තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජූනි 20, අඟහරුවාදා 11:52

උඩරට ක්‍රමයට කුලගෙට යන්නට මල් මංගල්ලෙට මල් කලඹක් විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මනාලියක අත රැඳි මල් කලඹ මංගල උළෙල දා ඇගේ සුවිශේෂී බව කියාපාන කැඩපතක් බඳුය. මල් කලඹක් අත දරමින් මනාලියක වන්නට සිහින දම් පුරන යුවතියන් එය සැබෑවන දාට නැවුම් වූ වෙනසක් අත්විඳියි.

 

බොහෝවිට මනාලියක වන දා ඇගේ අත රැඳෙන්නේ ස්වාභාවික මලින් නිම කළ මල් කලඹකි. ස්වභාවික මලින් නිමවූ මල් කලඹක් බරින් වැඩිය. මනා සංවරයකින් යුතු ලිය මනාලිය වනදා අත දරන මල් කලඹේ හැඩය, මල්වල පැහැය, ඊට එකතු කරගන්නා මල් වර්ග යනාදිය මල් කලඹක් සාදද්දී වෙසෙසින්ම සිතට ගත යුතු කරුණු කිහිපයකි. වත්මනේ බොහොමයක් යුවතියන් සැරසෙනුයේ උඩරට සම්ප්‍රදායට අනුකුල වූ ඔසරියකිනි. මෙයට මාල හත, නළල් පට ආදී ආභරණ එක් වේ. මොඩ(ර්)න් කැන්ඩියන් හෙවත් නවීන විලාසිතාවලට අනුකූලව ඔසරියෙන් සැරසෙන මනාලියන් ද වේ. මොවුන්ගේ අභරණ ද නවීන තාලයේ ඒවාය. ඊට සරිලන අන්දමින් මල් කලඹ නිර්මාණය වීම ද සුවිශේෂී ය.

සාමාන්‍යයෙන් මල් කලඹට ගන්නා මල්වල පැහැය තීරණය වන්නේ සාරියේ පැහැයට අනුව ය.

මල් කලඹෙහි හැඩය අනුව ඒවා විවිධ නම්වලින් හැඳින්වෙන අතර ඇතැමුන් තම විවාහ මංගල්‍යයේ තේමාව මල් කලඹ හා ආදේශ කරගනියි. පැහැය තේමාව කරගනිද්දී දෙවැනි මනාලියන්ගේ ඇඳුමේ පැහැය මනාලියගේ මල් කලඹ සඳහා එක්කරන අවස්ථා ද තිබේ.

මනාලියගේ සිරුරේ හැඩයට සරිලන පරිදි ද මල් කලඹ හා ඊට යොදා ගන්නා මල් වර්ග එක්කරයි. ඒ අනුව මිටි කෙනෙක් උස්ව පෙන්වන්නට, උස් කෙනෙක් මිටිව පෙන්වන්නට, සිහින් සිරුරැති කෙනකුට පිරිපුන් සිරුරක් ගෙනදෙන්න, මහත කෙනකුට සාමාන්‍ය සිරුරක හැඩය ගෙනදීමට මල් කලඹකට හැකිවේ.

මේ එකකට එකක් වෙනස් අන්දමේ, උඩරට ක්‍රමයට සැරසෙන මනාලියන් සඳහා වූ මල් කලඹ කිහිපයකි. උඩරට ක්‍රමයට මනාලියක ලෙස සැරසෙන්නට ද ඔබ සිතුවේ...? බලන්න මේ මල් කලඹ කිහිපය දිහා. ඔබේ සිත් ගත් මල් කලඹක් මෙහි වේද?

1. නෙළුම් පොහොට්ටුවලින් හැඩ වී

මේ නම් සාම්ප්‍රදායානුකුලවම හැඩවුණු මනාලියක් සඳහා වූ මල් කලඹකි. නෙළුම් පොහොට්ටුවලින් නිම කළ මෙයට සාරියේ පැහැය වූ අයිවරි පැහැය එක්කර ගෙන තිබේ.

මේ මනාලියගේ ආභරණ රත්‍රං පැහැය මුසුකර තිබේ. ඒ මල් කලඹේ පහළ කොටසට වන්නයි. කඳුළු බිඳුවක (tear drops) හැඩයෙන් නිම වූ මේ සඳහා ඕකිඩ් මල් සහ පොහොට්ටු ද එක්කර ගෙන තිබේ. බෙන්ජමිනා කොළවලින් ද නන් විසිතුරු බවක් ලැබී තිබේ.

2. අයිවරි පැහැයේ සාරියට උචිත මල් කලඹ

අයිවරි පැහැයේ සාරියට උචිත පරිදි අයිවරි පැහැයේ රෝස මල්වලින් හැඩවූ අලංකෘත මල් කලඹකි. ස්ට්‍රෙෆනෝටීස් සහ ස්ප්‍රේ රෝසස් එකතුකර ඇත. ස්ප්‍රේ රෝසස් යනු රෝස මල්වල කුඩා මලයි. ඊට අමතරව බේබිස් බ්‍රෙත් සහ අයිවි කොළවලින් මල් කලඹ හැඩවැඩ වී තිබේ. යාන්තමට රත්‍රං පැහැය ද එක්කර ඇත. මේ මනාලියගේ සාරියේ පර්ල් (මුතු) අඩංගු නිසා මල් කලඹට ද පර්ල් එක්කර තිබේ. මල් කලඹට කොළ පැහැ මුසු වී තිබෙන්නේ රෝස පොහොට්ටුවලිනි. ඒ මනිපත්‍රවල ඇති කොළ පැහැයයි.

