තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:44

මේක්අප් එකකදී මතුවිය හැකි ගැටලු විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
පසුගිය සති කිහිපය තුළදී නිවැරැදිව මේක්අප් කළයුතු ආකාරය ගැන අපි ලබාදුන් දැනුම මේ පිළිබඳ දැනුවත් වීමේ උනන්දුවෙන් සිටින ඔබට වඩාත් හොඳ මඟපෙන්වීමක් වන්නට ඇතැයි කියා සිතනවා.

 

මේක්අප් එකකදි ෆවුන්ඩේෂන් (බේස්) පවුඩර් භාවිතය අයි මේක්අප් - තොල් ආලේපන - බ්ලෂර් භාවිතය ආදී සියලු කරුණු කාරණා පිළිබඳ අප ක්‍රමානුකූල දැනුමක් ඔබට ලබා දුන්නා. මේ අනුව ඕනෑම කෙනකුට මේක්අප් භාවිතයේදී වන අඩුපාඩු මඟහරවා ගෙන වඩාත් නිවැරැදිව මේක්අප් එකක් කරගන්නට හැකිවේවි. මේ හා සම්බන්ධ ඔබට වැදගත්වන තවත් කරුණු කාරණා කීපයක් පිළිබඳ අප මෙවර කතා කරන්නට සූදානම්. මේක්අප් කරන්නා හා සේම මේක්අප් එකක් කිරීමෙන් පසුව මතුවන යම් යම් ගැටලුකාරි අවස්ථා තිබෙනවා. ඒ මොනවාද. ඒවා නිවැරැදි කරගත යුත්තේ මොන ආකාරයෙන්ද යන්න ගැනත් අපි විමසා බලමු.

 

 

මේක්අප් එකක නිමාව

ඔබ දැන් මේක්අප් එක සිදුකර අවසන්. නමුත් මෙහිදී මේක්අප් එකක නිමාව එසේත් නැත්නම් ෆිනිෂින් එක ඉතාමත් වැදගත් වන බව අමතක කරන්න එපා. මේක්අප් එක අවසානයේ සුපරික්ෂාකාරීව බලන්න. අඩුපාඩු වෙත්නම් නිවැරැදි කරගනිමින් අවසාන වශයෙන් ෆිනිෂිං පවුඩර් එකකින් ෆිනිෂ් කරගත යුතුයි.

මෙහිදී ඔබ බ්ලෂර් කට්, නෝස් කට්, අයිබ්‍රෝ ආදිය හයිලයිට්කර ෆිනිෂින් පවුඩර් එකකින් මුහුණ සම්පූර්ණයෙන්ම ෆිනිෂ්කර ගැන්මෙන් මේක්අප් එක ඉතාමත් ක්‍රමවත්ව ආකර්ෂණීය ආකාරයට නිමවා ගන්නට ඔබට හැකිවේවි.

මේ ගැටලු ඔබටත් තිබේද?

මේක්අප්කර පිටතට යන යුවතියන්ට කාන්තාවන්ට මතුවන එක් ගැටලුවක් වන්නේ දහඩිය දැමීම නිසා මුහුණේ තෙල් සහිත ස්වභාවක් මතුවීමයි. මෙසේ වන්නේ ඇයි? බොහෝවිට අප වායුසමීකරණය කරඇති ස්ථානයක සිටිනවා නම් මෙම ගැටලුව මතුවන්නට ඉඩක් නෑ. එවන් තැනකදී අපගේ මේක්අප් එක වෙනස් නොවී වැඩි කාලවේලාවක් රඳා පවත්වා ගන්නට පුළුවන්. නමුත් ඔබ සිටින්නේ අධික රස්නය ඇති තැනක නම් අව්ව ඇති තැනක හෝ දැඩි විදුලි ආලෝකයක් පතිතවන තැනක නම් මේක්අප් එකෙහි තෙල් සහිත ස්වභාවක් මතුවෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් මේක්අප් එක මතුපිටින් තෙල් ස්වභාවක් මතුවන්නට පුළුවන්.

කළයුත්තේ කුමක්ද?

