තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:31

කැපවීමයි අවංකබවයි ඇත්නම් ජීවිතය දිනන්න පුළුවන් විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය වැඩමුළු සමඟ රට පුරා යන දේවිකා අරඹගේ   සා ර්ථක ව්‍යවසායිකාවක්, සාර්ථක ගෘහණියක් හා දයාබර මවක් යන ත්‍රිමාණ භූමිකාවම එකට ගළපා ගැනීම කාන්තාවකට සුළුපටු කාර්යයක් නොවන්නකි.

 

බොහෝ විට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වය කරා පිය නඟන විට ඇය අතින් තම පවුලට සිදු විය යුතු යුතුකම් බොහෝමයක් අතපසු වී ගොසිනි. එහෙත් මේ සියල්ල එක ලෙසින් සමබරව ත්‍රිකෝණයක් සේ ජීවිතය ජය ගන්නට ගළපා ගත හැකි නම් ඇය සැබෑම දිරිය සවියෙන් පරිපූර්ණ වූ කාන්තාවකි.

අම්බලන්ගොඩ දේවිකා අරඹගේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක් බවට පත් වන්නේ ඉතා දුෂ්කර ගමනක් ඉතා සීරුවෙන් පියමං තබමිනි. ඇය ඒ පැමිණි ගමන් මඟේ මේ සියල්ල එකට කැටිකර සටහන් තබන්නේ ඇයගේ අව්‍යාජ වූ ළෙන්ගතුකමේ හෘදයාංගම බව උතුරා ගලන සෙනෙහසිනි.

“දැන් මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට එකතු වෙලා අවුරුදු විසි පහකට ආසන්න කාලයක් වෙනවා. මේ අවුරුදු විසි පහටම මම හොයපු විශාල මුදලක් නැති වුණත් ඊට වඩා වටිනා දේවල් රාශියක් හම්බකරලා තියෙනවා. ඒ තමයි මනුස්සකම. ඉතාම දුප්පත් පවුලක ඉපදුණු මම අද මේ ක්ෂේත්‍රයේ වැඩියෙන්ම හොයපු දේ තමයි මිනිස්සු. ඒ නිසාම ඕනෑම දෙයක් ආත්ම විශ්වාසයෙන් යුතුව කිරීමේ ශක්තිය මට ලැබී තියෙනවා.

ඇත්තටම මම මේ ගමන ආරම්භ කළේ ඉතාම දුෂ්කරව, විශාල කැපවීමකින්. මුලින්ම රූපලාවණ්‍ය ඉගෙන ගන්න කාලයේ පාඨමාලාවක් කරන්න තරම් මුදලක් මගේ අතේ තිබුණේ නැහැ. ඒත් කොළඹ ඇවිත් පාඨමාලාවක් කරන්න ඕනේ කියන ආත්ම විශ්වාසය හිතේ ඕනෑවටත් වඩා තිබුණා. ඒකට සල්ලි හොයා ගත්තේ කඩවලට ‘කඩයප්පම්’ හදලා විකුණලා. මම උදේ තුනට නැඟිටිනවා. රෑට පිටි කොටලා උදේ පහ වෙනකොට ‘කඩයප්පම්’ ටික අරගෙන අම්බලන්ගොඩ ටවුමට පයින්ම එනවා. ඒ ටික විකුණලා ගත්ත සල්ලිවලින් තමයි මම මුලින්ම ආසියානු ලංකා වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුවක් ලැබුවේ. මගේ ජීවිතේ අමතක නෙවෙන සිද්ධියක් තියෙනවා. මගේ ලොකු දුව ‘දිනලී’ ඉපදෙන්න මාස තුනයි. මගේ පාඨමාලාව අවසානම කාලේ. උදේ නැඟිටලා කෑම හදලා, ගෙදර අයටත් උයලා සැතපුම් ගාණක් කොළඹට එනවා. දවසක් මට බස් එකේදී කලන්තය හැදිලා වැටුණා. හැමෝම කිව්වේ ඔය විදිහට මට මහන්සි වෙන්න බැහැ. ඔය වැඩේ නවත්වන්න කියලා. නමුත් මට විශ්වාසයක් තිබුණා මගේ ඉලක්කයට යන්න නම් මේ කඩඉම පනින්නම ඕනේ කියලා.

එහි ප්‍රතිඵලය මට අත් විඳින්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. රමණී ප්‍රනාන්දු ඇකඩමියෙන් මට රූපලාවණ්‍ය පුහුණුව සඳහා ශිෂ්‍යත්වයක් හිමි වුණා. මම මුලින්ම රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තේ අපේ ගෙදර ඉස්තෝප්පුවේ. එක පුටුවයි, එක කණ්ණාඩියයි. ඒත් මගේ හැකියාව දන්න සේවාදායකයෝ ගෙදරටම හොයාගෙන ආවා. දරුවන්ගේ කටයුතු, ගෙදර වැඩත් කරගෙන කාලයක් මේ විදිහටම ගෙදරම පුංචි සැලොන් එකක් කරගෙන ගියා. මේ අතරේ අම්බලන්ගොඩ සමුපකාර සමිතියේ ව්‍යාපාරික කොණ්ඩා කැපීමේ ආයතනයට එකතු වුණා. මෙහෙම ආපු මේ ගමනේ දැන් මගේම සැලොන් දෙකක් තිබෙනවා.

