තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

2018 පෙබරවාරි 26, සඳුදා 15:06

ඩයි කරන්න සැලකිලිමත් නම්ඇයි මේ නොසැලකිල්ල ? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
හිසකෙස් සුදුවෙන්න පටන් ගත්තා කියන්නේ ඩයි එකක් පාවිච්චි කරන්න දැන් සූදානම් විය යුතුයි කියන එක. ඩයි කරන්නට සැලකිලිමත් වන අයගේ නොසැලකිල්ල නිසා ඇතිවන ප්‍රශ්න ගැනත් බොහෝවිට අසන්නට ලැබෙන නිසා ඒ පිළිබඳව ලබාදෙන මෙම දැනුවත් බව ඔබට වඩාත් වැදගත් වේවි.

 

 

ඩයි එකක් කිරීමෙන් පසුව එය නියමිත කාල වේලාවක් තුළදී ඉවත්කළ යුතු බව ඩයි භාවිත කරන අය නොදැන සිටින්නට හේතුවක් නෑ. එය පැය භාගයකින්, විනාඩි හතළිස් පහකින් ඉවත් කළයුතු බව නිෂ්පාදකයා සඳහන් කොට තිබෙනවා නම් එය ඊට කලින් හෝ එම කාල වේලාව ඉක්ම යාමෙන් පසුව හෝ සෝදා ඉවත් කිරීම සුදුසු දෙයක් නොවෙයි. නියමිත වේලාවට කලින් ඉවත් කිරීමෙන් ඩයි එක හිසකෙස්වලට අල්ලා ගැනීමේ ප්‍රමාණය අඩුවෙනවා. සමහරුන් ගෙදර වැඩ සියල්ල නිමකර නියමිත කාලයක් ඉක්ම ගිය පසු ඩයි එක සේදීමට පෙළඹෙනවා.

ඩයි එක වැඩිවේලාවක් හිසකෙස්වල තිබිය යුතුයි කියා සිතනවානම් එය වැරැදි අදහසක්. රසායනික ද්‍රව්‍යයන් අඩංගු ඩයි භාවිතයේ දී ඉන් හිසකෙස්වලට පාටක් ගෙන දෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නිසයි. එම නිසා අපි රසායනික ද්‍රව්‍ය සහිත ඩයි භාවිත කරනවිට ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වියයුතු කාරණා දෙකක් තිබෙනවා. එනම් උෂ්ණත්වය සහ කාලයයි. ඕනවට වඩා වැඩි කාලයක් හිසෙහි ඩයි තිබෙන්නට හැරීමෙන් අනිසි ප්‍රතිඵල නිසා හානිකර බවක් ගෙන දෙන්න පුළුවන්. එසේනම් මෙහිදී අවධාරණය කළයුතු වැදගත්ම දේ ඩයි තවරා නියමිත කාලය තුළදී ඉක්මනින් සෝදා හැරීමයි. එසේ නොවුණහොත් හිස්කබල පුරා කළු පැහැ පැල්ලම් ඇතිවීමක් සිදුවනවා. මෙය සමටත් හිතකර දෙයක් නොවෙයි. මෙමඟින් හිස්කබලට ඇතිවන අහිතකර බලපෑම් නිසා හිසකෙස් ගැලවී යාමට පටන්ගන්නවා. එමෙන්ම කෙස්ගස් දුර්වල වී කැඩීයාම, පැලීම ,කොණ්ඩය හැලීම වැනි ගැටලු ඇතිවිය හැකියි.

ඩයි කළ පසු හොඳින් සෝදා ඉවත්කරන්න

 

ඩයි කළ හිසකෙස් සමහරුන් හොඳින් සෝදන්නේ නෑ. ඒ ඩයි එක ඉවත් වී යාවියැයි යන වැරැදි හැඟීම නිසයි. එය සුදුසු දෙයක් නොවෙයි. ඩයි කළ පසු එය හොඳින් සෝදා ඉවත් කළ යුතුමයි.

ඩයි කළ හිසකෙස්වලට නියමිත ෂැම්පු එක භාවිත කරන්න.

 

මෙය ඉතා වැදගත්. හේතුව අපි ඩයි කරනවිට අපේ කෙස් කළඹේ තිබෙන  PH  අගය වෙනස්වන්නට පුළුවන්. එය නැවත යථා තත්ත්වයට පත්කරන්නටත් තැවරූ ඩයි එක කලක් හිසකෙස්වල රඳවාගන්නටත් හිසකෙස් ආරක්ෂා කරගන්නටත් විශේෂිත වූ ෂැම්පූ වර්ග වෙළඳසැල්වල තිබෙනවා. එනම් වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා (coloured hair)  කලර්ඩ් හෙයාර් නැත්නම් ඩැමේජ් හෙයාර් (damaged hair)  එසේත් නැතිනම් ව්‍යුහය වෙනස් වූ කෙස් කළඹක් සඳහා ට්‍රීටඩ් හෙයාර් (Treated hair)  ආදී වශයෙන් වන ෂැම්පු භාවිත කළ හැකියි. මෙවන් ෂැම්පු භාවිතයෙන් ඩයි එක හිසකෙස් මත දිගුකලක් පවතින අතරම එය කෙස් කළඹේ නීරෝගී බවට ද හේතුවනවා. බොහෝ විට සමහරුන් ඩයි එක හොඳ නෑ, ඩයි ගාලා කොණ්ඩේ ගියා, දුර්වර්ණ වුණා, හිස කෙස් ගැලවී යන්න පටන් ගත්තා, කොණ්ඩේ ඩ්‍රයි වුණා ආදී වශයෙන් පවසන්නේ ඩයි කළ පසු නියමිත ෂැම්පු වර්ගයක් භාවිත නොකිරීම නිසා. එමෙන්ම මෙහිදී කන්ඩිෂනර් භාවිතය ද අත්‍යවශ්‍යයි.

