තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජූලි 04, අඟහරුවාදා 15:34

Going Away හැඩකරන මල් කලඹ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
මල් මංගල්‍යයේ කාගේත් නෙත්සිත් ඇද බැඳගත් මල් මනාලිය මංගල උත්සවයේ අවසන් හෝරා කිහිපය ගත කරනුයේ මධුසමය සඳහා පිටත්ව යෑමටයි.

 

බොහෝ මනාලියන් තම මංගල ඇඳුමින්ම මධුසමය සඳහා පිටත්ව යද්දී තවත් එවැනිම පිරිසක් මධුසමය සඳහා යෑම වෙනුවෙන්ම වෙනමම ඇඳුමකින් සැරසේ. විචිත්‍රවත් වර්ණයන්ගෙන් යුතු ඇඳුමක් මේ සඳහා තෝරා ගනිද්දී එය ගවුමක්, ගුජරාටි ක්‍රමයට ඇඳි සාරියක්, චෝලියක්.... මේ ඕනෑම එකක් විය හැකියි. දෙවැනි ගමනක් නොවුණිනම් මංගල දිනයේදීම ඇය දෙවැනි ගමනක ලෙසත් සැරසේ. ඊට ගැළපෙන අයුරින් මල් කළඹක් අත දරා සිටීම ද විශේෂත්වයකි. මෙය මංගල මල් කලඹට වඩා හාත්පසින්ම වෙනස් එකක් විය හැකියි. මෙම මල් කලඹ ළා පැහැයන්ට වඩා විචිත්‍රවත් වර්ණයන්ගෙන් යුතු මල්වලින් නිම කළා විය හැකියි.

මංගල මල් කලඹ ස්වාභාවික මලින්ම නිමකරනා බොහෝ දෙනා, මධුසමයට පිටත්වීමේදී දෝත දරනා මල්කලඹ සඳහා ස්වාභාවික හෝ කෘත්‍රීම මලින් නිමකළ කලඹක් තෝරාගනියි. ස්වාභාවික මලින් නිමකරද්දී බොහෝවිට පැහැයන් ස්ප්‍රේ කොට සකසා තිබෙන්නටත් පුළුවන. වෙනස් ස්වරූපයක් ගන්නා මධුසමය සඳහා පිටත්ව යෑම වෙනුවෙන්ම සැකසූ මල් කලඹ කිහිපයකි. මනාලියක වීමට පෙරුම්දම් පුරනා ඔබේ සිත ආසක්ත වුණු මල් කලඹක් මෙහි වෙත් ද?

රෝස මල් එකතුවක්

බටහිර පන්නයට අයත් ඇඳුමකින් සැරසී මධුසමය සඳහා පිටත්ව යන ඇයට රෝස මල් කිහිපයකින් ගෙන ආ චමත්කාරයයි මේ. බේබිස් බ්‍රෙත් සහ කැමීලියා කොළ මල් කලඹට නැවුම් හැඩතල සපයයි. මනාලිය ඇඳ සිටින ගවුමේ පර්ල්ස් අඩංගු නිසා මල් කලඹට ද පර්ල්ස් එක්කර තිබේ. ඉතාම සරල සැහැල්ලු මල් කලඹකි. මල් කලඹක් නිමකරද්දී මල් නටු අතරට කම්බි දැමීම ආදී දේ නොකර ස්වාභාවික ඉති එකට එක්කොට පොකුරක් ලෙසින් සුදුපැහැ රිබන් එකකින් බැඳ තිබේ. සරල, සැහැල්ලු මල් කලඹක්වන මෙය චමත්කාරජනක බවින් අනූන වූවකි.

ඒරම් ලිලී මලින් වැඩි එළියක්

ඒරම් ලිලී මලින් අලංකෘත වූ මල් කලඹක්වන මෙය ද බටහිර පන්නයට හැඩවැඩ වී මධුසමය සඳහා පිටත්ව යන යුවතියකට ගැළපෙන එකකි. මල් මිටියක් හෙවත් බන්ච් එකක් ලෙස සකසා ඔතා තිබේ. ඒරම් ලිලී මලෙහි නැවුම් බවට එතරම් ආයුෂ නැත. එය පහසුවෙන්ම මැලවෙන්නට බලයි. එනිසා උදේ කාලයේ මංගල උත්සවයකට වඩාත් ගැළපේ. ඉතාම මෘදු මලක්වන නිසා මල් කලඹ ප්‍රවේසමෙන් පාවිච්චි කළ යුතුවේ. කාලගුණය අනුවත් ඒරම් ලිලී මලේ පැවැත්ම වෙනස්වන අතර වැසි සහිත දිනකදී මල පිපෙනු වෙනුවට පොහොට්ටුවක් මෙන් රෝල් වීමට පුළුවන. ඒරම් ලිලී වෙනුවට කලා ලිලී මලත් ගත හැකියි.

