්වීම, උදරය නෙරාඒම හෝ එල්ලා වැටීම ආදිය විය හැකියි. එම නිසා මෙවන් ඖෂධ වෛද්‍ය උපදෙසකින් තොරව හිතුමතේට ගැනීම නුසුදුසුබව කිව යුතුයි.

මේ නිසා ඔබ හිසකෙස් සඳහා කෘත්‍රිම ආලේපන භාවිත කරනවානම් සත්ත්ව තෙල් සහ කෘත්‍රිම හෝමෝන වර්ග අඩංගු නැති ආලේපන තෝරාගන්නට සැලකිලිමත්වන්න. සමහරවිට ප්‍රමිතියෙන් උසස් ආලේපන ලෙස නමක් දිනා ඇති ආලේපනවලට සමානව ව්‍යාජ ලෙස වෙළෙඳපොලට ආලේපන වර්ග අඩු මුදලකට ඉදිරිපත් කරන අවස්ථා අප දැක තිබෙනවා.

එවන් දේවලට හසුනොවී අප වෙනුවෙන් ගන්නා ආලේපන උසස්ම ප්‍රමිතියකින් යුතුද යන්න ගැන කල්පනාකාරිව කටයුතු කළ යුතුයි.

තමන්ගේ හිසකෙස්වල නිරෝගිමත් බව ලස්සන පෙනුම රැකගන්නට නම් ඉහත කී කරුණු කාරණා ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම හිසකෙස් සඳහා කරනු ලබන සත්කාර සහ හිසකෙස් අලංකරණ කටයුතුවලද හොඳ රූපලාවණ්‍යාගාරයක් තෝරා ගැනීමට සහ වඩාත් හොඳ දැනුමක් ප්‍රවීණත්වයක් ඇති රූපලාවණ්‍ය ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ සේවාව ලබාගැනීමත් ඉතාමත් වැදගත් බව අමතක කරන්න එපා. එයට හේතුව රූපලාවණ්‍යාගාරයකට අවතීර්ණ වී සිටින නුපුහුණු, දැනුමක් නොමැති අයගේ ක්‍රියාකලාපයන් නිසා සේවාදායකයන් බොහෝවිට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇති නිසයි.

හෙයා කලර් එකක් කරගන්නට ඔබ කැමැත්තෙන් සිටිනවා නම් මේවන විට ඔබ හෙයාකලර් එකක් කර ඇති අයකු නම් හෝ ඒ හා සම්බන්ධව විවිධ ගැටලුවවලට මුහුණ පා ඇති අයෙකු නම් මේ පිළිබඳව ඔබට නිවැරැදි දැනුවත් බවක් අවශ්‍ය බව අප දන්නවා.

එම නිසා හෙයාර් කලර් එකක් කිරීමට කලින් ඔබ සැලකිලිමත් විය යුතු දේ සම්බන්ධව මෙන්ම හෙයාර් කලර් එකකින් පසු ඔබේ හිසකෙස්වල ලස්සන පෙනුම පවත්වා ගත යුත්තේ කෙසේද? එහි නිරෝගිමත් ස්වභාවය රැකගන්නට ඔබ කළ යුතු දෑ සහ අනුගමනය කළ යුතු උපදෙස් මොනවාද යන්න ගැන ඉදිරි සතියේදී අප කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

මෙවන් දේ ගැන දැනුවත්වන්නට සිටින ඔබට මෙම මඟපෙන්වීම වඩාත් හොඳ අත්වැලක් වනු නිසැකය.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

ජොනී ගුණසේකර

472 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 14:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න