තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 15, අඟහරුවාදා 10:25

සියුම්ව කළ යුතු තොල් ආලේප සහ බ්ලෂර් භාවිතය විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මේක්අප් කිරීමේදී පළමු අදියර ලෙස ෆවුන්ඩේෂන් සහ පවුඩර් භාවිතයත් දෙවැනි අදියරේදී අයි මේක්-අප් කරනවිට අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමවේදයන් ගැනත් මුලින් කතාබහ කළා.

 

මෙයින් අනතුරුව සිදු කෙරෙන තොල් ආලේප කිරීම සහ බිලෂර් භාවිතය ගැන මෙවර දැනුවත් වෙමු.

මේක්අප් එකක් සිදු කරන විට ලිප්ස්ටික් භාවිතය එසේත් නැත්නම් තොල් ආලේපන ගැල්වීමේදිත් ඒ පිළිබඳ ඔබ තුළ මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා. මෙහිදී ඔබ අනුගමනය කළ යුතු ඔබේ අවධානයට යොමු විය යුතු කරුණු කාරණා මොනවාද?

තොල් ආලේපනයේදී ඔබ සහභාගි වන උත්සව අවස්ථාව, එය පැවැත්වෙන කාලය, තමන් අඳින ඇඳුම්වල වර්ණය යනාදිය ගැන සැලකිලිමත් වියයුතු වෙනවා. මෙහිදි ප්‍රධානම දේ වන්නේ තොල්වල හැඩය වඩාත් ලස්සනට ඉස්මතුවන ආකාරයට තොල් හැඩ ගන්නවා ගැනීමයි.තොල් ආලේප කිරීමේදී මුලින්ම කළ යුත්තේ ලිප්ලයිනර් එක භාවිත කර අවුට් ලයිනර් එක ඇද එය හොඳින් බ්ලෙන්ඩ් කරගැනීමයි. සමහරුන් ලිප් ලයිනර් එක ඉතාමත් තද පැහැයෙන් භාවිත කිරීමට පුරුදුව සිටිනවා. එමෙන්ම ලිප්ලයිනර් එක පෙනෙන්නට හැර තොල් ආලේප ගල්වන අවස්ථා තිබෙනවා. එය නිවැරැදි ක්‍රමයක් නොවෙයි. මෙහිදි නිවැරැදි ක්‍රමය නම් තොලේ හැඩය බෝඩර් එකක් ආකාරයට නැත්නම් තොලේ හැඩය තිබෙන ආකාරයටම හැඩගන්වා ඉන්පසු බ්‍රෂ් එකක් ආධාරයෙන් එම ලිප්ලයනර් බ්ලෙන්ඩ් කරගැනීමයි. ඉන්පසු තොල්වල ඇතුළු පැත්ත සඳහා අවශ්‍ය ලිප්ස්ටික් වර්ණය භාවිත කරන්න.

ලිප්ස්ටික් වර්ණ තෝරා ගතයුතු ආකාරය?

පැහැපත් යුවතියකට නම් ඕනෑම වර්ණයක් තෝරා ගන්න අවස්ථාව තිබෙනවා. එසේ වුවත් අවබෝධයකින් යුතුව වර්ණ තෝරා ගැනීම වැදගත්. ඇයට තිබෙන්නේ තලෙළු සමක් නම් සමේ වර්ණයට ඉතාමත් ළඟින් යන වර්ණයක් භාවිතා කිරීම සුදුසුයි. උදා - බුවුන්ෂේඩ්, මෙරුන් ෂේඩ් වැනි වර්ණ.

තරමක් තද පැහැති සමක් (Dark Skin) තිබෙන යුවතියකට නම් තරමක් තද වර්ණයකින් ලිප්ලයිනර් එක ඇඳ එය බ්ලෙන්ඩ්කර එයට උඩින් තරමක් ලා වර්ණයෙන් යුත් ලිප්ස්ටික් භාවිත කළ හැකියි. මෙහිදී ග්ලොස් වර්ණයන් භාවිත නොකළ යුතුයි. ඇයට මැට් ලිප්ස්ටික් වර්ණයක් තෝරා ගැනීම සුදුසුයි.