ඩයි කළ කොණ්ඩයක් සේදීමේ දී

 

වැඩි දෙනෙක් මෙහිදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම නිසා ගැටලු ඇතිකර ගන්නවා. කොණ්ඩයේ තැවරූ ඩයි සෝදා ඉවත් කිරීමේ දී එය කළයුත්තේ තමන්ගේ ඇඟට ඩයි වතුර නොවැටෙන ආකාරයටයි.

එසේ නොවුණහොත් කොණ්ඩය කළුවෙනවාට අමතරව නළල, මුහුණ, ඇඟ දුර්වර්ණවීමට පුළුවන්. ඩයි භාවිත කරන අයගේ මුහුණේ පැල්ලම් ඇතිවීමට හේතුවන පළමු කාරණය වන්නේ ඩයි සේදී යන වතුර මුහුණට ගලා ඒමයි. එය මුහුණේ සමට උරාගැන්මෙන් මුහුණ දුර්වර්ණ වෙනවා.

ඇස්, කන්වලට ඩයි වතුර යාම වළක්වාගන්න

 

ඩයි සේදී යන වතුර ඇස්වලට සහ කන්වලට යාම වළක්වාගන්නා ලෙසත් එසේ නොවුණහොත් ඇස් අන්ධ වීමට පවා ඉඩ ඇති බව ඩයි ඇසුරුම්වල සඳහන්ව තිබෙනවා. නමුත් සමහරුන් නොසැලකිලිමත් ලෙස කටයුතු කරනවා. ඩයි වතුර ඇස්වලට යාම ඉතාම අහිතකරයි. එමෙන්ම කන් තුළට ඩයි වතුර යාම ද අහිතකරයි. කන් බෙරය යනු ඉතා සියුම් පටලයක්. ඩයි වතුර නිසා මේ සියුම් පටලයට හානි විය හැකියි. මේ නිසා ඩයි කළ හිසකෙස් සේදීමේ දී ඇස්වලට සහ කන්වලට ඩයි වතුර නොයන සේ කටයුතු කිරීමට සැලකිලිමත්වන්න.

ඩයි සෝදා ඉවත්කළ යුත්තේ මොන ආකාරයට ද?

 

කොණ්ඩය පිටුපසට වැටෙන සේ සහ මුහුණට වතුර නොයන සේ හිස ටැප් එකට අල්ලන්න. එසේ හිස පිටුපසට බරකර සේදීමෙන් වතුර පහළට වැගිරෙන නිසා ඇස්වලට, කන්වලට සහ මුහුණට ඩයිවතුර ගලා නොඑයි.

ඩයි තවරන විට සැලකිලිමත් වියයුත්තේ කෙසේ ද?

 

ඩයි තවරන අවස්ථාවේ දී අනිවාර්යයෙන්ම කනේ උඩ කොටස පුළුන්වලින් හෝ ටිෂූ තබා හිස කෙස් සහ කන අතරමැද ප්‍රදේශය ආවරණය කරගන්න. එසේ කළ යුත්තේ හිසකෙස්වල තවරන ඩයි කන්වල ගෑවුණ විට එය ඉවත් කිරීමට අපහසු වීම සහ කන්වල කළුවීමක් ඇතිවීමයි. අනෙක් කරුණ නම් ඩයි තැවරීමට පෙර කන් වටා සහ නළලේ හෙයාර් ලයින් එක වටේටත් ගෙල පිටුපසටත් ක්ලෙන්සින් ක්‍රීම් ආලේප කිරීමයි. එසේ කිරීමෙන් යම් හෙයකින් එම ස්ථානවල ඩයි තැවරීමක් සිදුවූවත් පහසුවෙන් පිස ඉවත් කරලීමට හැකිවෙයි. එසේ නොවුණහොත් සමේ තැවරෙන ඩයි පැල්ලම් සමට උරාගැනීම නිසා දුර්වර්ණ බවක් ගෙනදිය හැකියි. එමෙන්ම ඩයි තවරන විට විශේෂයෙන්ම අත්වැසුම් පාවිච්චි කිරීමට මතක තබා ගන්න. එය ද ඉතා වැදගත්.

ඩයි භාවිතයේ දී ගැටලු මතුවන්නේ ඇයි ද යන්න ගැන දැන් ඔබට වැටහෙන්නට ඇති. එසේනම් මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වෙමින් ඩයි භාවිත කරන්න. එවිට නොසැලකිල්ල නිසා මෙහිදී ඔබට ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගන්නට හැකිවේවි.

 

 

 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්විනීතා කොතලාවල

 

සැලෝන් Swini
 

1243 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 26, සඳුදා 15:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න