ටයිගර් ලිලී ගෙනෙන හැඩ

ටයිගර් ලිලී මල් සහ පොහොට්ටුවලින් නිමවූ මෙම මල් කලඹ අත දරා සිටින ඇය නිල් පැහැති ගවුමකින් සැරසී සිටියි. ඇගේ ගවුමේ පැහැයට අනුව ටයිගර් ලිලී මල් නිල් පැහැයෙනුත්, පොහොට්ටු කහ පැහැයෙනුත් වර්ණ ගන්වා තිබේ. ලිලී මල් විශාල නිසා ඇගේ හිස සැරසිල්ලට එම පැහැයෙන් ම ඕකිඩ් මලක් පලන්දා තිබේ.

ඉන්දියානු ක්‍රමයට ගැළපෙයි

විචිත්‍රවත් වූ මනස්කාන්ත මල් කලඹක අසිරියයි මේ ඔබ දකින්නේ. රෝසමල් සහ නැනිබෙරි ද ඊට එක්කාසු වී තිබේ. ගුජරාටි ඇතුළු ඉන්දියානු විලාසිතාවලට ගැළපෙන අයුරින් අඳින පලඳින ඔබට මෙවන් මල් කලඹකින් ගෙන එන අපූර්වත්වය කෙබන්දක් වේවිද?

ආඩම්බරකාර ඕකිඩ්

විශේෂිත වූ ඕකිඩ් වර්ගයක්වන පැලනොප්සිස් මලින් කළ මල් කලඹකි. මනාලියගේ ඉල්ලීමකට අනුවම නිමවූ මෙය මල් වැලක් පහළට කඩාවැටෙන අයුරින් නිමවා තිබේ. ඇඳුමේ පර්ල්ස් ඇති නිසා මල් කලඹට ද පර්ල්ස් එකතු කොට තිබේ. ඉන්දියානු විලාසිතාවකට ගවුමකට වුව මෙවන් මල් කලඹක් ගැළපේවි.

අතේ බඳින මල් කලඹක්

අත දිගේ බැඳ තබන කොසාජ් වර්ගයේ මල් සැරසිල්ලකි. ඕකිඩ් මලින් නිමවා තිබේ. මනාලියගේ ඇඳුමේ ක්‍රිස්ටල් ඇති නිසා මල් සැරසිල්ල ද ක්‍රිස්ටල්වලින් හැඩවැඩ කර තිබේ. බටහිර ක්‍රමයට ඇඳ සිටින ඇයව මේ මල් සැරසිල්ල සුරඟන ලොවක අතරමං කරයි.

ටයිගර් ලිලී සමඟ බේබිස් බ්‍රෙත්

ගෝනි නූලකින් බැඳ තැබූ මෙය ටයිගර් ලිලී මල් කිහිපයක එකතුවකි. හිඩැස් පිරවීම සඳහා (Filling Flowers)  බේබිස් බ්‍රෙත් එක්කොට තිබේ. ඔසරියකින් මනාලියක ලෙස සැරසුණු ඇයට වේල් දැමීමට ඇති ආසාව තෙරපවන්නේ නම් මධුසමයට එලෙස පිටත්ව යා හැකියි. එවිට මෙවැනි මල් පොකුරක් ගෙන තිබීම සැහැල්ලුබවක් ගෙන දේ.

පිච්ච මල් පහළට වැටෙන්න

ඉන්දියානු විලාසිතාවකට අනුව හැඩවූ ඇයට රෝස මල්වලින් නිමවූ මෙවන් මල් කලඹක් සුන්දරත්වයක් ගෙන දෙයි. පිච්ච මල් පහළට එල්ලා වැටෙන සේ සකස්කර තිබීම මෙම මල් කලඹේ විශේෂත්වයයි.

ගවුමට ගැළපෙන මල් කලඹක්

මධුසමයට පිටව යෑමට බහුතරයක් යුවතියන් ගවුම තෝරාගන්න නිසා ඔවුන්ගේ මල් කලඹ ද ඉතාම සරල, සැහැල්ලු එකකි. මේ ටයිගර් ලිලී සහ හෙදර්වල සම්මිශ්‍රණයකි.

දෙවැනි මනාලියන්ට

මනාලිය මධුසමයට පිටත්ව යන්නට සැරසෙද්දී දෙවැනි මනාලියන් ද ඇය හා සමඟින් වෙනමම ඇඳුම් විලාසිතාවක් අනුගමනය කරයි. රෝස සහ ස්ප්‍රේ රෝස පෝසි ක්‍රමයට සකසා තිබේ. ස්ප්‍රේ කර ඇත්තේ ඇඳුමේ වර්ණයයි. සැන්ඩ්‍රියානා කොළ එකතුකොට තිබේ.

දෙවැනි මනාලියන් අත ඇත්තේ ඒරම් ලිලී මල් දෙක තුනක් එකට බැඳ සෑදූ මල් පොකුරකි.

 

 

ඉදිරිපත් කිරීම

ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා

නීතිඥ මධුවන්ති මලවිගේ

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති

 

වෛද්‍ය ලසන්ත මලවිගේ

1741 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 04, අඟහරුවාදා 15:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න