සාමාන්‍ය පැහැපත් සමක් තිබෙන අයකුට නම් ලිප්ස්ටික් භාවිත කිරීමෙන් අනතුරුව එය තවත් හැඩකරගන්නට ලිප්ග්ලොස් භාවිත කරන්නට පුළුවන්. මෙය අත්‍යවශ්‍යම දෙයක් නොවෙයි. නමුත් තොල් ආලේප ගැල් වූ පසු මතුපිටින් තොල් ඉරිතැළුණ ස්වභාවයක් සහ පැළුණු ආකාරයේ ස්වභාවයක් ගැනීම සමහර යුවතියන්ට තිබෙන ගැටලුවක්. එවන් අයට ලිප්ග්ලොස් එකක් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. මෙහිදී ලිප්බාම් එකක් භාවිත කිරීමෙන් ද තොල්වල ආරක්ෂාව සහ තොල් වියළීමේ ස්වභාවය වලක්වාගත හැකියි. ලිප්බාම් එකක් භාවිතකර ඉන් අනතුරු ලිප්ලයනර් එක භාවිතකර ලිප්ග්ලොස් ගල්වා ඉන් පසුව ආරක්ෂාකාරී අයුරින් තොල් ආලේප භාවිත කිරීමට හැකියාව තිබෙනවා. පැහැපත් යුවතියන්ට භාවිත කළ හැකි තවත් ජනප්‍රිය වර්ණ ලෙස රෙඩ්ෂේඩ්, පින්ක්ෂේඩ්, ඔරේන්ජ් ෂේඩ් වැනි වර්ණ දැක්විය හැකි වුවත් එම වර්ණ තමන්ට කොයිතරම් දුරට ගැළපෙනවා ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.

බ්ලෂර් තැවරිය යුත් නිවැරැදි ක්‍රමය

මේක්අප් එකෙහි තවත් සුවිශේෂී අංගයක් වන්නේ බ්ලෂර් ගැල්වීමයි. බ්ලෂර් කිරීමේදී මුහුණට ලස්සනක් කැපී පෙනෙන පෙනුමක් ගෙන දෙන ආකාරයට එය කළ යුතුයි.

නමුත් බ්ලෂර් භාවිතයේදි අප අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමවේදය කුමක් ද යන්න දැන සිටීම ඉතාමත් වැදගත්. බ්ලෂර් භාවිත කළ යුත්තේ ඇයි? එය භාවිත කිරීම වැදගත් වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න ගැන මෙහිදී ඔබ තුළ අවබෝධයක් තිබිය යුතුයි.

බ්ලෂර් භාවිතයේදී වැඩි දෙනෙක් පුරුදුව සිටින්නේ බෝනික්කන් වෙතින් දිස්වන ආකාරයට මුහුණ රෝස පාට කර ගැනීමටයි. මෙයින් දැක්වෙන්නේ කෘත්‍රිම පෙනුමක්. බ්ලෂර් කිරීමේ ප්‍රධානම දේ කම්මුල්වල හැඩය හොඳින් ඉස්මතු වනසේ මුහුණේ අවශ්‍ය තැන් කට් කර ගැනීමයි. තවත් සමහරුන් බ්ලෂර් සඳහා පින්ක්, ඔරේන්ජ් වැනි වර්ණවලින් වඩාත් ඉස්මතු වී පෙනෙන ආකාරයට කම්මුල් වර්ණ ගන්වන අවස්ථාවන් දක්නට පුළුවන්. මෙය නිවැරැදි ක්‍රමයක් නොවෙයි. මෙහිදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමය වන්නේ බ්ලෂර් ගල්වන අවස්ථාවේදී කට ‘ඌ’ අකුරක ශබ්ද කරන ආකාරයට උල්කර තබා ගනිමින්, ඉන් අනතුරුව කම්මුල් ප්‍රදේශය සෙ. මී. දෙකක් පමණ පහළින් බ්ලෂර් ගැල්වීමයි.

මනාලියන් සඳහා බ්ලෂර් භාවිත කිරීමේදී බ්‍රවුන් වර්ණයන්, කොපර්, ටෙරා කොටා වැනි වර්ණ භාවිතයෙන් ඉතාමත් ලස්සනට කම්මුල් හැඩකර ගත හැකියි. මුහුණේ එල්ලා වැටුණු ස්වභාවයක් හෝ ඩබල් චින් වෙත් නම් එම නිකටට යටින් ඇති, ඒ ආශ්‍රිත ප්‍රදේශයක් කට් කරගන්නට පුළුවන්. එහිදී ඇයට උඩ බලන ආකාරයෙන් හිස ඔසවාලන්නට කියා ඍ ෂේප් එකට කට් කරගන්නට හැකියාව තිබෙනවා. ඉන්පසු එම කට් කරන ලද තැන් නොපෙනෙන ආකාරයට පවුඩර් ගල්වා නිමාවක්ගෙන (ෆිනිෂින්) අවශ්‍ය වෙනවා.

