තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2017 ජූලි 25, අඟහරුවාදා 09:56

වර්ණ ගැල් වූ පමණින් ලස්සන වෙන්න බෑ.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ඇය ද කාන්තාවකි. ඔබ අප මෙන්ම ඇය ද සාමාන්‍ය කාන්තාවකි. එහෙත් ඇය තම නම සමාජයේ ඉදිරියෙන් තබා ගැනීමට සමත් වූ තැනැත්තියකි.

 

 

තමා සතු වටිනාකම් වැඩි දියුණු කරගනිමින් සමාජයේ තම නම රැඳවීමට මෙන්ම සමාජයට යමක් දායාද කිරීමට වෙර දැරූ තැනැත්තියකි. එනිසාවෙන් ඇයගේ ජීවිතය පවුලට, සමාජයට වැඩදායක වී ඇත.

රූපලාවණ්‍ය කලාවේ නම ගිය ඇත්තන් අතර ඇය ද කාලයක සිටම එකම තලයක වැජඹෙන තැනැත්තියකි. සියල්ල පරයා යන නිහතමානීකම ඇයට ආභරණයකි. ඇය නමින් චාමලී කල්දේරා ය.

රූපලාවණ්‍ය කලාව ගැන වැඩිහිටි පරම්පරාව තුළ එතරම් කැමැත්තක් නැති අවදියක ඇය ක්ෂේත්‍රයට පිවිසිණි. එතෙක් මෙතෙක් තමාගේ ස්ථාවරය රඳවා ගනිමින් මේ තරගකාරී ක්ෂේත්‍රයේ රැඳී සිටීම ම ඇයගේ ජයග්‍රහණයකි.

ඔයාගේ රූපලාවණ්‍යාගාරය අලුත් තැනකට ගෙනාවා නේද?

ඔව්, මේ දශක දෙක කාලය පුරාවට ම මම හිටියේ කොහුවල. දැන් මම පැපිලියානේ මගේම කියලා නවාතැනක රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන යනවා. ඒක කලින් පැවැති එකට වඩා අංගසම්පූර්ණ රූපලාවණ්‍යාගාරයක්. නවතම උපාංග සහිතවයි ඒක ගොඩනැගුවේ. මේකේ, තවත් විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද ඒ, මේ ගොඩනැගිල්ල හදන්න මම ණය වුණේ නෑ. කාලයක් තිස්සේ මම ඉපැයූ සල්ලි එකතු කරලා තමයි මේක හැදුවේ. ඇත්තටම මේක දැක්කම මට පුදුමාකාර සතුටක්, අභිමානයක් ඇති වෙනවා.

ඔබ මුලින් ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණ හැටි පැවසුවොත් නවකයන්ට ආදර්ශයක් වේවි...

ඇත්තටම මම මුලින්ම යොමු වුණේ නීති ප්‍රවේශය කරන්නයි. ඒත් ළාබාල වයසින් ම විවාහ වුණ නිසා විවාහ ජීවිතේ වගකීම් එක්ක ඒක කරන්න ටිකක් අමාරු වුණා. මට අත්කම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම මල් හැදීමට. මට ඕනෙම මලක් දැක්ක ගමන් හදන්න පුළුවන්. ඉතිං මම මල් හැදීම කරගෙන යනකොට ගොඩක් අය කිව්වා ඔයා මනාලියන්ට අන්දන්නත් ඉගෙන ගත්තානම් හරිනේ කියලා... ඉතිං අන්තිමේ මටත් හිතුණා ඒකත් ඇත්ත තමයි කියලා. මම රූපලාවණ්‍ය කලාව මුලින් ම ඉගෙන ගත්තේ ස්විනීතා කොතලාවල මහත්මියගෙන්. ඇත්තටම ඇය හොඳ ගුරුවරියක්. ඉන් පස්සෙ මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් වගේම ලංකාවේ විවිධ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා... මම තවදුරටත් මේ දැනුම විවිධාකාරයෙන් ඔපමට්ටම් කරගත්තා. ඉන්දියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවල පවත්වන රූපලාවණ්‍ය වැඩමුළු සඳහා සහභාගී වෙලා නිතරම මගේ දැනුම අලුත් කරගන්නවා.