මෙතක් දුර පැමිණි ගමනේදී මට විශාල ශක්තියක් වුණේ මගේ ආදරණීය සැමියා. ඔහු මගේ සෑම කටයුත්තකදීම විශාල දායකත්වයක් ලබා දෙනවා. සමහර අවස්ථාවලදී මම විදේශ පුහුණුවීම්, තරග සඳහා සහභාගි වූ අවස්ථාවන්වල දී සියලු දේ සොයා බලන්නේ ඔහු. පවුලක් වශයෙන් මගේ දරුවන් දෙදෙනාගේත් සැමියාගේත් තියෙන සහයෝගය නිසා මට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැනට මම අඟහරුවාදා ‘නුග සෙවණ’ ඔස්සේ පවත්වන වැඩසටහන හරිම ජනප්‍රියයි.

මේ වැඩසටහනේ ජනප්‍රියත්වය නිසාම මට රට පුරාම රූපලාවණ්‍ය හදාරන රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන ආධුනිකයන් ඉල්ලා සිටින්නේ පාඨමාලාවක් ආරම්භ කරන්න කියන කාරණයයි. නමුත් මගේ ගෙදර දොරේ කටයුතු, රූපලාවණ්‍යාගාරයේ කටයුතු සමඟ පාඨමාලාවක් ආරම්භ කිරීම තරමක් දුෂ්කරයි.

ඒ නිසා ඔවුන්ට කිසියම් දැනුමක් ලබාදීමේ අරමුණින් එක් දින වැඩමුළු මාලාවක් රට පුරාම පවත්වන්න මම තීරණය කළා. මෙහිදී ර්චඬඥ උන පිළිබඳ මූලික දැනුමක් ලබාදීමත්, රූපලාවණ්‍ය පිළිබඳ ගැටලු ප්‍රායෝගික දැනුමත් මෙම වැඩමුළුව ඔස්සේ ලබා දෙනවා. එහි පළමු වැඩමුළුව කළුතර නගරයෙන් ආරම්භ කළා.

දෙවැනි වැඩමුළුව පවත්වනු ලබන්නේ අගෝස්තු 19 සෙනසුරාදා දිනයේදී. රත්නපුර බෝධිරාජාරාම විහාරස්ථානයේ (රත්නපුර ස්වර්ණමහල් අසල) පවත්වන මෙම වැඩමුළුව උදෑසන 9.00 ට ආරම්භ වී දවස පුරාම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන අයට පවා සහභාගී විය හැකි අතර මෙයින් ලබන දැනුමින් ඔවුන්ගේ දෛනික රූපලාවණ්‍ය කටයුතු සියල්ලම කර ගැනීමට හැකි ආකාරයට පුහුණුවක් ලබා දෙනවා.

මෙම වැඩමුළුවෙන් පසුව අම්බලන්ගොඩ, අනුරාධපුරය, මීගමුව, අම්පාර, කෑගල්ල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය යන නගරවලදී ඉදිරි වැඩමුළු පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ. මෙහි අවසාන වැඩමුළුව කොළඹ දී පවත්වන අතර ඒ සඳහා රට පුරාම පැවැත් වු වැඩ මුළුවලට සහභාගී ආධුනිකයන්ගේ මනාලියන් දැක්මක් පැවැත්වීමටත් අපේක්ෂා කරනවා.

මාස කිහිපයකදී මගේ තවත් රූපලාවණ්‍යගාරයක් කිරිබත්ගොඩ නගරයේදිත් ආරම්භ කරන්න සූදානම් කර තිබෙන්නේ.

මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම තුළින් අපේක්ෂා කළේ අපේ ක්ෂේත්‍රයට එක්වීමට කැමැත්තක් දක්වන ආධුනිකයන්ට අතදීමට සහ නිවැරැදි මඟ කියාදීමටයි. එදා අපි ක්ෂේත්‍රයට එක්වන කාලයට වඩා දැන් ඉතාම දියුණුයි. එත් නිවැරැදි දේ හරි ආකාරව කියාදෙන මඟ පෙන්විම ලබාදෙන ගුරුවරුන් අඩුයි. මම වගේම තවත් කෙනෙක් ඉදිරියට එනවා නම් ඒ සඳහා අත දෙන්න මම ඕනෑම අවස්ථාවක සූදානම්. මේ සඳහා මගේ දුරකථන අංකය

077-3859799 අමතා ඕනෑම ගැටලුවක් ඇතිනම් දැනගැනීමට හැකියි.

 

ඡායාරූප - ගයාන් පුෂ්පික

1350 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න