ඔබට මේ ගැටලුව තිබෙනවා නම් ඔබේ අත්බෑගයේ කම්ෆැක්ට් පවුඩර් හෝ ෆිනිෂිං පවුඩර් එකක් රැගෙන යන්නට සැලකිලිමත් වන්න. මෙම පවුඩර් එක ඔබේ සමේ පැහැයට ගැළපෙන එකක් විය යුතුයි. මෙහිදී පවුඩර් ෆෆ් එකක් ගෙන ඉන් මුහුණේ සම මතුපිට මඳ වශයෙන් පන්ච් කරන්න. එවිට මුහුණේ මතුවන තෙල් සහිත ස්වභාව මඟහරවා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.

අනෙක් කරුණ නම් වඩාත් හොඳ ප්‍රමිතියක් ඇති මේක්අප්

නිෂ්පාදන භාවිත කිරීමයි. මෙහිදී ඔබගේ සමට ගැළපෙන

නිෂ්පාදන තෝරාගැනීමෙන් කිසිදු ගැටලුවක් මතුවන්නේ නෑ. අධික අව් රශ්මියට දැඩි විදුලි ආලෝකයට මේක්අප් එකෙහි තෙල් සහිත ස්වභාවයක් ඉස්මතුවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙහිදී එම තත්ත්වය මඟහරවා ගන්නට මේක්අප් එකකට කලින් ෆේෂල් එකක් හෝ ක්ලීන්අප් එකක්කර ගැන්මෙන් සම මේක්අප් එකට සුදුසු තත්ත්වයෙන් පවත්වා ගන්නටත් ගැටලුකාරි තත්ත්වයක් මඟහරවා ගන්නටත් ඔබට හැකියාව ලැබෙනවා.

ලිප්ස්ටික් ඉක්මණින් ඉවත්වෙන්නේ ඇයි?

මේ තත්ත්වයත් වැඩි දෙනකුට තියෙන ප්‍රශ්නයක්. බොහෝ විට කෑම ගැනීමෙන් පසුව හෝ වතුර බීමෙන් පසුව තොල් ආලේප ඉවත්වීයාමක් සිදුවන්නට පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් නිතර මේක්අප් භාවිත කරන අයෙකුනම් ඔබ භාවිත කරන ලිප්ස්ටික් එක ඔබේ හෑන්ඩ්බෑගයේ රඳවාගෙන යන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබ කෑම ගැනීමෙන් පසුව හෝ වතුර බීමෙන් පසුව නැවත තොල් ආලේප ගල්වා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. නමුත් මෙහිදී ඔබගේ සැලකිල්ලට අවධානයට යොමුවිය යුතු කරුණක් මෙහිලා සඳහන් කළ යුතුයි.

බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසා මෙහිදී කරනු ලබන වැරැද්දක් නම් ලිප්ස්ටික් එක ගෙන නැවත කලින් ගැල්වූ තොල් ආලේපන මතම තැවරීමයි. නමුත් මෙහිදී ඔබ අනුගමනය කළයුතු වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ පළමුව ගැල්වූ තොල් ආලේපන ඉවත්කර ඉන් අනතුරුව දෙවැනි වරට තොල් ආලේප ගැල්වීමයි. එයට හේතුව ඔබ කලින් තැවරූ තොල් ආල්පනයට මතුපිටින්ම නැවත වතාවක් ලිප්ස්ටික් ගැල්වීමෙන් ඒ මතුපිට රැඳී ඇති විසබීජ බැක්ටීරියා ආදියෙන් ඔබේ දෙතොලට හානිකර බලපෑම් ඇතිවීමේ ඉඩකඩ ඇති නිසායි.

බොහෝවිට ඔබේ තොල් මතුපිට කළුපැල්ලම් ආකාරයෙන් මතුවීම, තොල් අවපැහැවීම එමෙන්ම තොල් මතුපිට වියි ස්වභාවයක් ගැනීම සිදුවන්නේ මෙම හේතුන් නිසයි.

එම නිසා ඔබ නැවත තොල් ආලේප භාවිත කරන්නට පෙලඹෙනවා නම් කලින් දෙතොල් මත ආලේප කරන ලද තොල් ආලේපන ටිෂූ එකක් ආධාරයෙන් ඉවත්කර නැවත ලිප්ස්ටික් ගල්වන්න. වඩා සුදුසු සහ නිවැරැදි ක්‍රමය වන්නේ එයයි.