මේ අවස්ථාවේදී මම කුමා ඉද්දමල්ලෙන ගුරුවරයාටත් ස්තුති කළ යුතුයි. ඔහුගේ මඟ පෙන්වීම නිසා හිත නියමාකාරයෙන් අරමුණු කරා මෙහෙයවීමට මට හැකියාව ලැබුණා. ජීවිතයේ වැටුණු තැන් තිබුණා. ඒ වැටීම් මතින් නැඟී සිටින්න මනස ශක්තිමත් කරගත්තේ ඔහු නිසා.

ඔබ ආදරණීය බිරියක්, මවක්. නිවෙසේ වැඩ කටයුතුත් එක්ක කොහොමද ව්‍යාපාරික කටයුතු කරගෙන යන්නේ...

ඇත්ත. මට පවුලක් තියෙනවා. මම නිතරම මුල්තැන දෙන්නේ මගේ පවුලටයි. මගේ සැමියා හැකි හැම වෙලාවකම මට වචනයෙන් හරි උදවු කරනවා. එහෙම නොවෙන්න මට මේ තත්ත්වෙට එන්න අමාරුයි. මම තිදරු මවක්. මට එක් දුවෙක් සහ පුත්තු දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා රැකියාවක් කරනවා. ඔහු ක්‍රීඩා අංශයෙනුත් බොහෝ දක්ෂකම් දක්වපු දරුවෙක්. මගේ දුව දැන් ආයුර්වේද වෛද්‍යවරියක් වීමට ඉගෙන ගන්නවා. පොඩි පුතා තාම පාසල් යනවා.

මම කොහේ ගියත් මොන වැඩේ කළත් ගෙදර අයගේ වැඩ අතපසු කරන්නේ නෑ. උදේ පාන්දරම වැඩකට යන්න වුණත් මම සැමියට, දරුවන්ට කෑම හදලා තියලා තමයි යන්නේ.. ඇත්තටම මට අද මගේ පවුලෙ තත්ත්වෙ ගැනත් තියෙන්නේ සතුටක්. එහෙම නැති වුණානම් මගේ වෘත්තීය සාර්ථකත්වයෙන් ඇති වැඩේ මොකක්ද? මම හිතන්නේ නියම සාර්ථකත්වය කියන්නේ ඕනම කෙනෙක් වෘත්තීය ජීවිතය වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතයත් එකසේ සමබරව පවත්වාගෙන යාමයි. අපිට මොනවහරි දෙයක් වුණොත් ඉන්නේ පවුලේ අය. ඉතිං පවුලට මුල්තැන දීම වැරැදි දෙයක් නෙමෙයිනේ නේද?

මේ ක්ෂේත්‍රයට එන අලුත් පරපුරට ඔබගේ අත්දැකීම්වලින් යමක් දෙන්න පුළුවන්ද?

ඇත්තටම ඔව්, රූපලාවණ්‍ය කියන්නේ පිටතින් පාට හෝ ආලේපන ගැල්වීම පමණක් නෙවෙයි. රූපලාවණ්‍ය කියන්නේ ඉන් ඔබ්බට ගිය දෙයක්. යමෙක් පිටතින් පමණක් නෙවෙයි, ඇතුළතින් ම ලස්සන විය යුතුයි. ඒ සඳහා අධ්‍යාත්මිකව ඇතිවන යහපත් සිතුවිලි, හික්මීම, විනය ආදී දේත් පිරිසුදුකම ආදියත් බෙහෙවින් ඉවහල් වෙනවා. මම හිතන විදියට අපේ ජීවිතයේ ආලේපන භාවිතයෙන් ලස්සන වීම සිදු කළ හැකි වන්නේ 5% ක පමණ ප්‍රතිශතයක් පමණයි. අනෙක් 75% කායික මානසික සමබරතාව මඟින් ඇති කරගත් නිරෝගී බවත්, ඉතිරි 20% සමබර පෝෂණයකින් යුතු ආහාර මඟිනුත් සිදුවෙන බවයි මගේ අදහස. ඉතින් අපි කළ යුත්තේ ඒ සියයට පහට මුල් තැන දීම වෙනුවට අනෙක් කොටස් සඳහා මුල්තැනක් ලබා දීමයි. පසුව, ඉතිරිව ඇති කොටස සම්පූර්ණ කිරීමට ආලේපන භාවිත කරන්න පුළුවන්.