මෝස්කට් එකත් හරිම වැදගත්

මේක්අප් එකක අවසන් අදියරේ දී සිදු කරන මෝස් කට් කිරීම ගැන ඔබ අසා ඇති. ඇතැම් විට මෙය අසා තිබුණත් මෙසේ මෝස්කට් එකක් කරන්නේ කුමන් නිසා ද යන්න සමහරුන් නොදන්නවා වන්නටත් පුළුවන්. කෙසේ වුවත් මෙය ද මේක්අප් එකකදී වැදගත් තැනක් ගන්නවා.

බ්ලෂර් භාවිතයත් සමඟම සිදුකරන මෝස්කට් එකකින් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න විමසා බලමු.

මෝස්කට් එකක් කිරීමේ ඇති වැදගත්කම වන්නේ යමෙකුගේ නාසයේ කිසියම් අඩුපාඩුවක්, ඇද වූ ස්වභාවයක් වෙත්නම් එය නිවැරැදි කර නාසයේ හැඩය මනාව ඉස්මතු වී පෙනෙන අයුරින් ඉතාමත් තියුණු ස්වභාවයක් මතුවන ලෙස හැඩ ගැන්වීමයි. බොහෝ විට නාසය, කම්මුල් හැඩය ඉස්මතු කරගන්නට නෝස්කට් එක යොදා ගනු ලබනවා. විශේෂයෙන්ම ඡායාරූපගත කිරීම්, වීඩියෝගත කිරීම් ආදියේ දී මුහුණේ අඩුපාඩුවක් නොපෙනෙන ලෙස හැඩයන් මතුකර දැක්වීමට මෙය වඩාත් උපකාරී වන බව පැවසිය හැකියි.

මෝස්කට් එකක් කිරීමේදී කොෆි බුවුන්, චොකෝ බ්‍රවුන් වැනි වර්ණ තෝරා ගැනීම සුදුසුයි. මෙය යෙදීමේදී ඇහි බැමි ආරම්භ වන ස්ථානයේ සිට ඇසේ අග දක්වා සරල රේඛාවක් ලෙස ගෙන, එය නොපෙනෙන ආකාරයට බ්ලෙන්ඩ්කර නැවතත් නාසයේ උඩට සහ මැදට වන්න ළා පැහැති පවුඩර් එකක් භාවිත කළ යුතුයි.

මේක්අප් එකකදී වඩාත් වැදගත්වන කරුණු මොනවා ද යන්න ගැන ඔබට නිවැරැදි අවබෝධයක් ලැබෙන්නට ඇති. මෙම අවබෝධයත් සමඟ නිවැරැදි මඟ පෙන්වීමත් දැනුමක් පුහුණුවත් ලබා ගනිමින් ක්‍රමානුකූලව මේක්අප් එකක් සිදුකරන ආකාරය පිළිබඳ දැනුවත් වන්නට ඔබට පුළුවන්. හේතුව ප්‍රායෝගික දැනුම මෙහිදී ඔබට වඩාත් වැදගත් වන නිසයි.

එමෙන්ම අප කලින් සඳහන් කළ ආකාරයට දැනුමකින් පුහුණුවකින් තොරව නිවැරැදි ක්‍රමවේදයක් පිළිබඳ හැදෑරීමකින් තොරව මේක්අප් කිරීම වැනි දෙයක් සිදුකළ නොහැකියි. මෙහිදී ඔබේ නිර්මාණශීලී හැකියාවත් ඉතාමත් වැදගත්. මේක්අප් තුළින් කෙනකුගේ රුව ඉතා සියුම් ලෙස ආකර්ෂණීය ලෙස ඉස්මතු කරලීමට හැකියාව ලැබෙන්නේ ඔබගේ දක්ෂතාවය මතයි. ඒ බව අවධාරණය කිරීම ඉතාමත් වැදගත්.

මේක්අප් එකක් කළ පසු එය නැවත ප්‍රවේසමෙන් ඉවත්කළ යුත්තේ කෙසේ ද? මේ පිළිබඳ වැටහීමක් නොමැතිකමින් ගැටලු මතුවන අවස්ථා බොහොමයි. අප ලබන සතියේ විමසා බලන්නේ ඒ පිළිබඳවයි.

 

 

උපදෙස්

ප්‍රවීණ රුපලාවන්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී

සුරේෂ් ප්‍රනාන්දු

(දකුණු කොරියාව - තායිලන්තය - ඉන්දියාව පුහුණුව ලත්)

 

 

 

 

 ඡායා - දුමින්ද පෙරේරා

829 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 10:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න