 

ලිප්ස්ටික් කූර කෙළින්ම එපා

අනෙක් කරුණ නම් ලිප්ස්ටික් කූර කිසිවිටෙකත් තොල් මත තදින් ඇතිල්ලීම නොකළ යුතු බවයි. මෙහිදී ඔබ අනුගමනය කළයුතු වඩාත් සුදුසුම වන්නේ ලිප් බ්‍රෂ් එකක ආධාරයෙන් තොල් ආලේප ගැල්වීමයි. එසේ කිරීමෙන් තොල් ආලේපනය ඉතාමත් ක්‍රමානුකූල බවකින් යුතුව ගල්වා ගන්නට ඔබට හැකිවේවි. එසේම බ්‍රෂ් එකකින් ගල්වන විට ඉන් කිසිදු අක්‍රමවත්බවක් අපිළිවෙළක් දිස්වීමක් ද සිදු නොවෙයි. මේ දේවල් භාවිතයෙන් පසු පිරිසුදුව ක්‍රමවත්ව තබාගන්නටත් අමතකකරන්නට එපා.

එමෙන්ම ඔබ භාවිත කරන ලිප්ස්ටික් එකක් තවත් අයකුගේ පරිහරණයට දීමත් සුදුසු දෙයක් නොවේ. හේතුව මෙවන් දේ භාවිතයේ දී ඔබ ඔබගේ සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම සහ ප්‍රවේසම් සහිතව කටයුතු කිරීම වඩාත් වැදගත් වන නිසයි.

තවත් කරුණක් තොල් ආලේප භාවිතයෙන් පසු එය නැවත ඉවත්කරලන්නට කල්පනාකාරී වීමයි. සමහරුන් මේ පිළිබඳ එතරම් අවධානයක් නොදක්වන අවස්ථා තිබෙනවා. අප තොල් ආලේපන වශයෙන් භාවිත කරන්නේ ද රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති ආලේපනයි. මේවා ඉවත් කළ පසු දෙතොල් ආරක්ෂාවට ලිප් බාම් එකක් භාවිත කරන්නට ඔබට පුළුවන්.

තවත් වැඩි දෙනෙක් කියන දෙයක් වන්නේ ඇතැම්විට මේක් අප් භාවිත කිරීමෙන් පසුව සමේ බිබිලි මතුවීම, කැසීම, දැවිල්ලක් ඇතිවීම, සම අවපැහැවීම් ආදිය සිදුවන බව. එසේ වනවා නම් එයට හේතුව ප්‍රමිතියක් නැති වගකීමක් හෝ උසස් වෙළෙඳ නාමයක් නැති නිෂ්පාදන තෝරා ගැනීමයි. බොහෝවිට මේක්අප් කෙරෙහි දක්වන කැමැත්ත සහ පෙළඹීම නිසා සමහරුන් මිලෙන් අඩු ප්‍රමිතියක් නැති ආලේපන තෝරා ගන්නා අවස්ථා දක්නට ලැබෙනවා. මෙය තමන් විසින්ම ප්‍රශ්න ඇතිකර ගැනීමක්.

විශේෂයෙන් මෙහිදී කිවයුත්තේ ඔබ මේක්අප් කෙරෙහි උනන්දුවක් දක්වන අයකු නම් මිල අධික වුවත් තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් උසස් මේක්අප් තෝරා ගන්නා ලෙසයි. එවන් නිෂ්පාදනයක් භාවිත කිරීමෙන් ඉතාමත් ආකර්ෂණීය ලෙසත්, සමට අහිතකර බලපෑම් ගෙන නොදෙන ආකාරයටත් මේක්අප්වලින් ඔබේ රුව ලස්සන මතුකර ගන්නට ඔබට හැකියාව ලැබේවි.

ලබන සතියේ දී මේක්අප් කිරීම මෙන්ම නිසිපරිදි මේක් අප් ඉවත් කිරීමේ වැදගත්කම දැනගනිමු.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවන්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී

සුරේෂ් ප්‍රනාන්දු

(දකුණු කොරියාව - තායිලන්තය - ඉන්දියාව පුහුණුව ලත්)

927 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න