මම මේ වෙනකොටත් වෘත්තීය මට්ටමේ රූපලාවණ්‍ය ඉගැන්වීම් සිදු කරනවා. ඒ දරුවන් මගෙන් ඉගෙනගෙන සමාජයට යන්නේ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින්. ඇත්තටම ඒ ගැන හිතලා මට සතුටු වෙන්න පුළුවන්. මම එයාලට රූපලාවණ්‍යයට අමතරව අධ්‍යාත්මික සංවර්ධනය ගැනත් හැකි පමණට කියලා දෙනවා.

ඔබ දැන් අධ්‍යාත්මික සුවය සොයන කෙනෙක් වෙලා නේද?

ම්..ම් ඔව්, අධ්‍යාත්මික සුවය අපි හැම කෙනකුට ම අවශ්‍යයි. මොකද එහෙම නැති වුණාම අපි කරන්නේ මොකක්ද කියලා අපිම දන්නෙ නැති වෙන්නත් පුළුවන්.

මම බෞද්ධයෙක්. ඉතිං මම මගේ ආගමට අනුව සිත වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. බණ දහම් ඉගෙන ගන්නවා. ඒ දේවල් මගේ ජීවිතයට උකහාගෙන ඉදිරි ගමන යන්න තමයි මම උත්සාහ ගන්නේ. බොහෝ දෙනා හිතන්නේ බෞද්ධ දර්ශනයේ තියෙන්නේ නිවනට මඟ විතරයි කියලා. ඒත් එහෙම නෑ.

සාර්ථකව ගිහි ජීවිතයක් ගෙවන්න ඕන කරන කරුණුත් මේ දහම තුළ අන්තර්ගතයි. අපි එය සොයාගෙන නියමාකාරයෙන් භාවිතයට ගැනීමයි කළ යුත්තේ. මම කරන්න උත්සාහ ගන්නේ එයයි. අපි හැම දෙනාම ජීවිතය සතුටින් තියාගන්න උත්සාහ ගන්න ඕන. ඒ සඳහා ආගම ලොකු උදව්වක්.

මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට සිටින අයට විශේෂ පණිවුඩයක් තියෙනවද?

මේ ක්ෂේත්‍රයට පිවිසෙන හැම කෙනෙක්ම තමාගේ අවංක භාවයත්, විනයත් මඟින් පෞරුෂත්වය ගොඩනගා ගත යුතුයි. එවිටයි නියම සාර්ථකත්වය ළඟා කරගත හැකි වන්නේ... සාර්ථකත්වය කියන්නේ මුදල් පමණක් නෙවෙයි. ඇත්තටම මේ සාර්ථකත්වය ලබන්න මගේ ළඟ ටොන් ගානක විනයක් තිබුණා. ඒක ඔබත් ඇති කරගත යුතුමයි. මේක මම කිව්වේ මගේ අත්දැකීමෙන්මයි.

මේ ක්ෂේත්‍රයේ මම අවුරුදු 20ක් බොහෝ දුර ආවා.. ඒ දුර ආපසු හැරිලා බැලුවම සතුට වගේම දුකත් තිබුණා. ඉතිං මම අදහස් කළා මගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් අඩු ආදයම් ලාභී කාන්තාවන් සඳහා රූපලාවණ්‍ය පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව 500 ක් ලබා දීමට. මේ සඳහා කොළඹ, ගාල්ල, මීගමුව, රත්නපුර, ගම්පහ යන ප්‍රදේශවල 50-100 ක් අතර සිසුන් ප්‍රමාණයකට එකවර බඳවා ගැනීම් සිදුකර මෙය ලබා දීමයි අරමුණ. ඇත්තටම රූපලාවණ්‍ය පාඨමාලාවක් කිරීම ඉතාමත් වියදම් අධික දෙයක්. එය අඩු ආදායම් ලාභී තරුණියකට කොතරම් ආසාව තිබුණත් කරන්න අපහසු විය හැකියි. ඒනිසා මේ සඳහා අප ඔබට බොහොම හිතවත්කමින් ආරාධනා කරනවා. තරුණී පුවත්පතෙන් වගේම ෆේස් බුක් මඟිනුත් මේ සඳහා ඔබට වැඩි විස්තර දැනගැනීමට පුළුවන්. මෙයට අයදුම්කර තම ජීවින මඟ ආලෝකවත් කරගන්නැයි ඔබට ආරාධනා කරනවා...

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

 ඡායා - හිරන්ත ගුණතිලක

631 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 25, අඟහරුවාදා 10:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න