මොඩ(ර්)න් කැන්ඩියන් හෙවත් නවීන විලාසිතාවේ ඔසරිය සඳහා එක්කර ගෙන තිබෙන මෙම මල් කලඹ ෂවර් හැඩැතිය.

3. ෂවර් ක්‍රමයේ මල් කලඹේ හැඩ වැඩ

මේ ෂවර් හැඩයෙන් යුත් තවත් මල් කලඹකි. උඩරට ක්‍රමයට හැඩවැඩ වන මනාලිය මෙවැනි මල් කලඹක් අත දරා සිටිය දී ඇගෙන් අමුතුම ගාම්භීරත්වයක් දිස් වේ. මෙය ද සාම්ප්‍රදායික උඩරට මනාලියකගෙන් තරමක් ඔබ්බට ගිය මනාලියක සඳහා සුදුසු වූවකි.

මැඩෝනා ලිලී, රෝස මල්වල සම්මිශ්‍රණයත්, බෙන්ජමිනා කොළ සහ නුවරඑළි ෆර්ම්ස්වල මුසුව සමඟින් නිමවූ මල් කලඹ මෙම මනාලියගේ සාරියට පර්ල්ස් සහ ස්ටෝන්ස් එකතුව ඇති නිසා මල් කලඹට ද පර්ල්ස් සහ ස්ටෝන්ස් මුසුකර තිබේ.

මෙහි ඇති ලිලී මල්, සුදු පැහැති තරමක් විශාල නිසා සාමාන්‍ය උස මහතකින් හෙබි මනාලියකට වඩාත් සුදුසු වේ.

4. රෝස මල් පොකුරකින් යුතු මල් කලඹක්

විශාල රෝස මල් කිහිපයක එකතුවකින් හැඩවුණු සිත් ළගන්නා සුළු මල් කලඹක අපූරුවයි මේ. උඩරට මනාලියන්ගේ මල් කලඹ සඳහා රෝස මල් එකතු කිරීමෙන් මොඩ(ර්)න් ගතිය ලැබේ. ස්වභාවික රෝස මල්වලට අමතරව සාරියේ පැහැයෙන් ස්ප්‍රේ කළ රෝස මල් ද වේ. මෙම මල් කලඹ අත දරනා මනාලිය ඇඳ සිටින්නේ බිස්කට් පැහැයෙන් යුතු සාරියකි. ස්ප්‍රේ රෝස මල්වල මනිපත්‍ර උඩට නැමී ඇති නිසා මල් කලඹට කොළ පැහැයේ මුසුවක් ද ලැබේ.

ෂවර් හැඩැති මෙම මල් කලඹට ද පර්ල්ස් එකතුකර තිබේ. මෙය ද සාමාන්‍ය උසකින් යුතු යුවතියකට වඩාත් ගැළපේ.

 5. කඳුළු බිඳුවක හැඩැති මල් කලඹ

ආමන්ඩ් පැහැයට හුරු මෙම මල් කලඹ ද නූතන ක්‍රමයට (මොඩර්න් ස්ටයිල්) සැරසෙන උඩරට මනාලියගේ අසිරිය සිරි ගන්වයි. මෙහි සාරිය ක්‍රිස්ටල් පැහැතිය. ඇය පැලඳි ආභරණ රත්‍රං පැහැයේ වූ නිසා මල් කලඹට ද රත්‍රං පැහැය යාන්තමට මුසුකර තිබේ. සාරියේ තැනින් තැන හා අත් දෙකට පර්ල්ස් යොදා ඇති නිසා ආභරණවලට ද ප(ර්)ල්ස් එකතුකර තිබේ. ඒ නිසාම මල් කලඹ හැඩ කිරීමට ද ප(ර්)ල්ස් එකතුකර තිබෙන්නේ එකිනෙක යාවන පරිදිය.

මෙය කඳුළු බිඳුවක හැඩය ගත් මනබඳින සුළු මල් කලඹකි.

6. පැලනොප්සිස් හා ඕකිඩ් මිශ්‍ර වූ මල් කලඹ

මල් කලඹේ ඉහළ කොටසට පැලනොප්සීස් හා පහළ කොටසට ඕකිඩ් දමා හැඩ කළ ෂවර් හැඩයේ අපූර්ව මල් කලඹකි. තැනින් තැනට බේබිස් බ්‍රෙත් එක්කර ඇත. මෙම මනාලිය රත්‍රං පැහැති ආභරණ පැලඳ ඇති නිසා මල් කලඹට ද රත්‍රං පැහැය සම්මිශ්‍රණය වේ.

සාමාන්‍යයෙන් සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන විවාහ මංගලෝත්සවයන් සඳහා ගන්නා මල් කලඹක් උදේ පටන් පිටතට ගැනීම නොකළ යුතුයි. ඉර එළියට නිරාවරණය වද්දී ස්වාභාවික මල්වල යම් මැලවීමක් දක්නට ලැබේවි. කඩදාසි තෙත් කළ පෙට්ටියක දමා මල් කළඹ තැබීමත් වායු සමීකරණයකළ වාහනයක එහා මෙහා ගෙන යෑම, වායු සමීකරණය කළ කාමරයක තැබීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවීමෙන් මල් තැම්බීම නිසා මල් කලඹේ ස්වාභාවිකත්වයට හානි සිදුවේවි.

 

 

 ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා නීතිඥ - මධුවන්ති මලවිගේ

 ස්තූතිය ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේට

 ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

1601 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 20, අඟහරුවාදා 11:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න